අල්ලස පිටුදකින පස් අවුරුදු සැලැස්ම | දිනමිණ

අල්ලස පිටුදකින පස් අවුරුදු සැලැස්ම

දුමින්ද අලුත්ගෙදර

අල්ලස් දෙන්නා සහ අල්ලස් ගන්නා යන දෙදෙනාම ආකල්පමය වශයෙන් වෙනස් කිරීමට යෝජිත සැලැස්ම අනුව සිදුවෙනු ඇති. පාසල් සිසුන් හා තරුණ ප්‍රජාව තුළ අල්ලස හා දූෂණය තුරන් කිරීම, ඔවුන්ගේ හදවත්වලට නිර්මාණශීලි අයුරින් සමීප කරවිය හැකි නම්, තවත් වසර කිහිපයක් තුළදී විශාල සමාජීය පරිවර්තනයක් සිදුවිය හැකි ය.

‘අපේ රටේ අල්ලස හා දූෂණය පිළිබඳව මුලින්ම කරුණු පැන නැඟුණු අවස්ථාවක් විදියට 50 දශකයේ මුල් භාගය හඳුන්වන්නට පුළුවන්. ඒ අනුව තමයි 1954 දී පමණ අල්ලස හා දූෂණය වැළැක්වීම සම්බන්ධයෙන් අපේ පාර්ලිමේන්තුවේ පළමුවෙනි නීතිය, පනත සම්මත කරගෙන තිබෙන්නේ. ඒ වගේ ම මට මතකයි 1994 බලයට පත්වූ පොදුජන එක්සත් පෙරමුණ රජය එදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පළමුවන පනත තමයි අල්ලස හා දූෂණය වැළැක්වීමේ කොමිෂන් සභා පනත. අපි 94 පාර්ලිමේන්තුවට පැමිණිලා මුලින්ම අත උස්සලා පාර්ලිමේන්තුවේ ඒකමතිකව සම්මත වූ පනත ඒ පනත බව මගේ මතකයේ තිබෙනවා. අල්ලස යන්න හා දූෂණය යන්න කරුණු දෙකක් කියන කාරණය ඔබ දන්නවා‘ යි ජනපතිවරයා පැවසුවේ පසුගියදා අල්ලස හා දූෂණය තුරන් කිරීමේ පස් අවුරුදු ජාතික ක්‍රියාකාරි සැලැස්ම ඉදිරිපත් කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

අල්ලස හා දූෂණය ඉහවහා ගිය රටක් විදිහට පැවැති රටක් ඉන් මුදා ගැනීමේ දිගුකාලීන ක්‍රියාවලියයි එලෙස ආරම්භ වූයේ. දියුණු වෙමින් පවතින රටවල පවතින බපරපතළ දුෂණ වංචා සමාජ ව්‍යසනයක් දක්වා ව්‍යාප්ත වී තිබීම අරුමයක් නොවේ. වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ අල්ලස සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. පසුගිය දශක කිහිපය තුළ රාජ්‍ය අංශය අල්ලස හා දූෂණයට ගොදුරු වී තිබූ බව ද නොරහසකි. අල්ලසක් නොදී මහජන සේවා ඉටු කර ගැනීමට නොහැකි තත්ත්වයට රට තල්ලු වී තිබුණි. ඊට උදාහරණ ඕනෑ තරම් ය. බොහෝ රාජ්‍ය ආයතනවලින් මහජන සේවා ඉටු වන්නේ අල්ලස නැතිනම් පගාවට ය. අල්ලස් නොදෙන්නේ නම් තම කාර්යය කරගත නොහැකි යැයි මහජන මතයක් ද විය. එනිසා අල්ලස් දී තම කාර්යය කර ගැනීම සාමාන්‍ය දෙයක් බවට සමාජගත වී තිබේ. මෙකී ක්‍රියාවලිය රාජ්‍යයේ පැවැත්මට මෙන්ම ආර්ථික හා සමාජීය වශයෙන් දියුණු කිරීමට අභියෝගයකි.

විවිධ බලපෑම්

ශ්‍රී ලංකාව නිදහස ලබා වසර ගණනාවක් ගත වී තිබුණ ද දූෂණ වංචා පිටුදැකීමේ ජාතික ප්‍රතිපත්තියක් සකසා ගැනීමට දේශපාලන අධිකාරිය සමත් වී නොමැත. එහි ප්‍රතිඵලය වූයේ මහජන මුදල් අවභාවිතය දවසින් දවස ඉහළ යාම ය. නිදහසින් පසු කාලය ගත් කල මේ රට දැවැන්ත ණය බරකට උරුමකම් කියන්නේ ද එනිසා ම ය. දිනෙන් දින මහජන පීඩා ඇති කරමින් රට ආර්ථික වශයෙන් බිඳ දමන දේශපාලනයේ අයථා ගනු දෙනු නිසා ශ්‍රී ලංකාව කලාපයේ රටවල් අතරින් පසුගාමී රටක් බවට පත්ව තිබේ.

පසුගියදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එළි දැක්වුණු 2019 සිට 2023 දක්වා ක්‍රියාත්මක අල්ලස හා දූෂණය පිටුදැකීමේ පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්ම නිර්මාණය වන්නේ මෙරටින් අල්ලස හා දූෂණය තුරන් කිරීමේ පළමු කාර්යය ලෙස ය. සෑම තරාතිරමක ම, සෑම අංශයකම අදහස් හා යෝජනා අන්තර්ගත වූ මෙකී සැලැස්ම ඉදිරියේ දී සක්‍රීය වන්නේ රටක් වශයෙන් අනාගතය ජය ගැනීමේ පරම අභිලාෂයෙනි. එක්සත් ජාතීන්ගේ අල්ලස හා දූෂණය පිටුදැකීමේ ප්‍රඥප්තියට එකඟ වී ඇති ශ්‍රී ලංකාවට ඊට නිසි වැඩපිළිවෙළක් 2017 වර්ෂය දක්වා ම නොවී ය. වත්මන් ජනපතිවරයා 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙමින් මහජනතාවට පවසා සිටියේ මෙරටින් අල්ලස හා දූෂණය තුරන් කරන බව ය. එතෙක් විධිමත් ක්‍රමවේදයක් නො පැවැති අල්ලස හා දූෂණය පිටුදැකීමේ කාර්යයට වත්මන් ජනපතිවරයා උර දෙන්නේ ය. ඊට රාජ්‍ය අංශය හා දේශපාලන අධිකාරියේ විවිධ බලපෑම් ඇතිවාට සැකයක් නොමැත. එකී බලපෑම්වලට යට වූ කල මේ රට වංචාව දූෂණය අල්ලසට ගොදුරු වූ රටක් වීම නිරායාසයෙන් සිදු වන්නේ ය.

එහෙත්, වත්මන් රජය අල්ලස හා දූෂණය සම්බන්ධයෙන් ගෙන ඇති පියවර සාධනීය බව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව පවසන්නේ ය. අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව පස් අවුරුදු සැලැස්ම ඉදිරිපත් කරන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ලද බලයත් සමඟිනි. වත්මන් රජයට බලයට විත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ නිසා නීත්‍යානුකූලව මෙකී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙනු ඇත.

තරුණ පරපුර

මේ රටේ තරුණ පරපුර සමාජ මාධ්‍ය ඔස්සේ දිනෙන් දින රජයට හා රාජ්‍ය ආයතනවලට බලපෑම් කරමින් සිටී. ඔවුන් කෙසේ හෝ තම කාර්යය කර ගැනීමට විරෝධය පාමින් සිටින අතර දේශපාලන අධිකාරියට ද බලපෑම් කරමින් සිටින්නේ ය. එවැනි සමාජ රැල්ලක අභියෝගය තේරුම් ගත් වත්මන් රජයේ ප්‍රතිපත්ති වෙනස් කර ගැනීම යහපත් මෙන්ම කාලෝචිත ය. අල්ලස් දෙන්නා සහ අල්ලස් ගන්නා යන දෙදෙනාම ආකල්පමය වශයෙන් වෙනස් කිරීමට යෝජිත සැලැස්ම අනුව සිදුවෙනු ඇති. පාසල් සිසුන් හා තරුණ ප්‍රජාව තුළ අල්ලස හා දූෂණය තුරන් කිරීම ඔවුන්ගේ හදවත්වලට සමීප කරවිය හැකි නම්, නිර්මාණශීලි අයුරින් තවත් වසර කිහිපයක් තුළදී විශාල සමාජීය පරිවර්තනයක් සිදුවිය හැකි ය.

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මේ රටේ තරුණ පරපුර අවදියෙන් පසුවිය. රාජ්‍ය නායකයාට ඉන් බැහැර වන්නට ඉඩ නොදී කෙසේ හෝ නීතිය ක්‍රියාත්මක කරවන තැනට බලපෑම් කිරීමට ඔවුන් සමත් විය. ජනපතිවරයා මහ බැංකු බැඳුම්කර වංචාව ඉතිහාසයේ සිදු වූ විශාලම මංකොල්ලයක් ලෙස සැලකූ අතර ඒ පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කොමිසමක් ද පත් කළේ ය. එය ජනතාවගේ බලපෑම හා ඉල්ලීමට යුක්තිය ඉටුවීමක් ලෙස ද සැලකෙන්නේ ය. වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන නිලධාරින්ට විවිධ අභියෝග සහ ගැටලුවලට ද මුහුණ පාන්නට සිදු වූ බව, ජනපතිවරයා පසුගියදා පෙන්වා දුන්නේ ය. මේ රටේ දූෂණ වංචා නැවැත්වීමට එරෙහිව කල්ලි කණ්ඩායම් පෙරමුණ ගන්නා බවක් ද පෙනේ. එහෙත් තම රාජ්‍ය පාලනය තුළ සිදුවූ දුර්වල අවස්ථාවක් ලෙස මෙය සලකන බව ද ජනපතිවරයා පැවසීය . ඔහු පෙන්වා දුන්නේ මේ රටේ වංචා දූෂණ වළක්වා ගැනීමට තම කැපවීම උපරිමයෙන් ඇති බව ය.

අල්ලස හා දූෂණය මැඬලීම වෙනුවෙන් රට තුළ පැහැදිලි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුවත් වරදකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ගැටලුකාරි තත්ත්වයක් පවතින්නේ ය. රාජ්‍ය සේවයක් තුළ වංචාවෙන් දූෂණයෙන් තොර යහපත් රටක් ගොඩනැඟීමට වංචාවට සහ දූෂණයට එරෙහිව ද කඩිනමින් දණ්ඩනය ක්‍රියාත්මක විය යුතු බව ජනපතිවරයා අවධාරණය කරයි.

වසරක පමණ කාලයක් අල්ලස් පනතේ අල්ලස, දූෂණය, වත්කම්, බැරකම් දඬුවම් සහ වෙනත් ඊට අදාළ දුර්වල නීති රීති අණ පනත්වලට සම්බන්ධ කරුණු කැබිනට් මණ්ඩල අනුමැතියෙන් සංශෝධනය කෙරිණි. ඒ අනුව නව නීති රීති ඇතුළත් පස් අවුරුදු ජාතික ක්‍රියාකාරි සැලැස්ම සකස් කර තිබේ. මෙරට සියලු රාජ්‍ය ආයතන ව්‍යූහයන්හි අල්ලස නිවාරණය, හර පද්ධති වැඩිදියුණු කිරීම, දඬුවම් ක්‍රමවේද හා නීති ප්‍රතිපත්ති සංශෝධනය කිරීම යන ප්‍රධාන සාධක පදනම් කර ගනිමින් මේ ජාතික ක්‍රියාකාරි සැලැස්ම සකස් කර තිබෙන අතර එහිදී සාකච්ඡා වට 40 ක් පමණ පවත්වා විද්වතුන්, විදෙස් විශේෂඥයන්, මහජනතාව ඇතුළු විවිධ තරාතිරම්වල පිරිස්වල අදහස් විමසීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කටයුතු කොට තිබෙන්නේ ය.

නව සැලැස්ම

අල්ලස දූෂණය වපුරන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිලධාරීන්, දේශපාලනඥයන් ඇතුළු සියලු දෙනා නීතියේ රැහැනට කොටු කර ගැනීමට සැකසූ නව පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම ට අනුව ඉදිරියේදී වංචාව සහ දූෂණය තුරන් කළ රටක් නිර්මාණය කර ගැනීම අපහසුවක් ද නොවේ. ආර්ථික සමාජීය සංස්කෘතික සහ පාරිසරික වශයෙන් තිරසර සංවර්ධනයක් උදා කර ගැනීමේ ඉදිරි පිම්මට ද එය පහසුවක් වනු ඇත. වසරක පමණ කාලයක් අල්ලස් පනතේ අල්ලස දූෂණය වත්කම් බැරකම් දඬුවම් සහ වෙනත් ඊට අදාළ දුර්වල නීති රීති අණ පනත්වලට සම්බන්ධ කරුණු කැබිනට් මණ්ඩල අනුමැතියෙන් සංශෝධනය කර තිබෙන නිසා ඊට එරෙහි වන්නට කිසිවකුටත් නොහැකි ය. නව නීති රීති ඇතුළත් පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කර තිබෙනුයේ මෙරට සියලු ම රාජ්‍ය ආයතන ව්‍යුහයන් තුළ අල්ලස නිවාරණය, හර පද්ධති වැඩි දියුණු කිරීම, දඩුවම් ක්‍රමවේද හා නීති ප්‍රතිපත්ති සංශෝධනය කිරීම යන ප්‍රධාන සාධක පදනම් කර ගනිමිනි.

‘අද මහා පරිමාණයේ කොන්ත්‍රාත් ගත්තාම රජයේ කොන්ත්‍රාත්වලදී කොන්ත්‍රාත්කරුවෝ ම ආණ්ඩුවේ නිලධාරීන් ම ඇස්තමේන්තුව හදන කොට ඇස්තමේන්තුවට කීයක් වැඩිපුර එකතු කරනවාද හොරකම් කරන්න. මේක බොහොම පිරිසිදුව පේන දෙයක් නේ. හැම කෙනෙක්ම දන්න දෙයක්. ඇස්තමේන්තුවක් හදනකොට අනිවාර්යයෙන්ම ඇස්තමේන්තුවේ හොරකම් කරන ගාණත් එකතු කරනවා. ඊට පස්සේ ඒක බෙදන්න ඕනෑ අයට ඒක බෙදනවා. මේක වෙනස් වෙලා තියෙනවාද මේ රටේ? වෙනස් වෙලා නැහැ. මේක මේ රටේ බොහොම පැහැදිලිව සිද්ධ වෙනවා. කවුරුවත් අත තියලා නැහැ. මේකට අත තියන්න ගියාහම ඇස්තමේන්තුව හැදෙන්නේ නැහැ. ඕක තමා සිද්ධ වෙන්නේ. ඒ ඇස්තමේන්තුව කවදාවත් හදන්න බැහැ. කවදාවත් ඔය කියන පිරිසිදු ඇස්තමේන්තුවක් හැදෙන්නේ නැ. මේක බෙදිලා ගියේ නැත්නම්. කොන්ත්‍රාත්කාරයාගේ නියම වියදම කොච්චර ද ? පාරක් හදනවානම් පාරට යන නියම වියදම කොච්චර ද? කොන්ත්‍රාත්කාරයාගේ ලාභය කොච්චර ද ? නිලධාරීන්ට සහ දේශපාලනඥයන්ට දෙන ගාණ කොච්චර ද? මේ ඇස්තමේන්තුවේ එනවානේ හැම එකක්ම. මෙතන ඉන්න කාටහරි කියන්න පුළුවන් ද නෑ කියලා ? මම ඔප්පු කරලා පෙන්වන්නම්. අපි සුපිළිපන්න කියලා දිවුරුම් දෙනවා. මේක තමා ඇත්ත තත්ත්වය‘

ජනපතිවරයා අල්ලස හා දූෂණය තුරන් කිරීමේ පස් අවුරුදු සැලැස්ම ඉදිරිපත් කළ උත්සවයට සහභාගී වෙමින් පෙන්වා දුන්නේ රාජ්‍ය සේවකයන් කොයි තරම් නම් වංචාවට දූෂණයට පෙළගැසී ඇත්ද යන්න ය. එනිසා මේ රට තුළ යහපත් ආර්ථිකයක් මෙන්ම සමාජ පරිවර්තනයක් ඇති කරගැනීමට නම් රාජ්‍ය අංශයේ විනිවිදභාවය වඩාත් වැදගත් වන්නේ ය.

නව අදහස දක්වන්න