කොමිෂන් සභා අසාර්ථකයි | දිනමිණ


 

කොමිෂන් සභා අසාර්ථකයි

දුමින්ද සම්පත්
දිගාමඩුල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක සහ බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි

- විමලවීර දිසානායක
දිගාමඩුල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී

ජිනීවා මානව හිමිකම් සමුළුව පිළිබඳ පවතින ඇගැයීම් සහ විවේචන, ඉදිරි ජනාධිපතිවරණය, නැවත මතුවී ඇති ජාතික ආණ්ඩු කතා බහ ආදී කරුණු ඔස්සේ මෙවර අදහස් දෙක දිගහැරේ

ජිනීවා මානව හිමිකම් යෝජනා ගැන විවිධ කතා කියනවා. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

ඇමරිකාව කියන්නෙ මානව හිමිකම් කොමිසම අසූචි වළක් කියල. ඔවුන් මුදල් දෙන්නෙත් නැහැ කියනවා. ලෝකයෙ ඕනම රටකට පහර දෙන්න බලවත් රටවල්වලට පුළුවන්. ඉතින් මානව හිමිකම් තියෙන්නෙ කොහෙද? පහුගිය කාලෙ එහෙම පහරදීම් අපි දැක්කා. රටේ බලගතු බව මතයි මානව හිමිකම් තීරණය වෙන්නෙ. පෙන්ටගනයට ගැහුවම ඇමරිකාව කිව්වෙ ඒ අයගෙන් පළිගන්නව කියල. ඔවුන්ට පළිගන්න පුළුවන්. එතකොට මානව හිමිකම් කඩවෙන්නෙ නැහැ. අපි සාධාරණ යුද්ධයක් කළත් එතන මානව හිමිකම් කඩවුණා කියනවා. ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය පිහිටුවා ගත්තෙ ලෝකෙට මානව හිමිකම් උගන්වන්න. දැන් බැලුවම එහෙම වෙනවද? මටනම් එහෙම දෙයක් පේන්නෙ නැහැ. ඒ නිසා අපි ඒවට එකඟ වෙන්න ඕන නැහැ.

මානව හිමිකම් චෝදනාව මුල්වරට අපිට එල්ල වෙන්නෙ 2012 වසරෙදි. මේ චෝදනා බැහැර කරන්න එදත් අපිට බැරි වුණා?

අපි රටක් හැටියට දුර්වලයි. මේ හින්දයි මේ බලපෑම තියෙන්නෙ. ඇමරිකාව ඉරාකෙට පහර දුන්නෙ රසායනික අවි තියෙනව කියල. එහෙම අවි හම්බවුණෙත් නැහැ. ඔවුන්ට මානව හිමිකම් කඩ වුණා කියල චෝදනා කළෙත් නැහැ. ඒ රටවල් බලවත්. රටේ නායකයන්ගෙ හැටියට තමයි චෝදනා එල්ල වෙන්නෙ. මහින්ද රාජපක්ෂ මහත්තය චෝදනාවලට අභියෝග කළා. මේ අය චෝදනාවලට එකඟතාව පළ කළා.

ඔබ එහෙම කිව්වත්, මහින්ද රාජපක්ෂ මහත්තයගෙ පාලන කාලෙ තමයි විදුලි පුටු ගේනව රණවිරුවො දංගෙඩියට දක්වනව කියල ලොකු භීතියක් මැව්වෙ?

රණවිරුවො පාවා දෙන්න, යුද අපරාධ සිද්ධ වුණා කියන්න, යුද්දෙදි අපි මිනීමැරුව කියන්න මහින්ද රාජපක්ෂ මහත්තය එකඟවුණේ නැහැ.

යුද්ධයෙන් පසු ඇතිවෙච්ච තත්ත්වයන් නිසයි බොහෝ චෝදනා එල්ල වෙන්නෙ?

නැහැ. යුද්දෙදි මිනිස් පළිහක් විදියට මිනිස්සු යොදා ගත්ත, හතළිස් දාහක් ඝාතනය වුණා කියලත් කියනවා. මේව යුද්දෙදි වෙච්ච දේවල්. ඒවයෙ සත්‍ය අසත්‍යතාවත් ඔය කියන සංඛ්‍යාලේඛන ගැනත් ප්‍රශ්න තියෙනවා. යුද්දෙන් පස්සෙ ඇතිවෙච්ච සිද්ධි කීපයක් තියෙනවා. ඒවත් යුද කාලයත් එක්ක වෙච්ච දේවල්. ළමයි 11 දෙනෙක් ගැනත්, ලසන්ත වික්‍රමතුංග සිද්ධිය, මේවත් යුදකාලෙ වුණේ.

මේ අය යුද්දෙට සම්බන්ධ නැහැ?

ඒ අය සම්බන්ධයෙන් රට තුළ පරීක්ෂණයක් කළ හැකියි. එහෙම කරල වැරදිකරුවන්ට දඬුවම් කරන්න පුළුවන්. තාජුඩීන් ඝාතනය, ලසන්ත ඝාතනය, ළමයි 11 දෙනෙක් ඝාතනය මේ ආණ්ඩුව ක‍ාලෙ පරීක්ෂණ කරන්න තිබුණනෙ. ඔවුන් කරන්නෙ එක එක්කෙනා අත්අඩංගුවට ගන්නව නිදහස් කරනවා විතරයි. ඔප්පු කරන්න කාරණා නැහැ.

දෙමුහුන් අධිකරණයක් රට තුළ ස්ථාපිත කරන්න බැහැ. ලංකාවෙ යාන්ත්‍රණයක් තුළ සියලු කාරණා විසඳන්නයි මෙවර ජිනීවා වලදි ආණ්ඩුව පොරොන්දු වෙන්නෙ?

ආණ්ඩු විරෝධය හින්දයි එහෙම වුණේ. හමුදා භටයන් ඇස්, ඉස්, මස් ලේ දන්දීල යුද්දෙ අවසන් කළේ නැත්නම් මොකද වෙන්නෙ. මානව අයිතිවාසිකම් ගැන කෑගහන අයට මොකද වෙන්නෙ? ඕකනෙ ඇත්ත කතාව. 12000ක් අත්අඩංගුවට අරගෙන මහින්ද මහත්තය ඒ අයට සමාව දුන්නෙ නැද්ද? උතුර සංවර්ධනය කළේ නැද්ද? දැන් තියෙන්නෙ වෙච්ච දේවල්වලට දෙපැත්තටම සමාව දීමයි. කොහෙවත් ඉන්න කට්ටිය මේක පාරවන්න හදනවා. මානව හිමිකම් කොමිසමේ නිත්‍ය නියෝජිතවරිය දෙමුහුන් අධිකරණ අදහස අතහැරල නැහැ.

යුද්ධයෙන් පස්සෙ සියලු ජාතීන් එකතුකරල රට ගොඩ නඟන්න තිබුණු අවස්ථාවෙන් එදා ආණ්ඩුව ප්‍රයෝජන ගත්තෙ නැහැ නේද?

උතුරෙයි දකුණෙයි පාරවල් හදල රට යා කරල සංවර්ධනය කළේ ඒකට තමයි. උතුරේ තරුණයන්ගෙ කරේ පංචායුධය වෙනුවට තිබුණෙ සයනයිඩ් කරල. තරුණයන්ගෙ අතේ බෝලයක් තිබුණෙ නැහැ. බෝම්බයක් තිබුණෙ. දෙමළ දරුවො අතට බෝලයක් දුන්නෙ මහින්ද රාජපක්ෂ මහත්තය. ඒක වැරදියි කියලද කියන්නෙ. රටේ සාමය ඇති කළේ මහින්ද රාජපක්ෂ මහත්තය.

ශ්‍රීලනිපයත් එජාපයත් අතර ආයෙත් ජාතික ආණ්ඩුවක් ඇතිවෙන බවට කතා පැතිරෙනවා. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

අවුරුදු හතරක් ජාතික ආණ්ඩුවක් තිබුණනෙ. මොනව ද වුණේ. සාමය ඇති වුණාද? ආර්ථිකය දියුණු වුණාද? රස්සා වැඩි වුණාද, දේශපාලන විසඳුමක් ලැබුණද, රට ඉස්සරහට ගියාද? මොනවත් වුණේ නැහැ. ප්‍රධාන පක්ෂ දෙක එකතුවුණාම රට ගොඩනඟන්න පුළුවන් කියල මිථ්‍යා මතයක් එදා ඉදන් තිබුණා. එහෙම කරන්න බැරි බව මේ අය දැන් ඔප්පු කළා.

ජනතාව පැත්තෙන් දිනාගත් බොහෝ දේ තියෙනවා?

මොනවද ඒ...

ස්වාධීන කොමිෂන් සභා, තොරතුරු දැනගැනීමේ පනත 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ඇතිවෙච්ච ප්‍රජාතන්ත්‍රීය අවකාශය?

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ආවෙ ජාතික ආණ්ඩුවට ඉස්සෙල්ල. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අරමුණක් නැතුව කඩා වැටුණු වෙලාවක තමයි ඒක ගෙනාවෙ. ඒ වෙලාවෙ මහින්ද රාජපක්ෂ මහත්තය පරාජයට පත්වෙලා දේශපාලනයෙන් සමුඅරගෙන තංගල්ලට ගිහිල්ලා, එතුම වටේ හිටපු මන්ත්‍රීවරුන්ට නිසි නායකත්වයක් තිබුණෙ නැහැ. 19 සම්මත වුණේ අරාජික අවස්ථාවකයි ස්වාධීන කොමිෂන් සභා ආව කියල අපිට මොනවද වුණේ. පොලිස් කොමිසම කියනව පොලිස්පතිවරයා ඔවුන්ගෙ නිර්දේශ පිළිගන්නෙ නැහැ කියල. රාජ්‍ය සේවා කොමිෂම තිබුණට රාජ්‍ය සේවයට කොච්චර බඳව ගන්නවද? ඒව නීතියට පිටින් කරන්නෙ. මේ කොමිෂන් සභා අසාර්ථකයි.

මීළඟ ජනාධිපතිවරණයට බොහෝ අයගෙ නම් කතා වෙනවා. කවුරුන් අපේක්ෂකය විය යුතුයි කියලද ඔබ හිතන්නෙ?

ජනමතයට අනුව නම් රාජපක්ෂ කෙනෙක් තමයි ඉල්ලන්නෙ. මහින්ද මහත්තයට බැරි නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තය හරි බැසිල් රාජපක්ෂ මහත්තය හරි තමයි තේරීම.

ඔබ ඇමරිකාවට දැඩිව දොස් කිව්ව. ඒ අතරෙ ඇමරිකානු පුරවැසියො දෙන්නෙක්ව රටේ ජනාධිපති තරඟයට යෝජනා කරනව?

ඇමරිකාව ඔවුන්ට පක්ෂද? ඔවුන් ඇමරිකාවට පක්ෂද? ඔවුන් ශ්‍රී ලංකාවට පක්ෂද කියන එකයි බලන්න ඕන. යුද්ධය ජයග්‍රහණය කරන්න රටේ ආර්ථිකය ගොඩගන්න මේ දෙන්න විශාල කාර්යභාරයක් කළා. ඒකයි වැදගත්. ඒ හින්ද මේ දෙන්න ශ්‍රී ලාංකික පුත්‍රයො කියල මම පිළිගන්නවා. ඒ ඒ රටවල තිබුණු තත්ත්ව අනුව සමාජවාදීන්, බ්‍රිතාන්‍යයෙ , ඇමරිකාවෙ ජීවත්වෙලා තියෙනවා.

ජනාධිපති, අගමැති, මන්ත්‍රීවරු රටේ නීතියට යටත් බව ඔබ පිළිගන්නවද?

අනිවාර්යයෙන්ම.

බුලත්විට කතාවට අදාළව රටේ නීතියක් තිබෙනවා. ඔබ ඒ නීතියට අභියෝග කළා නේද?

නීතිරීති පනවන එක යුක්ති සහගත වෙන්නත් ඕන. බුලත් කෙළ හැම තැනම ගහන එක වැරදියි. මම එහෙම කරන්නෙ නැහැ. අපේ ආණ්ඩුව කාලෙ පාරෙ චූ කළත් දඩ ගැහුව. බුලත් විට කෑමෙන් මම කාටවත් හානි කරන්නෙ නැහැ.


දේශපාලන අනාථයෝ කොමිසමට බණිනවා

- චමින්ද විජේසිරි
බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී

ජිනීවා මානව හිමිකම් චෝදනා ගැන මෙවර ශ්‍රී ලංකාව ගත් ස්ථාවරය සම්බන්ධයෙන් ඔබේ අදහස මොකක්ද?

මහ කොමසාරිස් කාර්යාලය ඉස්සරහ හට් එකක් ගහගන්නව. රෑට මාරි කනව. ජාත්‍යන්තරයට ඇහෙනව කියල හිතාගෙන යටිගිරියෙන් කෑගහනව. රටේ ජනතාව අවුස්සන්නයි එහෙම කරන්නෙ. මහින්ද මහත්තය ඇවිල්ල තැඹිලි පෙව්වට පස්සෙ, ජාත්‍යන්තර ප්‍රශ්න විසඳුණාවගේ හැසිරෙනවා. එහෙම අය තමයි පසුගිය ආණ්ඩුවෙ හිටියෙ. අ‍ෙප් ආණ්ඩුව ප්‍රශ්න විසඳන්නෙ එහෙම නෙවෙයි. ජාත්‍යන්තරයෙන් ගේන නීතිවලට යටත් නොවී අපේ ර‍ෙට් පවතින නීතියට අනුව ප්‍රශ්න විසඳන්නයි අපි බලන්නෙ. ආණ්ඩුවක් හැටියට අපි කවදාවත් ජාත්‍යන්තර බලපෑම්වලට යටවෙන්නෙ නැහැ. මානව හිමිකම් ආරක්ෂාකරන වැඩපිළිවෙළට අපි සහාය දෙන්න ඕන. මානව වර්ගයාගෙ රැඳීම, පිහිටීම තියෙන්නෙ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම මත මේ ප්‍රශ්නෙදි පටු දේශපාලනය පාවිච්චි කරන්න නරකයි. විපක්ෂයෙ පැවැත්ම තියෙන්නෙ ජාත්‍යන්තරයට බැන්නොත් විතරයි.

ඇමරිකාව මානව හිමිකම් කොමිසමෙන් ඉවත් වුණා. ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමේ කටයුතු අසාධාරණයි. මෙවැනි වාතාවරණයක් තුළ මෙවර මානව හිමිකම් කොමිසමේ චෝදනා ප්‍රතික්ෂේපකරන්න තිබුණු බවයි කියන්නෙ?

යෝජනා එන්න පුළුවන්. ඒවා ක්‍රියාත්මක වෙන්න කාලයක් ගතවෙනවා. ඒ ගේන යෝජනා සමාජයට, රටට වැදගත්නම් අපි ඒව පිළිගන්න ඕන. අපේ රටට අහිතකරනම්, ස්වෛරීත්වයට බලපෑමක් වෙනවනම් අපි ඒව පිළිගන්නෙ නැහැ. තුන්වන ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් හැටියට මානව හිමිකම්වලට ප්‍රමුඛතාව දෙන්න ඕන. මානව හිමිකම් උල්ලංඝනය වෙනවනම් ඒකට විරුද්ධව නැඟීහිටින්න ඕන.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන වගවීමක් වෙන්න, නැවතත් වසර දෙකක කාලයක් දුන්නා. මේ තත්ත්වය ඔබ කො‍ෙහාමද දකින්නෙ?

ඒ අයගෙ යෝජනාවලට සියයට සීයක එකඟතාවක් අපි දැක්වුවේ නැහැ. පැහැදිලිවම දෙමුහුන් අධිකරණවලට අපේ විරුද්ධත්වය ප්‍රකාශ කළා. මේ ප්‍රශ්නය විසඳන්න විවිධ උපදේශන සේවා අවශ්‍යයි. පාර්ලිමේන්තු සම්ප්‍රදාය, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වැනි කාරණාවලදී අපි බටහිර සම්ප්‍රදායන් අනුගමනය කරනවා. ඔවුන්ගෙන් උපදේශන ගැනීම විදේශිකයන්ට යටත්වීම කියල අර්ථ දැක්වීම පට්ටපල් බොරුවක්.

එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අතර නැවත ජාතික ආණ්ඩුවක් ගැන කතා බහ ඇතිවෙලා?

මම නම් ඒකට එකඟ නැහැ. 2015 ජනවාරි 08 ජනවරම ලැබුණෙ රටේ ප්‍රශ්න විසඳන්න. අපි පොරොන්දු වෙච්ච යෝජනා මාලාව ඉෂ්ට කරන්න තමයි ජාතික ආණ්ඩුව හැදුවෙ. ඒත් පහුගිය කාලෙ ඒව ඉෂ්ට වුණේ නැහැ. ආයෙත් ජාතික ආණ්ඩුව හැදෙන්නෙ ඒව ඉෂ්ට කරන්න නම් අපිට සතුටුවෙන්න පුළුවන්. මේ ජාතික ආණ්ඩුව හදන්නෙ පුද්ගලයන්ගෙ තනතුරු ආරක්ෂා කරන්නයි. අපි හදපු සුජාත දරුවව පසුගිය කාලෙ පෙනි පෙනී අපචාරයට දූෂණයට ලක් කළා. ඒ දරුවව හදපු මව, පියා ආපහු එකතුවෙලා දරුවව අපචාරයට ලක්කළේ නැහැ කියන්න බැහැ. රටේ දුගීභාවය තුරන්කරන්න, රට සංවර්ධනය කරන්න ජනවාරි 08 දීපු පොරොන්දු ඉටුකරන්න, මානව අයිතීන් ආරක්ෂාකරන්න නම් එකතු වෙන්නෙ ඒ ගැන විරුද්ධ නැහැ. මහින්ද මහත්තය එක්ක එකතුවෙලා හොරට ආණ්ඩු හදල ජනාධිපති සිහිනය බොඳවෙලා යනකොට ආයෙත්අපි එක්ක එකතුවෙන පදනමෙන් නම් ජාතික ආණ්ඩු හදන්නෙ, අපි එකඟ නැහැ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ සමහර මැති ඇමැතිවරු ඔක්තෝබර් 26 සිදුවීමට එකඟ වුණේ නැහැ.

ඔවුන් එක්ක එකතුවීම සාධාරණයි. ඔවුන්ට මැති ඇමැතිකම් දීමටත් අපි විරුද්ධ නැහැ. අපි කියන්නෙ කැබිනට් එකේ ඉඳගෙන ජාතික ආණ්ඩුව විනාශකරපු අය එක්ක එකතුවෙන්න එපා කියලයි. ජනාධිපතිතුමා ජාතික ආණ්ඩුවට යන අයට ඇමතිකම් දෙන්නෙ නැහැ කිව්වා. ඔහු හැදුවෙ මහින්ද රාජපක්ෂ පිල ශක්තිමත් කරන්න.

එ. ජා. ප. පසුපෙළ මන්ත්‍රීවරු මේ ආණ්ඩුවෙ කාරණවලදී විරුද්ධවීම සාධාරණද?

පසුපෙළට යම් සාධාරණයක් ඉටුවෙන්න ඕන. පසු‍ෙපළ කියන්නෙ ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහත්තයව ජනාධිපති කරන්න විශාල කැපකිරීම් කරපු කණ්ඩායමක්. ඒ අයගෙ හඬට ඇහුම්කන් ‍ෙනාදීම තමයි අද තියෙන ප්‍රශ්නෙ. ජාතික ආණ්ඩුවෙ වැඩපිළිවෙළ ගමට ගියෙ නැහැ.අද තනි ආණ්ඩුවක් හැදුවත් තවම ගමට හරි වැඩ පිළිවෙළක් ගියේ නැහැ. අපේ ජනතාවගෙ ගැටලු විසඳන්න ඇමතිවරුන්ගෙ සහාය අවශ්‍යයි. මෙවර හොඳ අයවැයක් ඉදිරිපත් කරල තියෙන්නෙ. විපක්ෂයට එක වැය ශීර්ෂයක්වත් පරාජයකරන්න බැරි වුණා. එ‍ෙහම කොන්දක්, හයියක් මේ විපෝෂයට නැහැ. මේ ආණ්ඩුව ශක්තිමත් . තව මාස හයක් ඇතුළත ආණ්ඩුව වැඩ පෙන්නුවොත් අපිට දිනන්න පුළුවන්. ඊළඟ ජනාධිපති අගමැති, අමාත්‍ය මණ්ඩලය එක්සත් ජාතික පක්ෂයෙන් බිහිවෙන්නෙ. නැවත වතාවක් හවුලක් ඇතිකරගෙන අවුලක් ඇති වෙනවට අපි කැමති නැැහැ.

ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ පැමිණීම තුළ ඔබ ඔය කියන ජයග්‍රහණය එ. ජා.පක්ෂයට ගන්න පුළුවන්ද?

2015 ජනවාරි 08 අපි පරාජය කළේ, විධායක ජනාධිපති කෙනෙක්. රටේ ආරක්ෂක ලේකම්ව, ප්‍රබලම ඇමතිවරයෙක් වෙච්ච බැසිල් රාජපක්ෂ මහත්තයව. මේ කට්ටිය එකට ඉන්දැද්දි පරාජය කළා නම් තනි ගෝඨාභය රාජපක්ෂ පරාජය කරන එක ලොකු දෙයක් නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයගෙ වැඩපිළිවෙළ ඔහුගෙ ක්‍රියාකාරකම් ගැන සමාජය දන්නවා. අද එළිය හදනව කිව්වට එදා රටට අඳුරුම යුගය නිර්මාණය කළේ ගෝඨාභය රාජපක්ෂ මහත්තය. ඔහු නිවැරදි වෙනව කිව්වට ඔහුට නිවැරදි වෙන්න අවශ්‍ය නැහැ. ඒකට හේතුවකුත් නැහැ. මේ රටේ ජනතාව නින්දෙන් ඇහැරිල නැහැ. ඔවුන් කරපුව ජනතාවට අමතකත් නැහැ. ඔක්තෝබර් 26 වෙච්චදේත් ජනතාව දන්නවා.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ බලය පෙනුණ නේද?

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී ඉන්නෙ එක්සත් ජාතික පක්ෂය බව රටම දන්නවා. එදා පරාජයට පත්වුණේ අපේ ආණ්ඩුවට එරෙහිව ජනාධිපතිවරයගෙ ක්‍රියා කලාපය. එකම ආණ්ඩුවෙ, අගමැතිත් ජනාධිපතිත් හැප්පෙන කොට මේ අයට දඬුවමක් දෙන්න ඕන කියල රටේ ජනතාව කල්පනා කළා. ඒ දඬුවම තමයි අපි පිටින් ගියේ. ඒ නිසා නැවත ජනාධිපතිතුමාව එකතුකරගෙන ආයෙත් නැති ප්‍රශ්න හදාගන්න ඕන නැහැ. රෑ වැටිච්ච වළේ දවල් වැටෙන එක මෝඩකමක්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොහොට්ටුවත් එකතුවීමෙන් ඇතිවන බලවේගයට එක්සත් ජාතික පක්ෂය මුහුණ දෙන්නෙ කොහොමද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ ඡන්ද තමයි දෙකට කැඩුණෙ. මේ රටේ ආණ්ඩු තීරණය කරන්නෙ මධ්‍යස්ථ, පාවෙන ඡන්ද මේ ඡන්ද දායකයන්ගෙ මතය කොතනද තියෙන්නෙ. ඔවුන් තමයි පසුගිය කාලෙ ර‍ෙට් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නීතිය වෙනුවෙන් හඬනැඟුවෙ. ඔවුන් තවමත් අපිත් එක්ක ඉන්නවා.

ස්වාධීන කොමිෂන් සභා ස්වාධීන නැහැ කියන චෝදනාව ගැන ඔබ මොකද කියන්නෙ?

ඔය චෝදනාව කරන්නෙ විපක්ෂය, කොමිෂන් සභා දේශපාලනීකරණය ‍ෙනාවී තීන්දු තීරණ ගත්තු නිසා තමයි චෝදනා එල්ල වෙන්නෙ. නීතිය නවන පොලිස්පතිවරයව වෙනස් කරගන්න බැරිවුණේ කොමිෂන් සභා නිසානෙ. ඔක්තෝබර් 26 සිදුවීමේදී රටට විශාල සහායක් ලැබුණෙ කොමිෂන් සභා හින්ද තමයි. ස්වාධීන කොමිෂන් සභා හින්ද තමන්ගෙ දේශපාලන ගමන යන්න බාධා වෙච්ච අය ඒව විවේචනය කරනවා.

නව අදහස දක්වන්න