රට විදුලි අර්බුදයේ රතු ඉර ළඟ | දිනමිණ

රට විදුලි අර්බුදයේ රතු ඉර ළඟ

දුමින්ද අලුත්ගෙදර

ලක්මාල් ප්‍රනාන්දු ලේකම්
සූර්ය බලශක්ති කර්මාන්තකරුවන්ගේ සංගමය

මතුවී පවතින විදුලිය අර්බුදයට හේතුව කුමක්ද විදුලිය අර්බුදය විසඳීම සඳහා යොදා ගත හැකි උපක්‍රම මොනවාද? ඒ සඳහා සූර්ය ශක්තිය දායක කර ගත හැකි ආකාරය සහ ඒ සඳහා පවතින ගැටලු සහ ඒවා විසඳාගත යුතු ආකාරය අද එහා ඉවුර හි සාකච්ඡා කෙරේ.

දිගු කාලයක සිට රටේ පවතින බලශක්ති අර්බුදය ජය ගන්න හැකියාවක් නැද්ද?

අනිවාර්යයෙන් පුළුවන්. සූර්ය බලශක්ති කර්මාන්තකරුවන් හැටියට අවුරුදු පහක පමණ කාලයක ඉඳලා අපි ඔබ අහන ප්‍රශ්නය ගැන කතා කරනවා. අනාගතයේ ඇතිවෙන්න පුළුවන් බලශක්ති අර්බුදය ගැන අපි රජය දැනුවත් කරලා තියෙනවා. සුනිත්‍ය බලශක්ති අධිකාරියෙන් මීට පෙර සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ට බලපත්‍ර ලබාදෙන ක්‍රමවේදයක් තිබුණා. එහෙම බලපත්‍ර ලබාදෙන එක දීර්ඝ කාලයක් නවතා දමා තිබිලා, 2015න් පස්සේ යළි බලපත්‍ර ලබාදෙන්න ගත්තා. එතැනදී පොළොව මත සවි කරන සෝලා කට්ටල 590කට පමණ ඉල්ලුම්පත් සුනිත්‍ය බලශක්ති අධිකාරියට ලැබිලා තිබුණා. ඒ ඉල්ලුම්පත් යොමුකර තිබූ සුළු පරිමාණ කර්මාන්තකරුවන්ගේ ව්‍යාපෘතිවලින් මෙගාවොට් 1490කට වඩා වැඩියෙන් උත්පාදනය කරන්න පුළුවන්. ඒත් තවම ඒවට අවසරය ලැබිලා නැහැ.

මෙගාවොට් 1490 උත්පාදනය කරලා ජාතික පද්ධතියට එකතු කළා නම්, විදුලිය විසන්ධි කරන්න අවශ්‍ය නැහැ කියලද කියන්නේ?

දැන් තියෙන විදුලිය විසන්ධි කිරීමට කලින් නොරොච්චෝලේ 2 වැනි ටර්බයිනය නැවතුණ වෙලාවේ, මුළු රටේ ම විදුලිය විසන්ධි කළා.

මුළු රටේ ම විදුලිය විසන්ධි කරන්න සිද්ධ වුණේ කැඩුණ ටර්බයින් එකෙන් මෙගාවොට් 200ක විදුලියක් උත්පාදනය කරද්දීයි. සෑහෙන කාලයක ඉඳලා බලශක්ති සංකලනයක් තියෙන්න ඕනෑ කියලා කියන්නේ ඒ නිසයි. අද වෙනකොට ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්තිය තියෙන්නේ 1%ක ප්‍රමාණයක්. කොහොම නමුත් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය තත්ත්වය යටතේ 10%ක ප්‍රමාණයකට යන්න පුළුවන් කියලා ඉංජිනේරු මතයක් තියෙනවා. එහෙම තිබියදී සූර්ය බලශක්ති කර්මාන්තයට බලපත්‍ර නොදෙන එකයි තියෙන ප්‍රශ්න ය.

වත්මන් රජය ජාතික විදුලි පද්ධතියට සුර්යය බලශක්තියෙන් විදුලිය ලබා දෙන්න ව්‍යාපෘති ආරම්භ කළා නේද?

මීට අවුරුදු තුනකට විතර කලින් රජය ආරම්භ කළ සූර්යය බල සංග්‍රාමය කියන වැඩසටහනේදී අපි මෙගාවොට් 230ක ප්‍රමාණයක් ජාතික පද්ධතියට එකතු කරලා තියෙනවා. ඒකෙන් මෙගාවොට් 50ක් විතර පොළොව මත සවිකළ සූර්යය බල කට්ටලවලින් ලැබෙන විදුලිය. ඉතිරි 180 ම වහල මත සවිකළ කට්ටලවලින් ලැබෙන විදුලිය. මේ ආකාරයට විදුලිය උත්පාදනය කිරීමෙන් අපේ රටේ මුදල් අපේ රටේ ම ඉතිරි වෙනවා. සූර්යය, සුළං, ජල විදුලිය කියන්නේ මේ රටේ මුදල් රට තුළම රඳවා ගන්නා එකම ක්‍රමය. ඩීසල්, එල්.එන්.ජී යන ඕනෑම ආකාරයේ බලශක්ති ක්‍රමවේදයකින් රටේ මුදල් පිටට ගලා යාමක්. ඒ නිසා මේ රටේ කර්මාන්තකරුවන්ට තවත් ඉඩ දෙන්න ඕනෑ. රටේ මුදල් රටේ ම ඉතිරි කරගන්න ක්‍රමවේදයක් තියෙන නිසා මේ රටේ බුද්ධිමත් ජනතාවත් ඒ ගැන සිතන්න කාලය හරියි කියලයි හිතෙන්නේ.

වෙනත් බලශක්ති ප්‍රභව වෙත මාරුවෙන්න විශාල ආර්ථික ශක්තියක් ඕනෑ කියලයි සමාජ මතය?

මෙගාවොට් 1ක ධාරිතාවක් ඇති හයිඩ්‍රො ප්ලාන්ට් එකක් සවිකරන්න මිලියන 28ක විතර වියදමක් යනවා. නමුත්, මෙගාවොට් 1ක සූර්යය බලශක්තියක් සහිත සෝලා කට්ටලයක් වහල මත සවිකරන්න යන්නේ මිලියන 120ක විතර ප්‍රමාණයක්. පොළොව මත සවිකරන කට්ටලයකට තවත් මිලියන 20ක් විතර වැඩිවෙන්න පුළුවන්. සූර්යය බලශක්තිය මේ රටේ කර්මාන්තකරුවන්ට කරගෙන යන්න පුළුවන්. ඒකට යන වියදම අඩුයි. අපි කතා කරන්නේ අපේ රටේ මුදල් ඉතිරි කරගන්න පුළුවන් ඉතාම සරල කාරණයක් ගැනයි. ඒ නිසා එවැනි දේකට මුදල් යෙදවීම ප්‍රශ්නයක් නෙවෙයි.

ඔය කියන විදිහට බලශක්ති අර්බුදය විසඳීමට සරල මඟක් තිබියදී ඊට ඉඩ නොදෙන්නෙ කවු ද?

විදුලිබල මණ්ඩලයෙන් රුපියල් 2.50 සිට රුපියල් 35 දක්වා මුදල් ගෙවා විදුලිය ලබා ගැනීමක් තමයි දැනට කෙරෙන්නේ. එහෙම විදුලිය විකුණලා හොයන සල්ලි කොහෙටද යන්නෙ කියලා අපි හැම වෙලාවෙම හිතන්න ඕන. වැඩි මුදලක් හරි දීලා මේ රටේ සූර්යය බලශක්තියෙන්, ජලයෙන්, සුළං බලයෙන් නිපදවන විදුලිය ලබා ගන්න කියලා කියන්නේ ඒ නිසයි. අපි වත්මන් විදුලිබල ඇමැතිවරයා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තියෙනවා. එතුමා තත්ත්වය තේරුම් අරගෙන විසඳුමක් දෙයි කියලත් අපි විශ්වාස කරනවා.

දැනට පවතින විදුලි අර්බුදය ජාතික ආර්ථිකයටත් බලපානවා නේද?

අද වෙනකොට තියෙන විදුලි අර්බුදය රටේ ආර්ථිකයට එල්ල වුණ මරු පහරක් විදිහටයි අපි දකින්නේ. මේ රටේ ඉන්න සියලුම ව්‍යාපාරිකයින්ට කර්මාන්තකරුවන්ට තමන්ගේ කර්මාන්ත කරගෙන යන්න බැරි තැනට පත් වෙලා. සුළු ව්‍යාපාරිකයින් බොහෝමයක් එදා වේල හොයාගෙන පඩි නඩි ගෙවලා දුවන අය. දිනකට තුන් පාරක් විදුලිය කප්පාදු කළා ම යන්ත්‍ර සූත්‍රවලින් වැඩ කරන අය වැඩ කරන්නේ කොහොමද? බොහෝ කර්මාන්තකරුවන් ගැටලු රැසකට මුහුණ පාලා. ඔවුන්ගේ නිෂ්පාදන වෙලාවට කරගන්න බැහැ. සේවකයන්ට වැටුප් ගෙවන්න ඕන, නමුත් නිෂ්පාදනය බිඳ වැටිලා. බොහෝ කර්මාන්තකරුවන් දැනටමත් තම කර්මාන්ත වහලා දාන තැනට පත් වෙලා. මේවා තමයි මේ රටේ ආර්ථිකයට එල්ල වුණ බලපෑම. රටක විදුලිය නොමැතිව තියෙන පැයක් ඒ රටේ විශාල ආර්ථික පරිහානියක්. 2015දී විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයා ම මේ අනතුර පෙන්නලා දීලා තියෙනවා.

මේ රටේ විදුලිබල අවශ්‍යතාවය සපුරන්න විදුලිබල මණ්ඩලය අසමත් වීමට හේතු තියෙනවද?

ඔබ දකින ආකාරයට මේ රට තුළ විදුලිබල ශක්තියේ අවශ්‍යතාවය වසරින් වසර වර්ධනය වෙනවා. සෑම වර්ෂයකදීම මෙගාවොට් 200 - 300 අතර ධාරිතාවක් අනිවාර්යයෙන් ම විදුලි පද්ධතියට එකතු වෙන්න ඕනෑ. එහෙම වුණොත් විදුලි කප්පාදුවකින් තොරව යන්න පුළුවන්. පසුගිය වසර 4ටම විදුලි පද්ධතියට එකතු කරලා තියෙන්නේ සෝලා මෙගාවොට් 230 විතරයි. එහෙමනම් වසරින් වසර ඉහළ යන විදුලි ඉල්ලුම සපුරන්න නොදී ඉන්නෙ ඇයි කියන ප්‍රශ්නය අපිට තියෙනවා. අඩුම තරමින් එක් වසරකදී මෙගාවොට් 200ක ධාරිතාවක් හෝ ජාතික පද්ධතියට එකතු කරන්න පුළුවන් නම් මේ අර්බුදය තරමක් විසඳගන්න පුළුවන්. ඒ එකතු කිරීම සූර්යය බලශක්තියෙන් කළ හැකිව තිබියදී ඇයි ඉඩ නොදෙන්නෙ කියලයි අපිට අහන්න තියෙන්නෙ.

නොරොච්චෝලේ, සාම්පූර් වැනි ගල් අඟුරු බලාගාර ඉදිකිරීමට යෝජනා වුණේ අනාගතයේ මතුවෙන විදුලි අර්බුදය විසඳන්න නේ ද?

ගල් අඟුරු කියන ප්‍රභවය ක්‍රමයෙන් ඉවත්වෙලා යන තත්ත්වයක් ලෝකය පුරා දකින්න තියෙනවා. ඒ නමුත් ලංකාවේ වෙනත් විකල්ප ඕනෑ තරම් තියෙනවා. ඔය කියන බලාගාරවලින් ජාතික පද්ධතියට විදුලිය එකතුවෙන්න යන කාලය අනුව විදුලි අවශ්‍යතාවය තවත් වැඩිවෙලා ඉවරයි. ඒ නිසා තමයි සෝලා විදුලිය කියන එක වැඩි කරන්න ඕන. මේ ප්‍රශ්නයට තියෙන හොඳම ආදේශකය තමයි සූර්යය බල ශක්තිය. ඊට ගතවන කාලය අඩුයි. වියදම අඩුයි. දේශීය කර්මාන්තකරුවන්ගෙන් නිපදවෙන විදුලිය නිසා එහි ආර්ථික වාසිය රටට දැනෙයි.

බොහෝ නිවෙස්වල සවිකර තිබෙන සෝලා විදුලි පද්ධතිවල සාර්ථකත්වය කොහොමද?

ලංකාවේ නිවාස මිලියන 6ක් විතර තියෙනවා. ඒ මිලියන 6න් නිවාස 18,000ක පමණ විතරයි සූර්යය බල කට්ටල සවිකරලා තියෙන්නේ. මිලියන 6ක නිවාස හරහා කොයිතරම් විදුලියක් ජනනය කරන්න පුළුවන් ද කියන කාරණය දැන් සිතන්න ඕන. වහල මත සවිකරන විශාල ප්‍රමාණයේ සූර්යය කට්ටලයකින් උත්පාදනය කරන විදුලිය මාස 6ක් තිස්සේ ජාතික පද්ධතියට ගන්නේ නැහැ කියලා අමාත්‍යවරයා හමුවූ සාකච්ඡාවකදී එක් පුද්ගලයෙක් කිව්වා. හිතලා බලන්න, ඒ පුද්ගලයා සවිකරලා තියෙන කට්ටලයෙන් නිපදවන මෙගාවොට් 5ක ධාරිතාවය මාස 6ක් පුරාවට ජාතික පද්ධතියට දෙන්න බැරිව ඉන්නවා. මෙතැන විශාල විදුලි ප්‍රමාණයක් තියෙනවා. ඇයි විදුලිබල මණ්ඩලය මේ විදුලිය ගන්නෙ නැත්තෙ. මේවාට වගකියන්නෙ කවුද? මේ වගේ ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් තියෙන්න ඕන. එහෙම නැතිව මේ විදුලි අර්බුදය විසඳන්න බැහැ.

විදුලිය බල මණ්ඩලය සූර්ය බලශක්තිය ලබා නොගන්න හේතු තියෙනවද ?

මෙතැන තියෙන්නේ පුද්ගලයින් කිහිප දෙනෙක් එකතු වෙලා කරන වැඩක්. අපි සූර්ය බල ශක්තිය ගැන කතා කරන්නේ ප්‍රාදේශීය ව්‍යාපාරිකයෝ සම්බන්ධ කරගෙන. සූර්ය බලය නිපදවීමේ ප්‍රාදේශීය ව්‍යාපාරිකයන්ගේ විදුලිය විදුලිබල මණ්ඩලය ගන්නවා නම්, ඒ මුදල් එන්නේ ප්‍රාදේශීය ව්‍යාපාරිකයාට. එතැන ඉන්නේ ලංකාවේ සේවකයෝ. ඒ අයට ඒ මුදල් බෙදිලා යනවා. ඒ ක්‍රමය කණපිට හරවලා විදෙස් රටවලින් මේ රටේ විදුලිය නිපදවන්න ආයෝජන ගෙන්නන්න අවශ්‍ය නැහැ. අපේ රටේ විදුලි අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න සූර්යය බලශක්තියට පුළුවන්. ඇයි මේවා කවුරුත් තේරුම් නොගන්නෙ කියලයි අපිට අහන්න තියෙන්නේ. මේ රටේ ඉන්න සුළු ව්‍යාපාරිකයින් දියුණු වුණොත් රට දියුණු කරන්න පුළුවන්. වෙන රටක කෙනෙක් ඇවිල්ලා මේ රටට ආදරෙන් ව්‍යාපාර කරන්නේ නැහැ. මේ රටේ ඉන්න ව්‍යාපාරිකයින්ට ඉඩ දෙන්න ඇයි බැරි.

ශ්‍රී ලංකාවේ සූර්ය බල කර්මාන්තයට දේශීය ව්‍යාපාරිකයින්ගේ උනන්දුව කොහොම ද?

ඉතාම කෙටි කාලයකදී කර්මාන්තකරුවන් 7000කට වඩා බිහිවෙලා තියෙනවා. ඒ කියන්නේ පවුල් 7000ක් යැපෙනවා. ලංකාවේ ඉංජිනේරු උපාධිධාරීන් බොහෝ ප්‍රමාණයක් මේ සෝලා විදුලි නිපදවීමේ කාර්යයේ නියැලිලා ඉන්නවා. අපි කතා කරන්නේ උගත් ඉංජිනේරුවන් බිහි කරන කර්මාන්තයක් ගැන. තරුණ ව්‍යාපාරිකයන් සහ ඉංජිනේරුවන් අද මේ කර්මාන්තයේ ඉන්නවා. මේ කර්මාන්තයේ ඉන්න සමාගමක් විදෙස් රටක ප්ලාන්ට් සවිකරන ටෙන්ඩර් බාර අරගෙන තියෙනවා. අපි සතුටු වෙන්න ඕන අපේ ඉංජිනේරුවරු විදෙස් රටවල ගිහින් මේ කරන වැඩවලට. ඇයි අපේ රටේ මේ අයට ප්‍රමුඛතාවය නොදෙන්නේ. එහෙම අවස්ථාව දුන්නානම් අපේ මුදල් අපේ රටේ ඉතිරි වෙනවා. අපේ ශ්‍රම බළකාය දියුණු වෙනවා.

පවතින තත්ත්වය දිගටම පැවතුනොත් අනාගතයේදී කවර ආකාර ගැටලුවලට එටට මුහුණ දෙන්න වෙයි කියාද ඔබ හිතන්නේ?

අනාගතයේ මතුවෙන විදුලි අර්බුදය ගැන අපි දිගින් දිගටම බලධාරින් දැනුවත් කළා. ඊට විසඳුම සූර්ය බලශක්තිය කියලත් අපි කිව්වා. නමුත් බලාගෙන හිටපු කාලය තුළ ඊට සාධනීය පිළිතුරු ලැබුණේ නැහැ. මේ රටේ මහජනතාව බොහොම සාමකාමීයි. ඒත් ඒ සාමය අවසන් වෙනකොට විප්ලවාදීව නැඟිටින ජනතාවක් මේ රටේ ඉන්නවා. අද අපි විදුලි අර්බුදයේ රතු ඉර ළඟ ඉන්නෙ. දිගින් දිගටම මේ අර්බුද මතුවෙනකොට ජනතාව හඬනඟයි. සමාජ මාධ්‍ය දැනටමත් හඬ අවදිකරලා ඉවරයි. එහෙම එකතුවුණ අය තමයි අවුරුදු ගාණකට උඩදි රජයක් පෙරළලා දැම්මේ. හැමෝම එකවගේ මේ ගැන හඬ නඟනවා නම් මේවා වෙනස් කරන්න පුළුවන්.

 

 


නව අදහස දක්වන්න