විදුලිය ප්‍රශ්නය අවුල්කර ගත්තා | දිනමිණ


 

විදුලිය ප්‍රශ්නය අවුල්කර ගත්තා

පාර්ලිමේන්තු මන්ත්‍රී විදුලිබල හා බලශක්ති හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ මහනගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති හිටපු විදුලිබල ඇමැති පාඨලී චම්පික රණවක

විදුලිය අර්බුදය ගැන විවිධ පාර්ශ්වවලින් විවිධ අදහස් මෙන්ම චෝදනා විවේචන ආදියද මතුවෙමින් තිබේ. එහිදී විශේෂයෙන් කියැවෙන කරුණක් වන්නේ ගත යුතුව තිබුණු තීන්දු තීරණ නියමිත වෙලාවට නොගැනීම පවතින අර්බුදයට හේතුව බවයි. මෙවර අදහස් දෙක හිටපු විදුලිබල ඇමැතිවරුන් දෙදෙනකු සඳහා වෙන් වේ.

මතුව ඇති විදුලි අර්බුදයට වග කියන්න ඕන අය ගැන ඔබ මොකක්ද කියන්නෙ?

මේ අර්බුදය සම්බන්ධව යහපාලන ආණ්ඩුවට චෝදනා කරනවයි කියන එක මම පිළිගන්නෙ නැහැ. මම විදුලිබල ඇමැති හැටියට ඉන්න කාලෙ ලොකුම නියඟය ආව. 2016 – 2017 අපි ලයිට් කැපුවෙ නැහැ. ලයිට් බිල වැඩි කළෙත් නැහැ. අපේ රටේ විදුලි ඉල්ලුම මෙගාවොට් 2000ත් 2400ත් අතර තියෙන්නෙ. සීයට සීයක් විදුලිය දුන්නෙ මගෙ කාලෙ. අපි ළඟ විදුලි සැපයුම තියෙන්නෙ මෙගාවොට් 4000 යි. ඒකෙන් 40%ක් ජල විදුලිය.එක මාසෙක නියඟයකින් විදුලි බලයට ලොකු බලපෑමක් වෙනවා. එවැනි කාලවලට අමතර විදුලිය මිලදී ගැනීම් වෙනවා. ලෝකෙ හැම රටකම වෙන්නෙ එහෙමයි. අමතර විදුලිය මිලදී ගැනීමෙදි විනිවිදභාවයකින් ඒක කරන්න ඕන. මගෙ කාලෙත් අපි ඒකකයකට රුපියල් 28ක් ගෙව්වා. විදුලිබල මණ්ඩලය අද වෙන දේ මාස තුනකට කලින් කිව්වා. මෙගාවොට් 170 ගන්න අනුමැතියක් ලැබුණා. මාසෙකට ඉස්සෙල්ල ඒව ගන්න තිබුණෙ. ගත්තනම් මේ අර්බුදය නැහැ. ඇයි ගත්තෙ නැත්තෙ කියන එකයි හොයල බලන්න ඕන.

විදුලි ඉංජිනේරුවන් හැමදාම කිව්වෙ විදුලි අර්බුදයට හේතුව විදුලිබල මණ්ඩලයෙ දිගුකාලීන විදුලි ජනන සැලසුම් පමාවීම හේතුව කියල.

විදුලි ඉංජිනේරුවො කවදාවත් එහෙම කියන්නෙ නැහැ. දිගුකාලීන සැලසුමට අනුව මෙගාවොට් 1500 ක් විතර අලුතෙන් ගන්න සැලසුම්වල තිබුණා. විදුලිබල මණ්ඩලයත්, මහජන උපයෝගීතා කොමිසමත් අතර ලොකු කඹ ඇදිල්ලක් තිබුණා. ඒක නවත්වන්න ජනාධිපතිතුමත් මැදිහත් වුණා. මහජන උපයෝගීතා කොමිසමේ එක නිලධාරියෙක්ගෙ ප්‍රශ්නයක් තියෙන්නෙ. මම ඇමැතිවරය හැටියටත් නියෝජ්‍ය ඇමැති අජිත් පී.පෙරේරා මහත්තයත් ඒ ගැන අගමැතිවරයට කිව්වා. කිසිම දෙයක් වුණේ නැහැ.

දිගුකාලීන සැලසුම්වලට ඒක බලපෑවා. ස්වභාවික වායු බලාගාර 4ක් ආරම්භ කරන්න ජනාධිපතිතුමාගෙන් දිනත් අරගත්තා. චීන රජය එක්ක හම්බන්තොට මෙගාවොට් 400ක්, ඉන්දියාව එක්ක කෙරවලපිටියෙ මෙගාවොට් 500ක් ජපානයත් එක්ක කෙරවලපිටියෙ මෙගාවොට් 500ක්. මේව හැදුණෙ නැහැ. අපි එකිනෙකාට ඇඟිල්ල දික්කරගෙන වැඩක් නැහැ. මහපරිමාන ව්‍යාපෘති හැම එකකම විශාල ප්‍රමාද ඇති වෙනවා. සාම්පූර් බලාගාරය කරගන්න බැරිවුණේ ප්‍රතිපත්තිමය ගැටලු නිසා. පාරිසරික, දේශපාලන, ආර්ථික , සමාජමය හේතු මේ ව්‍යාපෘතිවලට බලපෑම් කරනවා.

පවතින විදුලි අර්බුදයට ප්‍රධාන හේතුව ඔබ ඔය කියන කාරණාමද?

නැහැ. මේ ව්‍යාපෘති සියල්ල ජාතික විදුලිබල පද්ධතියට එක්වෙන්නෙ 2021 දී. මේකට ප්‍රධාන හේතුව අනුමත කරල තිබුණු මෙගාවොට් 170ක විදුලිය පෞද්ගලික බලාගාරවලින් මිලදී නොගැනීම. මෙගාවොට් එකක් රුපියල් 28ක් වගේ ගාණකට විවෘත වෙළෙඳපොළේ මිල ගණන් කැඳවලයි ඒ මෙගාවොට් 170 අරගෙන තිබුණෙ.

පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමෙදී මණ්ඩලය තුළ විදුලිය මාෆියාවක් ක්‍රියාත්මක වෙන බවට වෘත්තීය සමිති චෝදනා කරනවා?

විදුලිබල මණ්ඩලයෙ මාෆියාව මම ප්‍රතික්ෂේප කරනවා. ඔබතුමාලගෙත්, අපෙත් විවිධාකාර මිනිස්සු ඉන්නවා. විදුලිබල මණ්ඩලය හොර ගුහාවක් නෙවෙයි. එතනත් සමහර කණ්ඩායම් ඉන්න පුළුවන්. දේශපාලනික කණ්ඩායම් ඉන්න පුළුවන්. මේ හැම එකක්ම ඇමැතිවරයට පාලනය කරගන්න පුළුවන්. මමත් අජිත් පී.පෙරේරා නියෝජ්‍ය ඇමැතිතුමත් සුහදව වැඩ කළා. රටේ ඇති දුෂ්කර අවස්ථාවලදිත් අපි වැඩ කළා. සූර්යබල සංග්‍රාමය, සුළං බල මෙහෙයුම ගෙනාවෙ, සීතාවක, මොරගල මන්නාරම සුළං ව්‍යාපෘතියෙ වැඩ ආරම්භ කළේ අපේ කාලෙ.

විදුලි ඉල්ලුමේ හැටියට ජාතික විදුලිබල පද්ධතියට විදුලිය එකතුවුණේ නැහැ නේද?

අපේ කාලෙ ආරම්භ කරන්න හිටපු ස්වාභාවික ද්‍රව වායු (LNC) බලාගාරය ආවත් විදුලිය ලැබෙන්නෙ 2021 දි අනුන්ගෙ ඇඟට ‍බෝලෙ පාස්කරන්නයි ඔය හදන්නෙ. ඔය ප්‍රශ්නය ආයෙත් අහන්නත් එපා. පහසුවෙන් විසඳන්න තිබුණු ප්‍රශ්නය අවුල්කර ගත්තා.

ප්‍රශ්නය අවුල් කළේ කවුද?

මට ආරංචි ලැබෙනවා. හිටපු ඇමැතිවරය හැටියට ඒ ආරංචි පත්තරවල පළකරන්න මම කැමති නැහැ. ඒක සදාචාරාත්මක නැහැ.

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය ගැනත් විවිධ කතා තියෙනවා. මේ බලාගාරය දුර්වල එකක්. වෙනත් රටකින් ප්‍රතික්ෂේප වෙච්ච එකක් කියලත් තියෙනවා?

වෙනත් රටකින් ප්‍රතික්ෂේප වෙච්ච එකක් කියන එක බොරුවක්. ඔය බලාගාරය නැත්නම් මේ රටේ පැය 24 ම විදුලිය කපන්න වෙනවා. මෙගාවොට් 900 අඛණ්ඩව සපයන්නෙ නොරොච්චෝලෙන්. ගල් අඟුරු ප්‍රශ්න තිබුණා. මම ඒ ප්‍රශ්නය විසඳුවා. දැන් ඉතාම තරගකාරීව ගල් අඟුරු ගන්නවා. මේ බලාගාරයෙ පළමු කොටස පැරණි තාක්ෂණයට අනුව කරපු එකක්. බලාගාරය හදපු කාලෙට සාපේක්ෂව බැලුවොත් ඒකත් පැරණි නැහැ. අක්‍රීයවීමට සමහර තාක්ෂණික කාරණා තියෙනවා. බලාගාරය පටන් ගනිද්දි වැඩ කළ යුතු මෙගාවොට් පැය ගණන ඒ පැය ගණන් ඉක්මවල අපි වැඩ ගත්තා. නොරොච්චෝලෙට තියෙන්නෙ දේශපාලනික පහර ගැසීමක්.

පොදුජන එක්සත් පෙරමුණෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව ස්ථීර කරල තියෙනවා. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

විවිධ අය විවිධ කතා කියනවා. ඒ ගැන දැන්ම කලබල විය යුතු නැහැ. අපි හොඳම විසඳුමට සාකච්ඡා කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙත් මතයක් තියෙනවා. ඒ මතය හැමෝම දන්නවා. අවසානයෙ ගන්න තීන්දුව ගැන දැන්ම අහන්නෙ ඇයි? ඒක සාධාරණ නැහැ. දැන් එන්න ඕන පළාත් සභා මැතිවරණය. ඒ ගැන කතා කරන්නෙ නැත්තෙ ඇයි?

පළාත් සභා මැතිවරණයෙ තීන්දුව පාර්ලිමේන්තුව සතුයි...?

ඒක කරන්න ඕන යූ එන් පී එක. හැම එහෙකටම දාන 112 පළාත් සභා මැතිවරණය ඉල්ලන්නත් දාන්න කියන්න.

පළාත් සභා මැතිවරණය ඉල්ලල පාර්ලිමේන්තුවට යෝජනාවක් ගේන්න විපක්ෂයටත් පුළුවන් නේද?

අපි ඒකට සූදානම්. ලබන සතියෙ වුණත් අපි යෝජනාව ගේන්නම්. හැබැයි අපි හොඳාකාරව දන්නවා එක්සත් ජාතික පක්ෂය ඒකට විරුද්ධයි. ඔවුන් ඡන්දවලට බයයි. පරදින්න යෝජනා ගෙනැල්ල වැඩක් නැහැ.

නොවැම්බර් මාසෙන් පස්සෙ ජනාධිපතිවරණය පැමිණිය යුතුමයි. එවැනි තත්ත්වයක තමන් ඡන්දය දෙන අපේක්ෂකය ගැන කලින් දැනගන්න ජනතාවට අයිතියක් තියෙනව නේද?

එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා කවුද? තාම ඒ අය කියලත් නැහැ. හැමෝම හංගගෙන ඉන්නෙ. ඕනම පක්ෂයකට ඒ අයිතිය තියෙනවා. ඡන්දෙට මාස හයකට කලින් අපේක්ෂකය දැන ගන්න ඕන කියල නැහැ. කොයි රටේ ද ඕක ක්‍රියාත්මක වෙන්නෙ. ජනතාවගෙ අයිතිය උදුර ගැනීමක් වෙලා නැහැ. අපේක්ෂකය හැංගිල ඉන්නකං මාධ්‍යයට රසවත් මාතෘකා තියෙනවනෙ.

මම විදුලියෙන් ලාබ පෙන්නුවා

- පාඨලී චම්පික රණවක
මහනගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති හිටපු විදුලිබල ඇමැති

රට පාලනය කරපු කිසිම ආණ්ඩුවකින් විදුලිබලයට අදාළව ජාතික ප්‍රතිපත්තියක් හැදුවෙ නැති එක තමයි මේ විදුලි අර්බුදයට හේතුව කියලයි කියන්නෙ.

ප්‍රතිපත්තිවල ප්‍රශ්නයක්වත්, දිගුකාලීන ජනන සැලසුම්වල ප්‍රශ්නයක්වත් මෙතන නැහැ. විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න ගියහම ලංකාවෙ ඇතිවෙන ගැටලු තමයි මේ අර්බුදයට හේතුව. මුලින්ම ගල් අඟුරු බලාගාරයක් අවශ්‍ය බව කිව්වෙ 1988 දි. විවිධ ගැටුම් නිසා ඒ බලාගාරය හැදුණෙ 2010 දි. ඒකත් තාක්ෂණික අතින් දුර්වල එකක්. 2015 දී අලුත් ආණ්ඩුව යටතේ නව ජාතික ප්‍රතිපත්තියකුත් නව දිගුකාලීන විදුලිබල සැලසුමත් ඇති කළා. ඒකට අනුව වැඩ කෙරුණෙ නැහැ. වැඩ කරන්න ගියහම විවිධ ප්‍රශ්න ආවා.

වෘත්තීය ඉංජිනේරුවෙක් රටේ විදුලිබල අමාත්‍යාංශය භාර ගත්තම රටේ නැවතත් විදුලි අර්බුදයක් එන එකක් නැහැ කියල හැමෝම හිතුවා. ඒත් ඔබට එදා ඒ දේ කරන්න බැරි වුණා?

මම අවුරුදු තුනයි හිටියෙ. මගෙ කාලෙ ලයිට් කැපුවෙ නැහැ. චීන බලාගාරෙ පළමු අදියර හදන්න තිබුණා. ඒ අදියරෙ විශාල අඩුපාඩුකම් තිබුණා. දෙවැනි තුන්වෙනි පියවරවලත් ප්‍රශ්න ඇතිවුණා. අපි මැදිහත් වෙලා ඒවා විසඳුවා. හදන්න තිබුණු ඉහළ කොත්මලේ ජලාශයට බලපෑම් ආවා. සමහරු මේ අර්බුදයේ වගකීම මීට අවුරුදු 20කට ඉස්සෙල්ල හිටපු ඇමැතිවරුන්ටත් පවරනවා. ඒක සම්පූර්ණ වැරදියි. අද කිසිම නියඟයක් නැහැ. ඒක පට්ටපල් බොරුවක්. නියමිත වැස්ස එන්න තියෙන්නෙ මැයි 15. ජුනි මාසෙ වෙනකොටත් වැස්සෙ නැත්නම් නියඟයක්. 2012 දිත් මෙහෙම තත්ත්වය ආවා. අපි ඉල්ලුම කළමනාකරණය කළා. ඉහළ විදුලි ඉල්ලුම අදටත් එහෙමයි. CFL.LED හඳුන්වාදීම බලශක්ති ඉතුරුම්කරණය ගැන විධිමත් වැඩ පිළිවෙළක් හැදුවා. ගෙවල්වල ඉඳන් සූර්යබලය ලබාදීම නෙට් මීටරින් හඳුන්වල දුන්නෙ මම. විදුලිබල මණ්ඩලයට උපරිම ලාභ අරන් දුන්නෙ මම. මට මොකද වුණේ? විදුලියෙන් ලාභයි කියල මාධ්‍යයෙ දාන්න එපා කියල එවකට හිටපු රාජ්‍ය නායකයා මාධ්‍යයට නියෝග කළා. ලංකා විදුලිබල මණ්ඩලයේ ලාභය නැති කරන්න කියල ඔහු මහා භාණ්ඩාගාරයට නියෝග කළා. තෙල් මිල ඉහළ යවල, බදුපනවල විදුලිබල මණ්ඩලයෙ මූල්‍ය ශක්තිය විනාශ කළා. 2015 මට ආයෙත් අවස්ථාව ලැබුණා. 2015 විදුලිබල මණ්ඩලය ආයෙත් ලාභ ලබන ආයතනයක් බවට පත් කළා. මණ්ඩලයෙ විධිමත් ටෙන්ඩර් පටිපාටියක් ඇති කළා. මම බිඳපු විදුලි මාෆියාව ආයෙත් හිස ඔසවපු එක ගැන කනගාටුයි.

දිගුකාලීන විදුලි ජනන සැලසුම් හරියාකාරව ක්‍රියාත්මක වෙන්නෙ නැහැ කියල විදුලි ඉංජිනේරුවො කියනවා. ඒ කතාව ඇත්තද?

ඒකට ඉංජිනේරුවොත් ආණ්ඩුත් වගකියන්න ඕන. දෝෂාරෝපණය කරල ඉංජිනේරුවන්ට ගැලවෙන්න බැහැ.

පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේදී මාෆියාවක් ක්‍රියාත්මක බව කියනවා. මේගැන මොකද කියන්නෙ?

ජලාශවල ජලය ඉක්මනින් පාවිච්චි කරල විදුලි අර්බුදයක් හදන්න පුළුවන්. මගෙ කාලෙ එහෙම දෙයක් කළා. 2011 ලෝක කුසලානය වෙලාවෙ ජල විදුලි බලාගාර 5ක් එකවර විවෘත කළා. ඒව කුමන්ත්‍රණ. මේ වසරෙත් ඕනකමින් මේ අර්බුදය ඇති කරපු බව පේනවා. ජනවාරි 01 වෙනකොට හොඳ ජල විදුලි ප්‍රභවයක් තිබුණා. ඒක අවිධිමත්ව පරිහරණය කළා. ඒකට ඇමැතිවරුන්ටයි, ආණ්ඩුවටයි බැණල වැඩක් නැහැ.

මේ මාෆියාව ඇතිවෙන්නෙ විදුලිබල මණ්ඩලය තුළින් කියලත් කියනවා?

මණ්ඩලයේ හැමෝම ඕවට සම්බන්ධ නැහැ. පුද්ගලික අංශයෙ අදහස ලාභ ඉපයීම. විදුලිබල මණ්ඩලය තියෙන්නෙ විශාල මූල්‍ය අර්බුදයක. තෙල් සංස්ථාවට මුදල් ගෙවල නැහැ. පුද්ගලික බලාගාරවලට ගෙවල නැහැ. බැංකුවලට ණයයි. අනෙක් පැත්තෙන් විදුලි බලය සැපයීම ගැනත් ලොකු අර්බුදයක් තියෙනවා.

2015 – 2018 අතර කාලෙදී ස්වාභාවික ද්‍රව වායු බලාගාර 3ක් ඉදිකරන්න ඉන්දියාව, චීනය, ජපානය එකඟවෙලා හිටිය. ඒව ඉදිවුණේ නැත්තෙ ඇයි?

ඔය එකක්වත් විධිමත් ටෙන්ඩර් පටිපාටියකට ආපුව නෙවෙයි. ඔය වගේ කතා ඕනතරම් මම අහල තියෙනවා. විධිමත් ටෙන්ඩර් කැඳවීමක් කළේ එක බලාගාරයකට විතරයි. ඒක අවුරුදු 3ක් තිස්සෙ හදාගන්න බැරිවුණා. විදුලිබල පනතට අනුව එක එක්කෙනාට ඕන විදියට බලාගාර හදන්න බැහැ.

මහජන උපයෝගීතා කොමිසමත් විදුලිබල මණ්ඩලයත් අතර ගැටුමත් මේ අර්බුදයට හේතුවක් බවයි කියන්නෙ?

පනතකින් මහජන උපයෝගීතා කොමිසම ගොඩනැගුවේ එවකට පැවති ආණ්ඩුව. අද විදුලිබල මණ්ඩලය කියල ආයතනයක් නැහැ. තියෙන්නේ ජනනය, සම්ප්‍රේෂණ, බෙදාහැරීම් කියල කලාප. මේ කලාපවලට ලයිසන් දෙන්නෙ මහජන උපයෝගීතා කොමිසමෙන්. මහජන උපයෝගීතා කොමිසමයි විදුලිබල මණ්ඩලයයි කොටස්වලට කැඩුවෙ 2002 දී. 2009 දි විදුලිබල පනත වෙනස් කරල විදුලිබල මණ්ඩලයේ පාලකය හැටියට මහජන උපයෝගීතා කොමිසම පත් කළා. දැන් දොස් කියල වැඩක් නැහැ. ඒ පනත්වලට අනුව වැඩ කරන්න ඕන.

විදුලිබල අර්බුදයට පිළියමක් ලෙස ඉදිවුණ නොරොච්චෝල බලාගාරය හැමදාම කැඩෙනවා. මේ ගැන මොකද කියන්නෙ?

නොයෙක් විවේචන තිබුණත් ඒ බලාගාරය නැත්නම් පැය 15ක් විදුලිය කපන්න වෙනවා. මේ බලාගාරයේ තාක්ෂණ ගැටලු තියෙනවා. මේ බලාගාරය අපේ පද්ධතියට විශාල වැඩියි. ඒක හදල තියෙන ප්‍රමිතියත් වෙනස්. මේ ගැටලුව ඒ නිසයි. බලාගාරයෙ දෙවැනි තුන්වෙනි අදියරවලදී අපිට යම් වාසිදායක තත්ත්වයක් හදාගන්න පුළුවන් වුණා.

මේ විදුලි අර්බුදය නිසා පෝර්ට් සිටිය, විදුලි දුම්රිය, නගර සංවර්ධන ව්‍යාපෘතිවලට බලපෑම් එල්ල විය හැකියි නේද?

ලොකු බලපෑමක් එල්ලවෙනවා. හැදෙන නිවාස සංවර්ධන ව්‍යාපෘතිවලට විදුලිය දීගන්න බැරිවුණොත් ලොකු ප්‍රශ්නයක්. මේ ගැන ආණ්ඩුව වැඩි අවධානයක් ගන්න ඕන. විදුලිබල හිඟය, හදිසිය පෙන්නල නීති විරෝධී කටයුතු කරන්න හරි හිතවතුන් ගෙන්වල බලාගාර හදන්න හරි හදනවනම් වළ ඉහගෙන කෑමක්, ඒක නතර කළ යුතුයි.

ආණ්ඩුව ගේන්න හදන ප්‍රති ත්‍රස්ත පනත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතටත් වඩා භයානක බවයි කියන්නෙ?

1978 දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙනාවෙ අයර්ලන්තයේ තිබුණු ප්‍රශ්නය නිසා බ්‍රිතාන්‍ය ගෙනා ත්‍රස්ත පනත උපයෝගී කරගෙන. ඒකෙ අඩුපාඩු තිබුණා. වැරදි විදියට පාවිච්චි කළා. දේශපාලන විරුද්ධවාදීන් මර්දනයටත් යොදා ගත්ත‍ා. උතුරෙත් දකුණෙත් ත්‍රස්තවාද දෙකක් මර්දනයට මේ පනත ඉවහල් වුණා. අද ත්‍රස්තවාදය පැතිරීමේ ස්වරූපය වෙනත් සයිබර් ත්‍රස්තවාදයත් තියෙනවා. තනි පුද්ගල අවි ත්‍රස්තවාදයත් ඇතිවෙලා. මේව මෙහෙයවන්නෙ අන්තර් ජාලයෙන්. ඒ නිසා අලුත් පනතක් අවශ්‍යයි. මේ පනත ගැන සාකච්ඡා කරල වෙනස්කම් කරන්න පුළුවන්.

ජනාධිපතිවරණයෙදී එක්සත් ජාතික පෙරමුණ ඉදිරිපත් කරන්නෙ කවුද?

ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර ශක්තිමත් කරන්න පුළුවන්. ජයග්‍රහණය කරන්න පුළුවන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා. වැදගත් වෙන්නෙ ප්‍රතිපත්ති, පවුල්වාදය, ගජ මිතුරුවාදය අවසන් කරන්න පුළුවන් රටේ අවශ්‍යතාවට මුල්තැන දෙන කෙනකුට අපේ සහාය දෙනවා.

නව අදහස දක්වන්න