හැදෑරුවේ නැත්නම් රංගනය බැහැ | දිනමිණ

හැදෑරුවේ නැත්නම් රංගනය බැහැ

 

මම කවදාවත් සම්මාන ඔළුවෙ තියාගෙන නැහැ. ඒවා ගැන කොතැනකවත් කතා කරලත් නැහැ. කරන දේ අවංකව කරනකොට, ඒවට ලැබෙන දේ විදිහට තමයි මම සම්මාන දකින්නේ. මම කවදාකවත් සම්මාන බලාගෙන රඟපාලා නැහැ. සම්මානවලට මගේ නම නිර්දේශ වෙලා, ඒවා නොලැබී ගිය අවස්ථාවල, කාටවත් තැන තැන බැණලත් නැහැ. සම්මානයක් කියන්නෙ, මේ ගමනෙ තවත් එක් දෙයක් විතරයි. 

 

මෙවර රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ, හොඳ ම ටෙලි නාට්‍ය නළුවාට හිමි සම්මානය හිමි කර ගත්තේ රොෂාන් රවීන්ද්‍ර ය. ඔහු, රංගන ශිල්පියකු මෙන් ම අධ්‍යක්ෂවරයකු ද වේ.

 

වෙර ඔබට හොඳ ම රංගන ශිල්පයාට හිමි සම්මානය ලබා ගැනීමට මඟ පෑදූ 'සහෝදරයා' හි අජන්ත ගේ චරිතය ගැන යමක් පවසනවා නම්?

සහෝදරයා කියන්නෙ, දේශපාලනික කතාවක්. එහි පිටපත් රචකයා සහ අධ්‍යක්ෂවරයා එක් අයෙක්. එයාගේ මතය තමයි අපි සහෝදරයා මඟින් අරගෙන ආවෙ. එහි එන අජන්ත වගේ චරිත, අපට සමාජයේ යම් යම් තැන්වලදි හමු වෙනවා. මම හිතන්නෙ එම චරිතය පිළිබඳ අත්දැකීම් මට තිබුණු නිසා, අධ්‍යක්ෂවරයාට හරියන විදිහට ඒ චරිතය සාර්ථකව කරන්න හැකි වුණා කියලයි.

රංගන ශිල්පියා හැම විටෙකම, තමන්ට ලැබෙන චරිතය නිරූපණයේදී අධ්‍යක්ෂවරයාගේ මනස් චරිතය ම විය යුතුද?

එහෙමම කියන්නත් බැහැ . ඒත්, චරිතයකට සාධාරණය ඉටු කිරීම කියලා කියන්නෙ, චරිතය වටහා ගැනිමයි . සහෝදරයා පිටපත ඉතා ම ලස්සනයි. එහි කියැවෙන කරුණු කාරණාවලට මම එකඟයි . නිර්මාණයක් කියන්නෙ අධ්‍යක්ෂවරයාගේ කාර්යයක්. හැම විටම එහි අවසාන තීරණය අධ්‍යක්ෂවරයා සතුයි.

තවත් සම්මානයක් කියන්නෙ, ඔබගේ කලා දිවියට බරක් එක්කරන කාරණාවක්ද?

සම්මාන කියන්නෙ මට බරක් නෙමෙයි . මම ඒවට ඉඩ දීලා, මට තේරෙන විදිහට මගේ ගමන යනවා. මම කවදාවත් සම්මාන ඔළුවෙ තියාගෙන නැහැ . ඒවා ගැන කොතැනකවත් කතා කරලත් නැහැ. කරන දේ අවංකව කරනකොට, ඒවට ලැබෙන දේ විදිහට තමයි මම සම්මාන දකින්නේ. මම කවදාකවත් සම්මාන බලාගෙන රඟපාලා නැහැ. සම්මානවලට මගේ නම නිර්දේශ වෙලා, ඒවා නොලැබී ගිය අවස්ථාවල, කාටවත් තැන තැන බැණ බැණ ගිහිනුත් නැහැ. සම්මානයක් කියන්නෙ, මේ ගමනෙ තවත් එක් දෙයක් විතරයි.

මිනිසුන් ඔබට දක්වන ආදර සැලකිලිත්, එවැනි තැනකද පවතින්නෙ?

මිනිසුන් මට ආදරය කරන බව මට දැනෙනවා . ඔවුන් මා තේරුම් අරන් තියෙනවා හා මම කරන දේ ගැන ඔවුන් තුළ අවබෝධයක් තිබෙනවා. මම නිර්මාණ මිස, ආර්ථිකමය පැත්තෙන් කිසි ම දෙයක් ගොඩගසාගෙන නැති බව මිනිස්සු දන්නවා ඇති . මම මගේ දරුවො දෙන්නා අරන් වෛද්‍ය ප්‍රතිකාර ගන්න ගියත්, ඔවුන් මගෙන් මුදල් ගන්නෙ නැහැ. ඒ ආදරය, සැලකිල්ල තේරුම් ගැනීම තමයි මා ජීවත් කරවන්නෙ .

කලාකරුවෙක් විදිහට ඔබ උපයාගත් මේ ජීවිතය ගැන අතෘප්තියකින් පසුවන බවද මේ හඟවන්නෙ?

අද වෙනකොට, පහුගිය කාලෙ වුණු දේ එක්ක ආපසු හැරිලා බලනකොට, මම හිටපු විදිහ හා මම ගත කරපු ජීවිතය ගැන හිතද්දි, සතුටක් දැනෙනවා. ඒ ගැන කිසි ම තර්කයක් නැහැ. මා ගැන සොයා බලද්දි, මම මොකක් හරි වැඩක් කරන මනුෂ්‍යයෙක් කියලා, මගේ අම්මට දැන් දැනෙනවා ඇති. හැබැයි, අපි මේ දේ ගැන නෙදැනුවත් කාලෙ, මේ ක්ෂේත්‍රයට ඇවිදින් හතර දිග්බාගෙ ඇවිදලා, අපට කැමැති දේ ගොඩනගා ගත්තට පස්සෙ, මේ දේ තුළ ව්‍යාපාරයක් නැහැ, දියුණුවක් නැහැ කියලා පේනවා. අපේ රටේ දේශපාලඥයෙක් හමු වුණහම අහන්නෙ, ඔයා මේ දේට අමතරව, වෙනත් ව්‍යාපාරයක් කරනවද කියලයි. මිනිස්සු හිතන්නෙ එහෙමයි. කලාකරුවා කියන කෙනාට වෙන රැකියාවක් කරන්න ඕන නැහැනෙ. ඒ මනුෂ්‍යයාට මේ වෘත්තියෙන් ජීවත් වෙන්න ඉඩක් තියෙන්න ඕනැනෙ.

කලාකරුවාට වඩාත් සාර්ථක පසුබිමක් හදන්න බලපාන කාරණා විදිහට, ඔබ හඳුනාගෙන තියෙන්නෙ?

හැදෑරීම තමයි අපි ජීවිත කාලෙම අරගෙන යන්නෙ. එහෙම නැති වුණොත්, අපට මඟ නතර වෙන්න වෙනවා . මමත් මේ ගමන මේ තරම් දුර එන්නෙ හැදෑරීම් සමඟයි. සෝමලතා සුභසිංහ මහත්මියගේ වැඩමුළුවලින් තමයි රංගනය හැදෑරීම ආරම්භ කළේ. ඉන් පසුව, තරුණ සේවා සභාවේ අවුරුදු දෙකක ඩිප්ලෝමාව කළා. මහේන්ද්‍ර පෙරේරාගේ රංගන වැඩමුළු, ජනකලා කේන්ද්‍රය, සුබෝධිය, අනෝජා විරසිංහ රංගන පාසල යන හැම තැනකම තිබුණු රංගන වැඩුළුවලට මම සහාගිවෙලා තියෙනවා. ඒවට අමතරව, ස්වයං අධ්‍යයනය ඉතාමත් ම වැදගත්. එහෙම නැතිව, රංගන ශිල්පියෙක් හෝ අධ්‍යක්ෂවරයෙක් බිහිවෙයි කියලා මම හිත්නෙ නැහැ.

හැම විටම ඔබ, චරිතයකට පිවිසෙන ආකාරය සුවිශේෂයි. ඉතා සියුම් මනෝභාව නිරූපණයෙහිලා ඔබ අති දක්ෂයෙක් කිව්වොත්?

මගේ ජීවිතයේ මම විඳපු අත්දැකීම්, ඒ ආකාරයෙන් ම මිනිසුන් අතරට ගේන්න උත්සාහ කරනවා. උදාහණයක් විදිහට, මම මගේ පිටපතේ තියෙන සියුම් හැඟීම්, යළි යළිත් කියවමින්, ඒ සියුම් හැඟීම් එළියට ගේන්න මා තුළ තිබෙන උත්සාහය තමයි ඔබ ඔය දකින්නෙ.

රූපවාහිනිය වාණිජ අරමුණු වෙනුවෙන් ම පවතිනවා යැයි සමහරු පවසද්දී, ඔබලා වැනි කලාකරුවන් පිරිසක් උඩුගං බලා යමින් සිටිනවා යැයි මා පැවසුවොත්?

අපේ රටේ වැඩි ම පිරිසක් භාවිත කරන මාධ්‍ය රූපවාහිනියයි. වැඩි ම පිරිසකට එකවර ආමන්ත්‍රණය කරන්න පුළුවන් තැනත් රූපවාහිනියයි. ඒක අපි පාවිච්චි කරන්න ඕනැ, ඒ මිනිස්සුන්ගෙ මනස දියුණු කරන්නයි. උසස් ගණයේ ටෙලි නාට්‍යයක් කරලා, මිනිසුන්ගෙ රස වින්දනය හදනවා කියන්නෙ ලේසි පහසු දෙයක් නෙමෙයි. අද වනවිට අපේ රූපවාහිනී මාධ්‍ය, හරසුන් විදේශීය ටෙලි නාට්‍ය පෙන්වමින්, මිනිසුන්ගේ වින්දනීය ම්ටටම් හා දැනුවත්භාවය නැති කරමින් සිටිනවා. ඒක රටක සිදු නොවිය යුත්තක් . කලාව කියන දේ මිනිස්සු සඳහා නම්, එය කිරීමේ වගකීම තියෙන්නෙ කලාකරුවාගෙ අතේ. ඒත්, අද අපේ රටේ කලාකරුවන්ට ඒක කරන්න අවස්ථාවක් නැහැ.

ඔබ පවසන තැනට, අපේ ටෙලි නාට්‍ය රැගෙන ඒමට, කළයුතු දේ කාරණා ලෙස ඔබ දකින්නෙ?

මේ දෙය කර්මාන්තයක් විදිහට දියුණු නොවෙන තාක්, මේ කලාව මෙතැනමයි. උදාහරණයක් විදිහට, 'කූඹියෝ' අධ්‍යක්ෂවරයා

එම ටෙලි නාට්‍ය හදලා, ඒක විකාශය කරන්න අවුරුදු ගණනක් බලාගෙන හිටියා. මම ටෙලි නාට්‍ය දෙකක් නිෂ්පාදනය කළා. ඊට පස්සෙ අවුරුදු ගණනින් ටෙලි නාට්‍යයක් කළේ නැහැ. අපි රූපවාහිනී නාලිකාවලට ගියහම, ඔවුන් බලන්නෙ, ඔවුන්ට ඕන විදිහට අප පාවිච්චි කරන්නයි. ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍යයකට දරන ඉහළ ම පිරිවැය දරමින්, අපේ රූපවාහිනී නාලිකා දෙකක්, ඉතිහාස කතා දෙකක් කරනවා. ඒ කියන්නෙ හොඳ දෙයක් කරන්නත් පිරිවැය දරන්න ඔවුන්ට හැකියාවක් තියෙනවා . ඔවුන් කරන්නෙ, තමන්ගේ බල අධිකාරය පවත්වාගෙන යන්න පුළුවන් දේට මුදල් වියදම් කරන එකයි. තමන්ගේ මතිමතාන්තරවලට එකඟ නොවෙන නිර්මාණ වෙනුවෙන්, ඒ දේ කරන්න ඔවුන් සුදානම් නැහැ.

මේ සියලූ ම දුෂ්කරතා අතරින්, අධ්‍යක්ෂවරයෙක් විදිහට ඔබ, ඔබේ නවතම ටෙලි නිර්මාණයේ වැඩ කරගෙන යනවා. 'තණමල්විල කොල්ලෙක්' ළඟදීම ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබෙන ටෙලි නාට්‍යයක්ද?

තණමල්විල කොල්ලෙක් වැඩ බොහෝ දුරට අවසන් කරලා තියෙන්නෙ. මේ දිනවල එහි සංගීත කටයුතුවලට බාරදීලා තිෙබනවා. මේ ටෙලි නාට්‍ය, මුදල් සම්භාරයක් වියදම් කරලා කරපු නිර්මාණයක් නිසා, වැඩේ හරියටම කරලා විකාශනය කරන්නයි බලාපොරොත්තු වෙන්නෙ. මේ නිර්මාණයෙන් අපි කතා කරන්නෙ, දුෂ්කර පළාත්වල තරුණයන්ට බලපාන සමාජ, ආර්ථික හා දේශපාලනමය කාරණායි. මෙය එක්තරා කුතුහලයක් සමඟ ජනතාව අතරට ගේන්න බලාපොරොත්තු වන නිසා, මෙහි අන්තර්ගතය ගැන වැඩිපුර කතා කරන්න කැමැති නැහැ . මේ නිර්මාණය, ජනතාවට හොඳ අත්දැකීමක් වගේ ම, තරුණයන් අතර ජනප්‍රිය ටෙලි නිර්මාණයක් වෙයි කියලා මම හිතනවා.

ධම්මිකා සුරංජි පති­රණ
සංස්කරණය 
ඉරෝෂිණී දීපිකා

නව අදහස දක්වන්න