සීනි බෝල චරිත මට සීරි­යස් | දිනමිණ

සීනි බෝල චරිත මට සීරි­යස්

වි ශ් ව   කො ඩි ­කා ර‍

 

“සදාදරණීය ජෝති” නිසා අහම්බයකින් රංගන ශිල්පියකු වන ඔහු 2013, 2014 වසරවලදී සුමති සම්මාන උළෙලේ ජනප්‍රියම රංගන ශිල්පියාය. ටෙලි විෂන් තිරයේ අහිංසක පෙම්වතා වී ප්‍රේක්ෂක ඔබගේ ආදරය දිනාගත් හේ විශ්ව කොඩිකාර ය. 

 

මොනවද මේ දවස්වල කරන රූපගත කිරීම්?

මේ දවස්වල හිරු නාලිකාවේ විකාශය වන "අහස් මාළිගා" ටෙලි නාට්‍යයේ ඉතිරි රූපගත කිරීම්වල නිරතවෙලා ඉන්නේ. මේක ප්‍රභාත් රෝෂන් මහත්මයාගේ නිෂ්පාදනයක්. සමීර හසුන් මහත්මයාගේ අධ්‍යක්ෂණයක්. "අහස් මාළිගා" ටෙලිනාට්‍යයේ මුල් කොටස් අධ්‍යක්ෂණය කළේ, නිමන්ත අයියා. එතුමවත් මේ වෙලාවේ අනිවාර්යයෙන්ම මතක් කළ යුතුයි. ඊට අමතරව ලක්ෂ්මන් පුෂ්පකුමාර මහත්මයා අධ්‍යක්ෂණය කරන, විනෝජා නිලන්ති අක්කා නිෂ්පාදනය කරන අලුත් ටෙලි නාට්‍යකටත් ආරාධනා ලැබිලා තියනවා. මෙහි රූපගත කිරීම් අප්‍රේල් මාසයේ මැදදී පටන්ගනීවි. ජී. නන්දසේන මහත්මාගේ ටෙලි නාට්‍යයකටත් ආරාධනා ලැබිලා තියෙනවා. මේ දවස්වල ඒ කලා කටයුතුත් එක්ක තමයි කාලය ගත කරන්නේ.

ඔබ කාර්යබහුලයි?

ලොකුවට කාර්ය බහුලකමක් නෑ. මොකද "අහස් මාළිගා" ටෙලි නාට්‍යය පමණයි මා බාරගත්තේ. අවුරුදු මාසය ළංවෙලා නිසා, අවුරුදු වැඩසටහන් එක්ක පොඩ්ඩක් කාර්යබහුල වෙන්න වෙලා තියනවා.

චිත්‍රපට ලැබුණේ නැද්ද?

දැනට චිත්‍රපටි සඳහා ආරාධනා ලැබිලා නෑ. පසුගිය දවස්වල චිත්‍රපටි දෙකක රූපගත කිරීම් තිබුණා. අලුත්ම චිත්‍රපටියක් ගැන කතාබහක් තියෙනවා. එය නිෂ්පාදනය කරන්නේ සුනිල් ටී. ප්‍රනාන්දු මහත්මයා. අධ්‍යක්ෂණය කරන්නේ සුදේෂ් වසන්ත කුමාර මහත්මයා.

උදේ එක ටෙලි නාට්‍යයක රූපගත කිරීමකට සහභාගි වෙන, දවල් තවත් ටෙලි නාට්‍යයක රූපගත කිරීමකට සහභාගි වෙන, රාත්‍රියේ තවත් එකකට සහභාගි වෙන රංගන ශිල්පියෙක් කොහොමද මේ අභියෝගයට මුහුණ දෙන්නේ?

මම, උදේ එක ටෙලි නාට්‍යයකත් දවල් එක ටෙලි නාට්‍යයකත් රූපගත කිරීම් කරන්නේ නෑ. එවැනි අවස්ථා ලැබිලා තියෙන්නේ අතේ ඇඟිලි ප්‍රමාණයටත් වඩා අඩුවෙන්. මම එහෙම කරන්න බාර ගන්නේ නෑ. හේතුව මට එහෙම කරන්න අමාරුයි. මොකද? උදේ කාලේ එක චරිතයක් කරලා ඇවිල්ලා, අනෙක් පැත්තට තව චරිතයකට මාරුවෙනවා කියන්නේ ලොකු චේන්ජ් එකක්.

මා නම් එක ටෙලි නාට්‍යයක රූපගත කිරීම් අවසන් වුණාට පස්සේ තමයි, තවත් ටෙලිනාට්‍යයක් බාර ගන්නේ. මොකද නාට්‍යය දෙකක වැඩකටයුතු අස්සට දාගත්තට පස්සේ එකක්වත් හරියට කරගන්න බැරිවෙනවා. මුදල් ගැන පමණක් නොවේ, ප්‍රේක්ෂකයා ගැනත් හිතන්න ඕනේ. ප්‍රේක්ෂකයා අපේ නාට්‍යය නරඹනවා. ඔවුන්ට අපි හරිහමන් දෙයක් දෙන්න ඕනේ. අපේ රංගන පොඩ්ඩක් හරි අවුල් වුණොත් ප්‍රේක්ෂකයාට දැනෙන්නේ විශ්ව කොඩිකාරට දැන් රඟපාන්න බෑ වගේ අදහසක්. ඒ නිසා අපි මේ වගේ අවස්ථාවලදී හොඳට කල්පනා කරලා තීරණ ගත යුතුයි. ඔය වගේ අවස්ථාවලදී මම මුදල් පස්සේ හඹායන්නේ නෑ.

ඔබ වෘත්තීමය රංගන ශිල්පියෙක්ද?

මම වෘත්තීය රංගන ශිල්පියෙක්. හැබැයි වෘත්තීය කිය කියා පස්සෙන් හඹාගෙන යන්නේ නෑ. ඔරොත්තු නොදෙන තරම් වැඩ බාර අරගෙන, උදේටත් ගෙදර නෑ... දවල්ටත් ගෙදර නෑ... රෑටත් ගෙදර නෑ... වගේ තැනකට මම වැටෙන්නේ නෑ. හැබැයි මම වැඩ කරනවා. වෘත්තීය රංගන ශිල්පියෙක් විදිහට වැඩ කරනවා. රංගනයට වගේම පවුලේ වැඩ කටයුතු සඳහාත් මම වෙලාව කලාව ඉතුරු කරගන්නවා.

ඔබට චරිතයක් ලැබුණු විට ඒ චරිතය ගැන හැදෑරීමක් කරනවාද?

මගේ ගුරුවරයා මහේන්ද්‍ර පෙරේරා මහත්මයා. මගේ පියාගෙන් පස්සේ එතුමා හින්දා තමයි මම කකුල් දෙකින් හිටගන්න කලා ක්ෂේත්‍රයේ දැනුම, අවබෝධය හැමදෙයක්ම ලැබිලා තියෙන්නේ. මට ගුරුහරුකම් ලබාදෙන්නේ මහේන්ද්‍ර පෙරේරා මහත්මයයි. අදටත් මට චරිතයක් ලැබුණෙත් අනිවාර්යයෙන්ම ඔහු හමුවෙන්න ගිහින් තිර පිටපත පෙන්නලා, ඒ ගැන කතාබහක් කරලා තමයි රූපගත කිරීම ආරම්භ කරන්නේ.

රංග කලාව හදාරා තියෙනවද?

2008 වසරේ සිට 2011 වසර දක්වා රංගනය ගැන අවුරුදු තුනක හැදෑරීමක් කරලා තියෙනවා, මහේන්ද්‍ර පෙරේරා මහත්මයා යටතේ.

ඔබව අධ්‍යක්ෂවරු තෝරාගන්නේ පෙම්වතාගේ චරිතයට?

පෙම්වතාගේ චරිත තමයි මට මෙතෙක් ලැබිලා තියෙන්නේ. මාව අධ්‍යක්ෂවරුන් තෝරාගන්නා විදිහ. මට මෙතෙක් ලැබී ඇති පෙම්වතාගේ චරිත ඇතුළේ පොඩි පොඩි වෙනස්කම් තිබෙන චරිත ලැබිච්ච අවස්ථා තියනවා. ඒ වෙනස්කම් හඳුනාගෙන, අවබෝධ කරගෙන මා රංගනයේ නිරතවෙනවා. පෙම්වතාගේ චරිත ඒකාකාරී වුණොත් ප්‍රේක්ෂකයාගෙන් මාව ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්.

අපි විශේෂයෙන්ම ප්‍රේක්ෂකයා ගැන සිතිය යුතුය. අධ්‍යක්ෂවරු පවා මාව ඒ ඒ චරිත සඳහා තෝරාගන්නේ මා ගැන විශ්වාසයක් තියලා. ප්‍රේක්ෂකයා, අධ්‍යක්ෂවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ මාව නම් ප්‍රේක්ෂකයා වෙනුවෙන් ඔවුන් බලාපොරොත්තු වන දේ දෙන තැන මම ලොකුවට ඉන්නවා.

ඔබව ඇතැම් අධ්‍යක්ෂවරු සීනි බෝල පෙම්වතාගේ චරිතයටම කොටුකරලා නේද?

මෙතෙක් මට වැඩිපුරම ලැබිලා තියෙන්නේ සීනි බෝල පෙම්වතාගේ චරිත. ඒ මගේ පෙනුම නිසා‍වෙන්න ඇති. හැබැයි මම එක දෙයක් කියනවා. සීනි බෝල වගේ ඩයලොග් සමහර වෙලාවට කියන්න සිද්ධ වෙනවා. ඒවා කියාගන්න පුළුවන් හැකියාවක් තියෙන්නෙත් ඕනේ. ඒ කියන්නේ ආදර කරන අවස්ථාවකදී "මම ඔයාට ආදරෙයි" කියන එක තිර රචනාවේ විදිහටම කියන එකයි, නැතිනම් ටිකක් හැඟුම්බරවෙලා කියන එකයි දෙකක්. හැඟුම්බරවෙලා ඩයලොග් කීමේ හැකියාව අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. එය හැදෑරිය යුතුයි. ඒ ගැන යම්කිසි ප්‍රමාණයකට හෝ අවබෝධයක් තිබිය යුතුයි. සීනි බෝල පෙම්වතාගේ චරිතයක් රඟපාන එකත් අභියෝගයක්. ඒවත් සීරියස් චරිත. ඒක හිතන තරම් ලේසි නෑ. ඉතින් ඒකත් හැදෑරිය යුතුයි. කලාව විතරක් නෙවේ. කිසිම ක්ෂේත්‍රයක හැදෑරීමක් නැතුව එම වෘත්තීය තුළ නිරතවෙන්න බෑ. කලාවෙදිත් එහෙමයි.

රූපගත කිරීමකදී සිද්ධ වුණු භයානකම අත්දැකීම කුමක්ද?

සුජීව ගුණරත්න මහත්මයා අධ්‍යක්ෂණය කරපු "කාල" චිත්‍රපටිය රූපගත කරද්දී ඒ වගේ භයානක අවස්ථාවකට මුහුණ දෙන්න වුණා. ඒ රූපගත කිරීමක් අතර තුර අශ්වයාගේ පිටින් වැටීම නිසා. ඒ සිදුවීම මගේ ජීවිතේට අමතක වෙන්නැති අවස්ථාවක්. ඒ වෙලාවේ කළේ කකුලේ විළුඹට බෙහෙත් ටිකක් දාගත්තා විතරයි. ඒ අමාරුව අවුරුදු එකහමාරක් යනකල් සුව වුණේ නෑ. කිසිම බෙහෙතක් කළෙත් නෑ. ඒ අමාරුව ඉ‍බේටම නැති වෙලා ගියා.

ඔබට වඩාත්ම ආකර්ශනය වන්නේ කුමන විදිහේ ප්‍රේක්ෂකයෝද?

විශේෂයෙන්ම ළමයින්ගේ සහ අම්මලා තාත්තලාගේ ආදරය ගොඩක් ලැබෙනවා. ඒ වගේම ආදරණීය තරුණ පරපුරේ ගැහැනු, පිරිමි භේදයක් නැතිව ඒ ආකර්ෂණයත් තියෙනවා. ඔවුන්ගේ ආදරයත් මට ලැබෙනවා.

ආදරණීය රසිකයන් නිසා දැඩි අපහසුතාවකට මුහුණ දී තිබේද?

මගේ රසිකයෝ නිසා, මාව අපහසුතාවට පත් වුණු අවස්ථා නෑ. එහෙම වුණත් මම ඒවා අපහසුතා විදියට බාරගන්නේ නෑ. මම රූපගත කිරීම්වලට ගිය අවස්ථාවලදී රසිකයෝ මගේ ළඟට ඇවිල්ලා කතා කරන අවස්ථා තියනවා. වාහනය ළඟටම ඇවිත් කතා කරන අවස්ථා ඕන තරම් තියනවා. මම ඒ වගේ වෙලාවල්වලදී වාහනයෙන් බැහැලා ඇවිල්ලා කතා කරනවා. එවැනි අවස්ථා මම කරදරයක්, හිරිහැරයක් විදිහට බාරගන්නේ නෑ. ඔවුන් තමා මට ආදරය කරන ප්‍රේක්ෂකයෝ.

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ආදරය කරන ප්‍රේක්ෂකයෝ. හෙට බිහිවෙන නළුවාට ආදරය කරන ප්‍රේක්ෂකයෝ. මා උත්සාහ කරන්නේ මගේ තැන විතරක් නෙමේ අනෙක් රංගන ශිල්පියොත් මං වගේ නිහතමානියි කියලා ප්‍රේක්ෂකයාට පෙන්වා දෙන්න. අපි රැඳී සිටින්නේ ආදරණීය ප්‍රේක්ෂකයෝ නිසයි. ඔවුන් අපට කරදරයක් නෙමේ. ඔවුන් ළඟට ගිහින් කතා කරන්න ඕනේ. මට ඒක නම් කරදරයක් නෙමේ. මම ඒකට කැමැතියි.

නළු නිළියන්ට හැදෙන කටකතා ගැන ඔබේ අදහස?

කට කතා ගැන මහ ලොකුවට කියන්න දෙයක් නෑ. කටකතා කියන දේ ඕනෑම මනුස්සයෙකුට හැදෙනවා. මටත් තියනවා. මට තාමත් තියනවා. මම ඒවා ගණන් ගන්නේ නෑ. මොකද කටකතාව කවුරු හරි ප්‍රසිද්ධ වෙනකොට, ජනප්‍රිය වෙනකොට හැදෙන දේවල්. හැබැයි කියන්නා කෙසේ කීවත්, අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි.

ඔබට හැදුණු දරුණුම කට කතාව?

මා නම් කට කතාවලට බය නෑ. මට හැදිච්ච කට කතා තමයි, මා සමඟ රඟපාන සහෝදර ශිල්පිනියන් එක්ක ආදර සම්බන්ධකම් තියනවා කියලා හැදෙන කටකතා. මම ඒවා ලොකුවට ගණන් ගන්නේ නෑ. ඒවා සාමාන්‍ය දේවල්. මොකද මගේ සහෝදර ශිල්පිනියන් එක්ක මගේ කිසිම ආදර සම්බන්ධතාවක් ඇතිවෙන්නේ නැති නිසා. මම ඒවා ඒ තරම් හිතට ගන්නේ නෑ. මගේ පවුලේ අයත්, මගේ පියාත් මගේ බිරියත් මා ගැන හොඳින් දන්නා හඳුනන නිසා. එවැනි දෙයක් වගේ හිතෙත් නැත්තේ , මගෙත් එක්ක රූපගත කිරීමක නිරතවෙන හැම ශිල්පිනියක්ම මගේ සහෝදර රංගන ශිල්පිනියන් හැටියටයි මා ගණන් ගන්නේ. එතනින් එහා වෙනත් දෙයක් නෑ.

පසුගිය කාලේ ඔබේ පවුල් ජීවිතය ගැනත් දරුණු කටකතාවක් පැතිරිලා ගියා ?

ඒක භයානක කට කතාවක්. ඒක සිද්ධ වුණේ මගේ දුව ලැබුණු වෙලාවේ. මම පේපර් ආර්ටිකල් එකකට කියලා තිබුණා, මගේ දුවයි, බිරියයි ඉන්නේ කොළඹ. මම ඉන්නේ නුවර කියලා. මට මතක හැටියට... ඒ වෙලාවේ මම හිටියේ රූපගත කිරීමක් එක්ක.

ඒ සිද්ධියත් එක්ක මම ආර්ටිකල් එකට කිව්වේ අපි දෙන්නා වෙන්වෙලා කියලා. මොකද ඒ අවස්ථාවේ අපි වෙන්වෙලා තමයි හිටියේ. එරන්දි ඉන්නේ අපේ අම්මගේ ගෙදර. මම ඉන්නේ නුවර. හේතුව මම වැඩකට ඇවිත් ඉන්නේ කියලා. මේ මොහොතේ වෙන්වෙලා. හෙට අනින්දට මම කොළඹ යනවා කියලා. ඒක තමයි පේපර් ආර්ටිකල් එකේ වැටුණේ අපි වෙන්වෙලා කියලා.

"සදාදරණීය ජෝති " චිත්‍රපටයට මොකද වුණේ?

"සදාදරණීය ජෝති " චිත්‍රපටය රෝයිද සිල්වා මහත්මයගේ අධ්‍යක්ෂනයක්. චිත්‍රපටයේ තව වැඩවගයක් තිබ්බා ඉවර කරන්න. ඒ කාලෙදී තමයි රෝයිද සිල්වා මහත්මයා අසනීප වුණේ. වැඩකටයුතු ඉරව කරගන්න බැරි වුණා. වැඩ කීපයක් තිබ්බා ඉවර කරගන්න. ඒ ගැටලුවත් ඒක්ක ඉන්නවා. "සදාදරණීය ජෝති " චිත්‍රපටය ඉතා ඉක්මනින් ඉවර කරලා ප්‍රේක්ෂකයාට නරඹන්න, එහි නිෂ්පාදකවන මගේ පියා බලාපොරොත්තු වෙනවා.

ඔබ ජෝති වුණේ අහම්බයකින් නේද?

එක සිද්ධ වුණේ නළුවෙක් වෙන්න හිතපු නැති වෙලාවක. මම එය මේ මොහොතේ ආදරයෙන් මතක් කරන්න ඕනේ. සරසවි පුවත්පතේ එවකට හිටපු කර්තෘ ගාමිණී සමරසිංහ මහත්මයා නිසා තමයි මම ඒ අවස්ථාව උදා වෙන්නේ. ඇත්තම කියනවා නම් මගේ පියා මාව චිත්‍රපටයට සම්බන්ධ කරගන්න හිටියේ නෑ. ඒකට මට අවස්ථාවක් දුන්නේ ගාමිණී මහත්මයා. නුවරදී පැවැත්වුණු තරුණී පුවත්පතේ වැඩමුළුවකට මටත් ආරාධනාවක් ආවා.

ඉඳුනිල් දිසානායක මහත්මිය එකපාරටම නිවේදනය කරලා කිව්වා, "සදාදරණීය ජෝති" චිත්‍රපටයට තෝරාගත්ත නළුව කන්ද උඩරට ඉන්නේ විශ්ව කොඩිකාර කියන එක්කෙනා තමයි කියලා. මම පොඩ්ඩක් ගැස්සිලා ගිහින් පස්සට අඩියක් තිබ්බා. පස්සට අඩිය තිබ්බ ගමන් ගාමිණී සමරසිංහ මහත්තයා, "යන්න පුතා" කියලා ස්ටේජ් එකට තල්ලු කළා. ගාමිණී මහත්මයා සහ මගේ පියා ඇතුළු පිරිසගේ ඒ තල්ලුව නිසා තමයි අදටත් මම මේ ක්ෂේත්‍රයේ රැඳී ඉන්නේ.

ඔබ සමාජ සේවකයෙක් බව වැඩි පිරිසක් නොදන්න රහසක්?

මගේ පියා තමයි මාව ඒ පැත්තට නැඹුරු කළේ. එය පටන්ගත්තේ මගේ උපන්දිනයක් සඳහා මහලු නිවාසයකට දානමය කටයුත්තක් කිරීමෙන්. තවත් උපන්දිනයකදී පියා මට යෝජනාවක් ගෙනෙනවා දුප්පත් පවුලකට ඉඩමක් දන්දෙන්න කැමැති නැද්ද කියලා. සමාජ සේවා කටයුතු ඇත්තටම මම පියාගෙන් ඉගෙන ගත්තේ. ඒ අනුව මම ඒ දේවල් පවත්වාගෙන යනවා. අද වෙන කොට මම ගොඩක් දානමය කටයුතුවල නිරත වෙනවා. මම මහ ලොකු සල්ලිකාරයෙක් නෙවේ. අතේ තියෙන හැටියට එහි නිරත වෙනවා. මොකද එච්චරයි අපිට අන්තිමට ඉතුරු වෙන්නේ.

ඔබටත් සිහින ඇති ?

මගේ පුංචි පවුල ඇහැක් වගේ බලාගෙන සහ රංගන ක්ෂේත්‍රයෙන් හොඳ දිගු ගමනක් යන්න සිහිනයක් තියනවා.

අනු­සාර මාහිං­ගොඩ


නව අදහස දක්වන්න