ආහා­ර­වල ගැළ­පීම් නොගැ­ළ­පීම් | දිනමිණ

ආහා­ර­වල ගැළ­පීම් නොගැ­ළ­පීම්

වසන්ත සමයේ බක්මහ සැණකෙළියේ සිරිය, රසවත් ආහාර පානවලින් වඩාත් උත්කර්ෂවත් වෙයි. එනිසා ම, වැඩි දෙනෙක් බඩ ලෙඩ කර ගන්නා කාලයයි මේ.

අවුරුදු ආහාර රස විඳීමට බලා සිටින ඔබට, උදරය රෝගී නොවී ආහාර රස විඳීමට මේ උපදෙස් බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.

වසර ඇරැඹෙන්නේ ද කිරි ඉතිර වීමෙනි. කිරි ආහාර ද අප රස බලන ආහාර අතර ප්‍රධාන ය. කිරි ආහාර රස විඳීමේදී, ඒ සමඟ කෙසෙල්, චෙරි, කොමඩු, ඇඹුල් පලතුරු, මාළු, මස්, යෝගට්, යීස්ට් අඩංගු පාන් ආහාරයට නොගත යුතු ය.

මී පැණි අපේ සංස්කෘතියේ දිව ඔසුවකි. ගිතෙල් නිතරම දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමවල යොදා ගනී. ගිතෙල්, මී පැණි සුසංයෝගය අපේ නීරෝගිභාවය ඉහළ නංවන්නක් වුව ද, මේ ඖෂධ දෙක එක සමාන ප්‍රමාණවලින් ගැනීම නම් හානිකර ය. ගිතෙල් තේ හැඳි තුනක්, මීපැණි තේ හැන්දකට සමාන ය. මී පැණි රත් කිරීම ද සුදුසු නැත.

යෝගට් ද කිරි නිෂ්පාදනයකි. එමෙන් ම ඉතා ගුණදායක ය. වැඩි දෙනෙක් යෝගට් කෑමට කැමැති පලතුරු සමඟ වුවත්, මේ මිශ්‍රණය නොගැළපෙන මිශ්‍රණයකි. එමෙන් ම, යෝගට් සමඟ චීස්, බිත්තර, මාළු, තේ වැනි උණුසුම් පාන, මස්, කිරි ගැනීම නුසුදුසු ය. තක්කාලි , වම්බටු, අර්තාපල්, මිරිස්, ගම්මිරිස්, කිරි සමඟ මිශ්‍ර නොවිය යුතුයි.

පලතුරු, එළවළු හෝ වෙනත් පිසූ කිසිදු ආහාරයක් සමඟ ගැළපෙන්නේ නැත. රට ඉඳි සහ කිරි ද එකට නොගැළපෙන ආහාර පාන ය. ධාන්‍ය සහ පලතුරු ද ගැළපෙන්නේ නැත. තේ වැනි උණුසුම් පාන, අඹ, චීස්, මාළු, මස්, පිටි, යෝගට් සමඟ මිශ්‍ර නොකළ යුතු ය. රාබු කිසි විටෙකත් කෙසෙල්, මිදි හා කිරි සමඟ ගැළපෙන්නේ නැත. බෝංචි අපේ කෑම පිඟානේ ප්‍රධාන ශාකමය ප්‍රෝටීන් සම්පාදකයකි. මේ ප්‍රෝටීන් ගබඩාව, මාළු, පලතුරු, චීස්, බිත්තර, කිරි සහ යෝගට් සමඟ මිශ්‍ර නොකළ යුතු ය.

බිත්තර සමඟ මාළු, චීස්, කිරි, රනිල කුලයේ එළවළු, කෙසෙල් ගැළපෙන්නේ නැත.

පායන කාලයේ පිපාසය අධික නමුදු, ලෙමන් ගෙඩියේ රස බැලිය යුත්තේ, ජලය සමඟ මිශ්‍ර කළහොත් පමණි. ලෙමන්, කිරි සමඟවත්, තක්කාලි සමඟවත්, යෝගට් සමඟවත්, මිශ්‍ර කළ යුතු නැත. බොහෝ පලතුරු මෙන් කොමඩු තනි පලතුරක් ලෙස ගැනීම සුදුසු ය. විශේෂයෙන් කිරි, බිත්තර, බැදපු ආහාර, ධාන්‍ය , පිටි ආහාර කිසිවක් කොමඩු සමඟ නොගත යුතු ය.

අර්තාපල්, තක්කාලි, වම්බටු මාළු මිරිස් වැනි ආහාර කොමඩු, පිපිඤ්ඤා, කිරි ආහාර සමඟ ගැළපෙන්නේ නැත.

අන්තර්ජාලය ඇසුරිනි

චම්පිකා දීපානි


නව අදහස දක්වන්න