මෙරට සොඳුරුතම වෙරළතීර | දිනමිණ

මෙරට සොඳුරුතම වෙරළතීර

 

ශ්‍රී ලංකාවේ අලංකාර වෙරළ තීර වෙත සංචාරකයන්ගේ සිත නිරායාසයෙන් ඇදී යයි. ඒ අන්දමට සංචාරකයන්ගේ අවධානයට ලක්වුණු මෙරට අලංකාර වෙරළ තීර කිහිපයක් ගැන තොරතුරු මෙහි දැක් වේ. මේ වෙරළ තීරවල වෙනස විඳින්නට, එළැඹෙන නිවාඩුවේදී ඔබටත් පුළුවන.

 

1. උණවටුන

කිලෝ මීටර 108ක් පමණ දකුණට වන්නට පිහිටි උණවටුන, ගාල්ල දිස්ත්‍රික්කයට අයත් වෙරළාශ්‍රිත නගරයකි. උණවටුනේ නිසල නීල දිය විඳිනට ඔබ විශේෂයෙන්ම යා යුත්තේ, අගෝස්තු අග භාගයත්, සැප්තැම්බර් මුල භාගයත් අතර කාලයේදී ය. උණවටුන ජෛව විවිධත්වය අතින් පොහොසත් තැනෙකි. ඒක දේශික පක්ෂි විශේෂ, වෙරළ ආසන්න ප්‍රදේශයේදී දකින්නට පුළුවන. රූමස්සල කන්දට ආසන්න ප්‍රදේශය දක්වා ගියහොත්, ඔබට කුරුලු විශේෂ බොහෝ ප්‍රමාණයක් දැක ගන්නට ඉඩ ලැබෙනවාට සැකයක් නැත. උණවටුන මුහුදු තීරයේ කොරල් පර ද බහුල ය. විවිධ විශේෂවලට අයත් මත්ස්‍යයන් බොහෝ ප්‍රමාණයක් එහි ගැවසෙති. කැස්බෑ ගහනය ද ඉහළ ය. වෙරළ තීරයට පැමිණ බිත්තර ලන කැස්බෑවුන්, එහි නිතර දකින්නට පුළුවන. ජල ක්‍රීඩාවල යෙදෙන්නන්ට, උණවටුන මුහුදු තීරය කදිම ය.

2. කල්පිටිය

කිලෝ මීටර 150ක් පමණ දුරින් පිහිටි කල්පිටිය වෙරළ තීරය, සංචාරක ආකර්ෂණය නොමඳව දිනාගත් තැනෙකි. කොරල් පර, ඩොල්ෆින් මසුන් මෙන් ම, දූපත් 16ක් පමණ එහිදී නැරැඹිය හැකි ය. එහි ඇති කොරල් පර ඉතාමත් සුවිශේෂී ය. ශ්‍රී ලංකාවේ දැකිය හැකි විශාලතම සහ ජෛව විවිධත්වයෙන් ඉහළ ම කොරල් පර තිබෙන්නේ, කල්පිටියේ බව සාගර විද්‍යාඥයෝ පවසති. දුර්ලභ කොරල් විශේෂ බොහෝ ප්‍රමාණයක් එහි ඇති බව ද සඳහන් වේ. විශේෂ බොහෝ ප්‍රමාණයකට අයත් මුහුදු ජීවීහු මේ කොරල් පර ආශ්‍රිතව වෙසෙති. මේ නිසා, ජෛව විවිධත්වය අතින් ඉහළ වූත්, සුවිශේෂී වූත් තැනක් හැටියට කල්පිටිය මුහුදු තීරය ආශ්‍රිත පරිසර පද්ධතිය හඳුන්වන්නට පුළුවන.

3. දික්වැල්ල

දික්වැල්ල, රොමාන්තික නැවතුමක් හැටියට ඇතැම් තැනෙක දැක්වේ. ඒ අන් කිසිවක් නිසා නොව, බොහෝ විවාහ යුවළ තමන්ගේ මධුසමය ගත කිරීම සඳහා එහි පැමිණෙන බැවිනි. එහි පරිසරය එපමණටම නිශ්චල ය. රමණීය ය. දික්වැල්ල මුහුද පිහිනුම්කරුවන්ට පාරාදීසයකි. එම වෙරළ තීරය, බීච් වොලිබෝල් ක්‍රීඩාවටත් උචිත ය. බීරළු රේන්ද නිෂ්පාදනය සඳහා දික්වැල්ල ප්‍රදේශය ප්‍රකට ය. දික්වැල්ල බීරළු මධ්‍යස්ථානයට පිවිසෙන කෙනකුට, ඉතා අලංකාර නිෂ්පාදන මිලදී ගන්නට පුළුවන. බීරළු රේන්ද කලාව අනුක්‍රමයෙන් පරිහානියට පත්වන කලාවක් ලෙස නම් කර තිබේ. එය නඟා සිටුවීම සඳහා, සංචාරක ව්‍යාපාරය ඇසුරු කරගත් විශේෂ වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මක ය.

4. වැලිගම

කොළඹින් කිලෝ මීටර 144ක් පමණ දකුණට වන්නට පිහිටි වැලිගම, මාතර දිස්ත්‍රික්කයට අයත් නගරයකි. වැලිගම වෙරළ තීරය ශ්‍රී ලංකාවේ අලංකෘතම වෙරළ තීරයක් හැටියටත් හැඳින් වේ. දරුණු මුහුදු මත්ස්‍ය අනතුරුවලින් තොරව ජල ක්‍රීඩාවල යෙදෙන්නට, වැලිගම මුහුද සුදුසු ම තැනෙකි. රිටිපන්න ක්‍රමය භාවිතයට ගනිමින්, ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයන්, වැලිගමදී සුලභව දකින්නට පුළුවන. ලෝක ප්‍රකට කුෂ්ඨරාජගල ප්‍රතිමාව, වැලිගමට ළඟා වන සංචාරකයන්ගේ ඇස ගැටිය යුතු ම ස්ථානයකි. අතීත විදේශ වාණිජ සබඳතා හේතුවෙන් මහායාන බුදු දහමේ බලපෑම් වැලිගම වෙත එල්ලව පැවැතියේ යැයි කියන්නට, කුෂ්ඨරාජගල ප්‍රතිමාව අගනා සාක්ෂියකි.

5. මීගමුව

මීගමුව කළපුව ආශ්‍රය කර ගත් මීගමු වෙරළ තීරය, ඉතාමත් සුන්දර ය. සිත දැහැන් ගත කරන තරමේ නිසංසල බවක් සහ සාමකාමී බවක් එහි රැඳී ඇත. ලන්දේසි ආභාසය ලත් ගෘහ නිර්මාණ, නගරයෙහි බහුල ය. මුහුද ආශ්‍රිතව විනෝද වන සංචාරකයන්ට, ජල ක්‍රීඩාවල යෙදෙන්නට අවහිරයක් නැත. තල්මසුන් සහ ඩොල්පින් මසුන් බහුල මුහුදු කලාපයක් බැවින්, එම ජීවීන් නරඹන්නට ද යා හැකි ය. එයට අමතරව, කොරල් පරවල අලංකාරය, එහිදී නිරතුරුවම විඳගන්නට හැකි ය. නගරයට පිවිසි විට, පැරැණි ඕලන්ද කොටුව දැක ගන්නට ද පුළුවන. මීගමුව බන්ධනාගරය දැන් පවත්වා ගෙන යන්නේ එහි ය. ඕලන්ද ඇළ, පැරැණි දේවස්ථාන, ධීවර ගම්මාන, මීගමුවට පිවිසෙන සංචාරකයන්ගේ නෙත් සිත් පැහැර ගනී.

6. උප්පුවේලි සහ නිලාවේලි

නැඟෙනහිර ශ්‍රී ලංකාවේ පිහිටි උප්පුවේලි සහ නිලාවේලි වෙරළ තීර, රන් වැලි පාරාදීසයක් හැටියට හැඳින් වේ. ධීවර කර්මාන්තයේ අවශ්‍යතා අනුව සකස් වුණු සංස්කෘතික ලක්ෂණ සහිත වට පිටාවක්, උප්පුවේලිහිදීත්, නිලාවේලිහිදීත් ඔබට විඳින්නට ඉඩ ලැබේ. මේ වෙරළබඩ පෙදෙස්වල ඇතැම් තැනක් සෙවන වී තිබෙන්නේ, පොල් ගස්වලිනි. ගල් පර පිහිටීම නිසා පරිසරයට ලැබුණු අමුතුම අලංකාරයක් තවත් තැනෙක රැඳී තිබේ. මේ වෙරළ තීරවලට සමීප ප්‍රදේශයේ, මෝරු සැරිසරති. ඒ නිසා, මෝරුන්ගේ චර්යා ඉතාමත් සමීපව සහ පැහැදිලිව දැක ගන්නට සුදුසු වෙරළ තීර හැටියටත්, උප්පුවේලි සහ නිලාවේලි වෙරළ ප්‍රකට ය. හින්දු කෝවිල්, පරෙවි දූපත වැනි ස්ථාන, මේ වෙරළ තීරයේදී සංචාරකයකු මඟ හැරිය යුතු නැත.

7. කල්කුඩා සහ පාසිකුඩා

කල්කුඩා සහ පාසිකුඩා යනු, නැඟෙනහිර වෙරළ කලාපයේ පිහිටි කුඩා බොකු දෙකකි. එම වෙරළ තීර දෙක, සංචාරකයන්ට විනෝද වන්නටම මැව්වාක් වැනි ය. පාසිකුඩා වෙරළේ සිට කිලෝ මීටරයක පමණ දුරක් මුහුද දෙසට ඇවිද යන්නට පුළුවන. එකී පෙදෙස අන්තරාදායක නැත. හරියටම කිවහොත් එය, ස්වභාවික තටාකයක් බඳු ය. එනිසා එහි, පිහිනීම භයානක නැත. කල්කුඩා සහ පාසිකුඩා මුහුද ආශ්‍රිත ප්‍රදේශය, කොරල් පරවලින් ද අලංකෘත ය. බෝට්ටු සවාරිවල යෙදෙමින් එම කොරල් පර නැරැඹීමට පහසුකම් ඇත. කිමිදෙන්නට හැකි සංචාරකයන්ට නම්, එහි කිමිදෙමින්, කොරල් පරවල අලංකාරය වඳගත හැකි ය. කැස්බෑවුන් ද එම වෙරළ තීර දෙකෙහි බහුල ය.

8. පොල්හේන

වර්ණවත් මසුන්, කොරල් පර ආදියෙන් සමන්විත පොල්හේන මුහුදු තීරය, නිවාඩුවක් ගත කරන්නට සුදුසු ම තැනෙකි. නිල්වලා ගං කොමළිය සයුර වැළඳ ගන්නා චමත්කාරය නරඹන්නට ඔබ මාතරට පිවිසිය යුතුව ඇත. පොල්හේන වෙරළ තීරය තිබෙන්නේ මාතර සිට කිලෝ මීටර දෙකක පමණ ඈතිනි. පොල්හේන මුහුදු තීරය ආශ්‍රිත කොරල් පර, කිලෝ මීටර හතරක් පමණ දුරට විහිදෙන බැව් සඳහන් වේ. එම කොරල් පර, මිනිස් ස්පර්ශයෙන් දූෂ්‍ය තත්ත්වයට පත් නොවූ ඒවා ලෙස ද ප්‍රකට ය.

9. කොග්ගල

ශ්‍රී ලංකාවේ දක්ෂිණ වෙරළ තීරයේ කළපුවකට ආසන්නයෙන් පිහිටි කොග්ගල, ඉතා කුඩා නගරයකි. කඩොලාන ශාකවලින් පොහොසත් මේ වෙරළ තීරයේ, දුර්ලභ ගණයේ කැස්බෑ විශේෂ කිහිපයක ජීවීන් දකින්නට පුළුවන. බෞද්ධ සිද්ධස්ථාන, කුරුඳු ඉඩම්, මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරය සහ කොග්ගල ඔයේ සුවය සහ චමත්කාරය විඳ ගන්නට, කොග්ගලදී ඔබට ඉඩ ලැබේ. මඩොල් දූව නරඹමින් කොග්ගල ඔයේ බෝට්ටු සවාරියක නිරත වීම, සැබැවින් ම ආනන්දනීය අත්දැකීමකි. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ මඩොල් දූව යොවුන් නවකතාව යළි යළිත් සිහි ගන්වන්නට, එය මා හැඟී අත්දැකීමක් වනවාට සැකයක් නැත.

10. හික්කඩුව

දකුණු වෙරළ තීරයේ පිහිටි හික්කඩුව, දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් නගරයකි. දිය මත ලිස්සායමින් ද, පිහිනමින් ද, කිමිදෙමින් ද, හිරු රැස් විඳිමින් ද විනෝදවීමට හැකි පරිසරයක් හික්කඩුව මුහුදු තීරයේ සහ වෙරළෙහි ඇත. කිලෝ මීටර 24ක පමණ දුරක් පුරා පැතිරුණු ස්වභාවික ගල් මල් උයන, හික්කඩුවටම සුවිශේෂී ය. මේ ගල් මල් උයන මුහුදු පතුලේ අක්කර 251ක් පුරා පැතිර ඇති බව සඳහන් වේ. සීනිගම දේවාලය, තොටගමුව රජ මහා විහාරය, හික්කඩුව ජාතික උද්‍යානය වැනි ස්ථානත්, හික්කඩුවට පිවිසෙන සංචාරකයකුගේ ඇස ගැටිය යුතු ය.


නව අදහස දක්වන්න