රටේ ස්වාධීනත්වය - ප්‍රජාතන්ත්‍රවාදය සුරකිනවා | දිනමිණ

රටේ ස්වාධීනත්වය - ප්‍රජාතන්ත්‍රවාදය සුරකිනවා

ඩී. එස්. සේනානායක ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන්න කැප වෙනවා

- අගමැති

ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ප්‍රජාතන්ත්‍රවාදය රකිමින් ජාත්‍යන්තරය සමඟ මිත්‍රත්වයෙන් කටයුතු කළ දිවංගත මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යෑමට කැපවීමෙන් ක්‍රියාකරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

යුද්දාධිකරණය ශ්‍රී ලංකාවට අවැසි නැති බවත් ජාත්‍යන්තරය පිළිගත් අධිකරණ ක්‍රමවේදයක් අප රට සතු බවත් අපේ විදේශ ඇමැති තිලක් මාරපන මහතා ජිනීවාහිදී කළ ප්‍රකාශය ජාත්‍යන්තරය පිළිගත් බව‍ පෙන්වා දුන් අගමැතිවරයා සෙසු රටවල් කීපයක් ඉදිරිපත් කළ යෝජනා නිතරඟයෙන් රැක ගනිමින් සම්මත කර ගැනීමට අපට හැකි වූ බවද සිහිපත් කළේය.

අගමැතිවරයා මේ බව ප්‍රකාශ ක‍ළේ ඉකුත් 22දා කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ පිහිටි ඩී. එස්. සේනානායක පිළිරුව අභියසදී පැවැත්වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය දිවංගත මහාමාන්‍ය ඩී. එස්. සේනානායක ශ්‍රීමතාණන්ගේ හැටහත් වැනි ගුණ සමරු උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමිනි. ඩී. එස්. සේනානායක ශ්‍රීමතාණන්ගේ පිළිරුවට ඕකිඩ් මල් දාමයක් පැළඳුවේ කොළඹ පුරපතිනී ‍රෝසි සේනානායක මහත්මියයි.

ඉන්පසුව අගමැතිවරයා සහ ඩී. එස්. සේනානායක ගුණානුස්මරණ කමිටුවේ සභාපති කථානායක කරු ජයසූරිය මහතා පිළිරුව අභියස පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරු සේනානායක පරපුරේ ජ්‍යෙෂ්ඨ සාමාජික රුක්මන් සේනානායක මහතා ඇතුළු මන්ත්‍රී වසන්ත සේනානායක, ඇමැති රුවන් විජේවර්ධන, ඇමැති තලතා අතුකෝරළ, ඇමැති රන්ජිත් මද්දුමබණ්ඩාර, ඇමැති අකිල විරාජ් කාරියවසම්, ඇමැති දයා ගමගේ, පාර්ලි‍මේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා, මව්බිම ජනතා පෙරමුණේ නායක හේමකුමාර නානායක්කාර, කොළඹ නියෝජ්‍ය නගරාධිපති ඉක්බාල්, හිටපු නියෝජ්‍ය නගරාධිපති ටයිටස් පෙරේරා යන මහත්ම මහත්මීහූ පිළිරුව අභියස පුෂ්පෝපහාර දැක් වූහ.

යුද හමුදාව විසින් උත්තමාචාර පුද කිරීමෙන් අනතුරු පැමිණ සිටි පිරිස පංචශීලයේ පිහිටුවීම නුගේගොඩ නාලන්දාරාම විහාරාධිපති තීනියාවල පාලිත නාහිමි විසින් සිදු කළහ.

කොළඹ ‍ඩී.එස්. සේනානායක විදුහලේ ශිෂ්‍යයෝ සමරු ගීතය ගායනා කළෝය.

මහාමාන්‍ය ඩී.එස්. සේනානායක රට හා ජනතාව වෙනුවෙන් ඉටු කළ මෙහෙ‍වරේ එක්තරා පැතිකඩක් සිහිපත් කරමින් ජිනීවා සිදුවීමේ පසුබිම පිළිබඳ අගමැතිවරයා වැඩිදුරටත් මෙසේ අදහස් පළ කළේය.

'මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කිං මූන් මහතා සමඟ 2009 මැයි 29දා ගිවිසුමකට පැමිණියා. එම ගිවිසුමෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වගවීමේ ක්‍රියාවලිය ජාතික මානුෂික නීති උල්ලංඝණය පිළිබඳ ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබුණා. එය එවකට ශ්‍රී ලංකා ආණ්ඩුව භාර ගත්තා යැයි එම ගිවිසුමේ සඳහන්ව තිබුණා. ඒ අනුව ජාත්‍යන්තර යුද අධිකරණය පිළිගත්තේ මහින්ද රාජපක්ෂයි. නමුත් ඒ කටයුතු සිදු කිරීමට අපි ඉඩ දුන්නේ නෑ. එවකට ඇතැම් නායකයෝ නඩු තීන්දු දීමටත් පෙර මෙරටට පැන ගත්තා. විදෙස් රටක‍ට යන්න බැරි තත්ත්ව සමහරුන්ට උදා වූණා. යමෙක් නීතිය කඩකරලා නම් අපිට පුළුවන් අපේ රටේ උසාවිවල නඩු පවරන්න. ජාත්‍යන්තර උසාවි අවශ්‍ය නෑ. එසේ නැතිව මහින්ද රාජපක්ෂ කළ ආකාරයට බන්දේසියේ දමා අපේ නඩු ජාත්‍යන්තර අධිකරණවලදී අසන්න යැයි අප කිසිවිටෙකත් ප්‍රකාශ කළේ නෑ. ඒ නිසා අපේ රට ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර තිබෙන රටක් ලෙස ලෝකය පිළිගත්තා. අපේ කථානායකතුමා පාර්ලි‍මේන්තුවේදී නිදහස ප්‍රජාතන්ත්‍රවාදය රැක ගත්තා.'

ප්‍රජාතන්ත්‍රවාදය නිදහස අප සෑම විටම ක්‍රියාත්මක කරනවා. දිවංගත බණ්ඩාරනායක මැතිණිය සහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේදීත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ කාලයේදීත් අපරාධ නීතිය උල්ලංඝණය කළ ආරක්ෂක හමුදා නිලධාරීන්ට නඩු පවරා තිබෙනවා. ඒ සියලු නඩු විභාග වූණේ අපේ ‍රටේ උසාවිවලයි.

දිවංගත මහාමාන්‍ය ඩී. එස්. සේනානායක ශ්‍රීමතාණන් පිළිබඳ විවිධ ප්‍රකාශ සඳහන් වූණා. එතුමාගෙන් සිදුවූ වැදගත් කාර්යභාරයක් පිළිබඳ දැනුම්වත් කළ යුතුයි. එය තමයි දෙවන ලෝක සංග්‍රාමයේදී පැසිස්ට්වාදී නායකයෝ ඉදිරියට යමින් බ්‍රිතාන්‍ය, අමෙරිකාව හමුදා පරාජය කළා. විශේෂයෙන් 1942 දී බුරුමය, මියන්මාරය, ඉන්දුනීසියාව වැනි රටවල් යටත් කර ගත්තා. ඩී. එස්. සේනානායක, ඩී. බී. ජයතිලක මහත්වරු මෙම අවස්ථාව පිළිබඳ සැළකිල්ල යොමු කළා. ප්‍රජාතන්ත්‍රවාදීව මිත්‍ර රටවලට සහාය දෙමින් නිදහස දිනා ගැනීමට අවශ්‍ය බව ප්‍රකාශ කළා. ඩී. එස්. සේනානායක මහතා පමණයි ආසියානු රටවලට මේ බව පැවසු‍වේ. එම නිසා එතුමාට අද්විතීය පිළිගැනීමක් ලැබුණා. ප්‍රථම වතාවට එතුමා යටතේ කලාපීය නායකයෝ මුණ ගැසුණා. මහජන චීනය, ඉන්දුනීසියාව යනාදී රටල් එතුමා පිළිගත්තා.

ජපානයට සාමය උදා කරන්නට ජේ. ආර්. ජයවර්ධන මහතා සැන්ෆ්‍රැන්සිස්කෝ සමුළුවට යැවීමට පියවර ගත්තේ ඩී. එස්. සේනානායක මැතිතුමායි. එතුමා නිදහසේ පරමාධිපත්‍යය මිත්‍රත්වයෙන් ඉදිරියට ගෙන ගිය නායකයෙක්.

එක්සත් ජාතීන්ගේ සාම හමුදාවේ සේවයට හැකි නම් අපගේ හමුදා අනුඛණ්ඩයක් යැවීමට සුදුසු බව ඇමැතිවරයාට සහ හමුදාපතිවරයාට යෝජනාවක්ද තමන් ප්‍රකාශ කළ බවත් මෙහිදී අගමැතිවරයා අවධාරණය කළේය. ගුණ සමරු උළෙලට ආරාධනා කිරීම පිළිබඳ ස්තූතිය පළ කළ අගමැතිවරයා සහභාගීවීමට ලැබීම භාග්‍යයක් බව සඳහන් කළේය.

කතානායක දේශබන්දු කරු ජයසූරිය මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක ශ්‍රීමතාණන් මහාපඬිවරයකු නොවූත් ජනතා හදගැස්ම හඳුනන නායකයෙකි. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේදී ජාතියේ පියාට උපහාර දැක්වූවා. වසර 2002 සිට සෑම වසරකදීම නිදහස් දිනයේදී මෙම ස්ථානයේ අපි උපහාර දක්වනවා.

පනහේ දශකයේදී අප රටේ ශක්තිමත් පරිපාලනයක් ආර්ථිකයක් මහාමාන්‍ය සේනානායක මහතා රටේ ඇති කළා. අසල්වැසි රටවල් දිනා ගැනීමේ හැකියාව එතුමා සතුව තිබුණා. දුර දක්නා නුවණක් තිබුණා. රටේ අනන්‍යතාව ජාතික සමගිය පිළිබඳ ක්‍රියා කළා.

අසාර්ථක හමුදා කුමන්ත්‍රණ, තරුණ කැරැලි, ත්‍රස්තවාදය හේතුවෙන් අප රට ආපස්සට ගියා. අසල්වැසි රටවල් ඉහළින්ම දියුණු වූණා. රටේ පවතින දේශපාලන ගැටුම් හේතුවෙන් දැවෙන ප්‍රශ්න විසඳීම ගිලිහෙනවා. කුලල් කාගන්නා පටු දේශපාලනයෙන් අප මිදිය යුතුයි. සියලුම දේශපාලන පක්ෂ නායකයින් මත එකඟත්වකට පැමිණිය යුතුයි. මෙය ජාතික යුතුකමක්. අගමැතිතුමනි, මෙය අනාගතයට භාර නොකර විසඳීමට පටු මතිමතාන්තරවලට නැඹුරු නොවී ජාතික එකඟත්වයකට පැමිණෙමු. ඩයස්පෝරා ශක්තිමත් වන්නේ අප අතර එකඟතාව නැති නිසයි. එකමුතුව සමගි සම්පන්නව අපේ කාලයේදී ජාතික ගැටලුවට විසඳුමක් ලබා ගනිමු. වර්තමාන පාර්ලි‍මේන්තුවේ සිටින සියලුම පක්ෂ නායකයින්ට ගෞරවණීයව ආයාචනය කරන්නේ කිසිදු ජාති භේදයකින් තොරව සැවොම එකට එක්වී කතා කර මත එකඟතාවක් ඇති කර ගනිමු. අමරණීය ඩී.එස්. නාමය සදානුස්මරණීය කරමු. රුක්මන් සේනානායක මහතා අනුශාසක ලෙසින් අපගේ කමිටුව දිරිමත් කරනවා. සියලුම කමිටු සාමාජිකයින් උනන්දුවෙන් කැපවීමෙන් ක්‍රියාත්මක වීම පැසසිය යුතුයි.

ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය පිටිගල විජිත නාහිමියෝ අනුශාසනා කරමින් මෙසේ පැවසූහ.

ගමයි පන්සලයි වැවයි දාගැබයි මහාමාන්‍ය ඩී.එස්. සේනානායක ශ්‍රීමතාණන්ගේ සංකල්පයයි. එම සංකල්පය වර්තමානයේදීත් වලංගුයි. එතුමා බත් දුන් පියා ලෙසද විරුදාවලිය ලැබුවා. රට සංවර්ධනයෙන් ස්වයංපෝෂිත කළා. ආරණ්‍ය සේනාසන ඉදි කළා. යටත් විජිතවාදීන්ගෙන් රට බේරා ගත්තා. පක්ෂ භේදයෙන් තොරව තම දර්ශනයේ පිහිටා ක්‍රියා කළා. අපේ රට සෑම අතින්ම සමෘද්ධිමත් කළා. අකාලයේ වියෝ වූයේ නැතිනම් මේ රට සිංගප්පූරුව බවට පත් කර ගැනීමේ හැකියාව එතුමාට තිබුණා. ඩී. එස්. නාමය අමරණීයයි. ජීවමානයි. එතුමා පණ්ඩිතයකුට වඩා දාර්ශනිකයෙක්. බුදුන් වහන්සේ දේශනා කළ පරිදි රාජ්‍ය පාලකයෙක් සතු ගුණාංග වලින් හෙබි එතුමා මේ රටේ පහළ වූ කෘතහස්ත දේශපාලනඥයෙක්. එතුමාගේ දර්ශනය අර්ථවත්ව යථාර්ථයක් කර ගැනීමට සැවොම එක්සිත්ව ක්‍රියා කළ යුතුයි. රට දැය නැංවීමට සැවොම එක් වේවා.

පාර්ලි‍‍මේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා මෙසේ අදහස් දැක්වීය.

ඩී.එස්. සේනානායක ශ්‍රීමතාණන්ගේ පණිවුඩය ජනගත කිරීමට කථානායකතුමා ගේ මූලිකත්වයෙන් නුදුරේදීම වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවනවා. සේනානායක ශ්‍රීමතාණන්ගේ ගුණසමරුව සඳහා සහාය දක්වන ත්‍රිවිධ හමුදාව, පොලිසිය, මාධ්‍ය, මහනගර සභාව ඇතුළු උත්සවයට පැමිණි සැමටත් ස්තුතිය පිරිනමනවා.

මව්බිම ලංකා ජනතා පෙරමුණේ නායක කමිටුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා මෙහිදී ඩී. එස්. සේනානායක ශ්‍රීමතාණන්ගේ චරිතාපදානය ඇසුරින් අර්ථවත් අදහස් පළකිරීමක් සිදු කළේය. ආචාර්ය ඉන්ද්‍රා දිසානායක මහතා ස්තුති කථාව කළේය.

කමනි අල්විස්

ඡායාරූප - හිරන්ත ගුණතිලක


නව අදහස දක්වන්න