යොවුන් මනස විකෘති කරන වායු දුෂණය | දිනමිණ

යොවුන් මනස විකෘති කරන වායු දුෂණය

ජනාකීර්ණ ලන්ඩන් නගරයේ වායු දුෂණය පාලනය කිරීමට බ්‍රිතාන්‍ය අලුත් පියවරක් ගැනීමට තීරණය කර තිබේ. එය ඉතා නිර්භීත තීරණයක් ලෙසද සැළකේ.

ඒ අනුව බ්‍රිතාන්‍ය ලබන සඳුදා සිට මධ්‍යම ලන්ඩනයට ඇතුලු වන වාහන රියදුරන් සඳහා නව ගාස්තු අයකිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමට තීරණය කර තිබේ.

වැඩිපුර දූෂිත වායු විමෝචනය කරන රථවාහන පාලනය කිරීම තුළින් වායු දුෂණය අවම කර එමගින් රෝග පාලනය සහ අකල් මරණ ගණන අඩු කිරීම මෙහි අරමුණු වේ.

මෙම ක්‍රමවේදය හඳුන්වා දෙන්නේ වායු දුෂණය මගින් සිදුවන බලපෑම් මුලින් සිතූ ප්‍රමාණයට වඩා අධික බවට විද්‍යාඥයින් පවසන අතරතුරය.

ලන්ඩනයේ නගරාධිපති සාදික් ඛාන් බීබීසීයට පවසා ඇත්තේ වායු දුෂණය පියවි ඇසට නොපෙනුනද එය පාලනය කිරීම හදිසි මහජන සෞඛ්‍ය අවශ්‍යතාවක් බවය.

මහාමාර්ග ආශ්‍රිත නයිට්‍රිජන් ඔක්සයිඩ් වැඩිවීමට බලපාන වාහන වර්ග:

වායුගෝලයේ පවතින නයිට්‍රජන් ඩයොක්සයිඩ් සහ වෙනත් කුඩා අංශු ශරීරය අභ්‍යන්තරයට ඇතුලු වී දීර්ඝකාලීන හානි සිදු කළ හැකි බව පර්යේෂණ වලින් හෙළිවී තිබේ.

ශ්වසන ක්‍රියාවලියට මෙමගින් දැඩි බලපෑම ඇති වේ. උදාහරණ වශයෙන් ඇදුම වැනි ශ්වසන රෝග වලින් පෙලෙන පුද්ගලයින් අවදානමට පත්විය හැකි අතර නිධන්ගත රෝග මෙන්ම හෘදයාබාධ ඇතිවීමට ද හේතුවක් විය හැකි බව පැවසේ.

එමෙන්ම වායු දුෂණය කුඩා ළමුන්ටද අහිතකර ලෙස බලපාන බව පර්යේෂකයෝ වැඩිදුරටත් පෙන්වා දෙති.

වායු දුෂණය බහුල මාවත් ආසන්නයේ වැඩෙන කුඩා දරුවන්ගේ පෙනහලුවල ධාරිතාව වායු දූෂණය අවම ප්‍රදේශයක ජිවත්වන ළමුන්ට වඩා 5% කින් පමණ අඩු මට්ටමක පවතින බව ඔවුහු පවසති.

වායු දුෂණය බහුල ප්‍රදේශවල උපදින දරුවන් වැඩි අභියෝගවලට ලක් විය හැකි බව මේ පිලිබඳව පරීක්ෂණ සිදුකරන ලන්ඩනයේ කිංග්ස් විද්‍යාලයේ වෛද්‍ය බෙන් බැරට් පවසයි.

Emphysema සහ නිදන්ගත බ්‍රොන්කයිටිස් වැනි ස්වසන රෝග රැසක් උත්සන්න කිරීමට මෙන්ම පෙනහලු ආශ්‍රිත පිළිකා ඇතිවීමට පවා මෙය හේතුවක් විය හැකි බව පර්යෙක්ෂකයින්ගේ අදහස වී තිබේ .

එමෙන්ම යම් පුද්ගලයකුගේ පෙනහලු අභ්‍යන්තරයට ඇතුළු වන විෂ අංශු කොටස් රුධිරයට එක්වීමෙන් යම් රෝගී තතත්වයන් ඇති හැකිය.

මේ නිසා හෘදය වස්තුවේ ධමනි අවහිරවී ආඝාතය ඇතිවීමට ඇති අවස්ථාව ඉහළ යන බවත් එසේම හෘද රෝග සහ හෘදයාබාධ ඇතිවිය හැකි බවත් පර්යේෂකයෝ පවසති..

එමෙන්ම එම කුඩා අංශු රුධිරය ඔස්සේ මොළය දක්වා සංසරණය වීම නිසා මොළයට දා හානි පැමිණිය හැකි බව පෙන්වා දෙන පර්යේෂකයෝ 'ඩිමෙන්ශියාව" වැනි රෝග සඳහා හේතුවක් විය හැකි බවද පෙන්වා දෙති.

මේ අතර ඉකුත් වසරේ චීනය එළිදැක්වූ වාර්තාවකින් වායු දුෂණය සහ මොළයේ ක්‍රියාකාරිත්වය අඩු වීම අතර සම්බන්ධයක් පවතින බව පෙන්වා දී තිබේ.

එසේම පසුගිය සතියේ බ්‍රිතාන්‍යයේ නිකුත් වූ වාර්තාවකින් කියවුණේ යෞවනයින්ගේ මන්ද මානසික හැසිරීම් සහ පරිසර දුෂණය අතර සම්බන්ධයක් ඇති බවයි.

ක්වීන් මේරි විශ්ව විද්‍යාලය මගින් වැදෑමහ පිළිබඳව කළ පරීක්ෂණයක් කර ඇත. එහිදී වායුව දුෂිත ප්‍රදේශවල දිවි ගෙවූ පුද්ගලයින්ගේ පෙනහලු සෛල වල හමුවූ කුඩා කළු ලප වලට සමාන ලප වැදෑමහ වලද සොයාගැනීමට හැකිවීම පර්යේෂකයින් පුදුමයට පත් කිරීමට හේතු වී තිබේ.

"වායු දුෂණය නිසා පෙනහළු අභ්‍යන්තරයේ සෛල මත පිහිටි කුඩා කළු ලප පිළිබඳව පමණයි මෙතෙක් දැනගෙන හිටියේ. නමුත් ඒ හා සමාන ලක්ෂණ සහිත වැදෑමහක් ද දක්නට ලැබුණා. මේ ලක්ෂණ මත තීරණය කළ හැකියි මෙයත් වායු දුෂණයේ බලපෑම මත සිදුවූවක් කියා." එම විශ්වවිද්‍යාලයේ වායු දුෂණය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන නෝරිස් ලු පවසයි.

(බී.බී.සිය ඇසුරෙනි)

නව අදහස දක්වන්න