ජිනීවා සමුළුවට අවංක වෙන්න ඕන | දිනමිණ

ජිනීවා සමුළුවට අවංක වෙන්න ඕන

දුමින්ද අලුත්ගෙදර

ආචාර්ය සුරේන් රාඝවන් ආණ්ඩුකාර - උතුරු පළාත් සභාව

ජිනීවා මානව හිමිකම් සමුළුව සම්බන්ධයෙන් පවතින විවිධ මතවාද සහ ආණ්ඩුව ඊට මුහුණ දුන් ආකාරයත් උතුරු පළාත් සභාවේ වත්මන් තත්ත්වය සහ උතුරේ අනාගත දේශපාලනය පිළිබඳවත් අවධානය යොමුකරමින් උතුරු පළාත් සභාවේ ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් එහා ඉවුරට එක්වේ.

* උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ඔබ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට සහභාගී වුණා. ජිනීවා සමුළුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක් ද?

ප්‍රජාතන්ත්‍රවාදී රටක රාජ්‍ය ප්‍රතිපත්ති සහ පරිපාලන කටයුතු මෙන්ම රජයේ ව්‍යාපෘති මොනවා ද යන්න පිළිබඳ දැන ගැනීමට පුරවැසියන්ට අයිතියක් තියෙනවා. ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද සමයේ සංක්‍රාන්තික යුක්තිය ඉටු කිරීම සම්බන්ධයෙන් තියෙන සුවිශේෂී කාර්ය භාරයක් තමයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවට ඉදිරිපත් කළ සැලකිල්ලට ගත යුතු වාර්තාව. ඒ වාර්තාවේ ඉතිහාසය තමයි යුද්ධය අවසන් වූ මොහොතේ හිටපු එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා වූ බෑන්කි මූන් මහතා සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර ඇති කරගත් ලිඛිත සම්මුතිය. ඒ තමයි යුද පිටියේදී යම්කිසි මානව හිමිකම් කඩවීමක් වුණා නම් ඒ පිළිබඳ සොයා බලන්න කැපවෙනවා කියන එක.

* ලංකාවේ මානව හිමිකම් කඩ වී ඇති බවට දෝෂාරෝපණය කළේ රාජ්‍ය නොවන සංවිධාන සහ චැනල් 4 කියන නාලිකාව. ඒ ගැන යමක් සඳහන් වුණා ද?

2015 වසරේදී ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලය ගෙන එන යෝජනාවට සම අනුග්‍රහයක් දක්වන රටක් බවට පත් වුණේ ඒ දෝෂාරෝපණවල තිබූ එක් කඩඉමක් විදිහට යි. ඊට කලින් තිබුණේ මානව හිමිකම් කවුන්සිලය ගෙන ආ යෝජනා ප්‍රතික්ෂේප කරන තත්ත්වයක්. ඒ නිසා තමයි 2015 වසර විශේෂ වුණේ. මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවට අනුග්‍රහය දක්වන්න ඕනෑ කියලා අප විසින් ම තීරණය කරලා තිබුණා. 2015 එකඟතාවලට අනුව ඉදිරිපත් වුණ කාරණා සම්බන්ධයෙන් සෑම වසර දෙකකට වරක් සමාලෝචනයට භාජනය කරනවා කියන කාරණයත් ඇතුළත් වුණා. 2017 දී චෝදනාවලට ලක් වුණේ 2015දී එකඟතා ඉටු කළේ නැහැ කියලයි. 2019 වසරේ චෝදනාවට ලක් වෙන්නෙත් ඒ ආකාරයෙන් ම යි.

* යුද්ධය නිසා පීඩාවට පත් වුණේ උතුරේ වැසියන් පමණක් නොවන බව දකුණේ ඇතැම් අය කියනවා. ඒ ගැන ඔබේ අදහස මොකක් ද?

යුද්ධය ආරම්භක අවස්ථාවේ ඉඳලා ඒ බලපෑම දකුණේ ජනතාවටත් තිබුණා. පිටකොටුවේ බෝ ගහ යට ඝාතනය, අරන්තලා ඝාතනය, ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟ ඝාතනය, දළදා වහන්සේට බෝම්බ ගැසීම, මහ බැංකුවට බෝම්බ ගැසීම වැනි දේවල්වලට දකුණේ ජනතාව මුහුණ දුන්නා. යුද්ධය තිබුණේ උතුරේ වුණාට ඒ ව්‍යසනය මුළු රටම වෙළාගෙනයි තිබුණේ. 2009 යුද්ධය ඉවර කළා. නමුත් වසර 10ක් යනතුරුත් අපි ඒ ගැන කතා කරනවා.

* මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපත් කර තිබෙන ලේඛනය ගැන මතභේදයක් ඇති වුණා නේ ද?

මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපත් කරලා තිබුණ ලේඛනය අපි විශ්ලේෂණය කළා. ඒ තුළ බරපතළ වෙනස්කම් තිබෙන බව අපිට තේරුණා. ලේඛනයේ භාෂා ශෛලිය ගැටලුසහගත වුණා. අවුරුදු 30ක් යුද්ධයෙන් බැට කාලා අපේ මිනිස්සු ජීවිත පූජා කරලා, රටම විනාශ වෙලා ගියා. ඒ විනාශයෙන් ගොඩ එන්න හදන අපේ රට අපිට සුවිශේෂ යි.

* ශ්‍රී ලංකා රජය මානව හිමිකම් අතින් ප්‍රගතියක් අත්කරගෙන තියෙනවා කියලා මානව හිමිකම් කවුන්සලයේ පැසසුමටත් ලක් වුණා නේද?

ඒ අය එහෙම කියනවා. මුල් කොටසේ එහෙම කියලා, සාධනීය පියවර ගෙන තිබුණාට කියලා, ඊළඟට ආයෙත් කියනවා මෙන්න මේ චෝදනා තියෙනවා කියලා. මම අධ්‍යාපනඥයෙක් නිසා ඕනෑම ලේඛනයක අන්තර්ගතය සහ අන්තර්ගතයෙන් කියැවෙන සහ නොකියවෙන දේ ගැන අවධානය යොමු කරනවා. ඒ නිසා මානව හිමිකම් කවුන්සිලයේ ලේඛනයේ බොහෝ අඩුපාඩු තිබෙන බව මම කිව්වා. ඒකට ප්‍රතිඋත්තර විදිහට උතුරේ ඉඩම් නිදහස් කරලා තියෙන ප්‍රමාණය, ලක් රජය අත්කරගෙන තිබෙන ප්‍රගතිය පිළිබඳ සටහන් අපි කවුන්සිලයට ලබාදුන්නා.

* මන්නාරම සමූහ මිනීවළ ගැනත් ලක් රජයට චෝදනාවක් එල්ල වුණා?

සමූහ මිනීවළේ රසායනාගාර කාබන් වාර්තා එන්න කලින් ලක් රජයට බරපතළ චෝදනා එල්ල කළා. ඒ විතරක් නෙවෙයි මෙවැනි සමූල ඝාතන තවත් රට තුළ සිදුවී ඇතැයි සැක සංකා තිබෙනවා ය කියන චෝදනාවත් එල්ල වුණා. ස්වෛරී රාජ්‍යයක් විදිහට අපි ඒ චෝදනා පිළිගත යුතුයි කියලා මම හිතන්නෙ නැහැ. අපේ රට ස්වෛරී රාජ්‍යයක්, අපේ රට දුප්පත් තමයි, අපේ රට යුද්ධයකට පැටලුණා තමයි. එහෙම කියලා අපේ රට ගැන තීන්දු තීරණ ගන්න වෙනත් රාජ්‍යයකටවත් ආයතනයකටවත් ඉඩ දිය යුතුයි කියලා අපි කියන්නෙ නැහැ. දේශමාමක උත්තර දෙන්න මට අවශ්‍ය නැහැ. මේ රටේ පුරවැසියෙක් විදිහට අපි හිතන්න ඕන දේ ඒක තමයි. එසේ නොහිතනවා නම් අනාගතයේදී මේ රටට මොනවා වෙයිද කියලා හිතාගන්නත් බැහැ.

2015 දී මානව හිමිකම් කවුන්සිලයට එකඟ වූ ආකාරයට එහි ප්‍රගතියක් රජයට අත්කරගන්න බැරි වුණේ ඇයි?

2019 දී අපි මේ සුනාමිය නැවත වරක් මේ රටට ඇතුළු නොවන්නට හැරවුම් ලක්ෂයක් කරගන්නවා. අපි මානව හිමිකම් කවුන්සිලයට පැහැදිලි පිළිතුරක් දුන්නා. මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ අවංක වෙමු කියන මතයේ මම හිටියා. අවංක වෙනවා කියන්නේ, අපේ රජය කරපු දේවල් ගැන සහ කරමින් ඉන්න දේ ගැනත් කවුන්සිලය දැනුවත් කරමු කියන එක යි. ඊළඟට කරන්නට සූදානම් වන දේ ගැනත් නිවැරැදි දැනුවත් කිරීමක් කරමු කියන ස්ථාවරයේ මම හිටියා. අනෙක් කාරණය තමයි අපි කිසිදාක නොකරන දේ ගැන පැහැදිලි භාෂාවකින් ඒ අයට කියන්න ඕනෑ කියන තැන මම ඉන්නවා. ඒකම තමයි මෙවර සිදු වුණේ. තොරතුරු දැන ගැනීමේ පනත, අතුරුදන්වූවන්ගේ කාර්යාලය, සත්‍ය සෙවීමේ කොමිසම, වන්දි ගෙවීම් කියන කාරණා අපේ ක්‍රියාවලියේ අන්තර්ගත වෙලා තියෙනවා. ඊට අමතර ව ව්‍යවස්ථාව වෙනස් කිරීමේ ක්‍රියාවලියේ කාර්යයන් සිදුවෙමින් තිබෙනවා. උතුරු නැඟෙනහිර සම්බන්ධයෙන් ගත්තොත් නැවත පදිංචි කිරීම්, ඉඩම් මුදාහැරීම්, යුද්ධයෙන් අනාථ වූ පවුල් නඟා සිටුවීම වැනි දෑ සිදුවෙමින් තිබෙනවා. කවුරුන් හෝ බලාපොරොත්තු වන ආකාරයට එකී ක්‍රියාවලි වේගවත් නොවෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි නිදහසින් පස්සේ දකුණේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකට එකතුවෙලා වැඩ කරන පළමු අත්දැකීම ලබමින් සිටීම. ඒක අලුත් අත්දැකීමක්. ඒ නිසා පරක්කු වෙලා හරි හරි දේ වෙමින් තිබෙනවා කියන එක පැහැදිලි යි.

* මානව හිමිකම් ක්‍රියාකාරිකයන් කතා කරන්නේ උතුරේ මානව හිමිකම් කඩවීම් ගැනයි. 71, 88-89 දී ඇතිවුණ තත්ත්ව ගැන ඔවුන්ගේ මැදිහත්වීම් තියෙනවා ද?

ඔබ අහන කාල පරාසය තුළ අතුරුදන් වූයේ, මිය ගියේ මේ රටේ දුප්පත් තරුණයෝ. ශ්‍රී ලංකාව ගැන කතා කරද්දී, මානව හිමිකම් කවුන්සිලය ඒ ගැන නිහඬ යි. ඒ ඇයි කියන්න මම දන්නෙ නැහැ. මානව හිමිකම් විෂය තුළ සාහිත්‍යයක් තියෙනවා. අතුරුදන්වූවන් සහ නැතිවූවන් අතර වෙනසක් තියෙනවා. අතුරුදන්වූවන් සහ අතුරුදන් කළ පිරිසක් ඉන්නවා. නීතිය හමුවේ මේවා කොටස් කිහිපයකට වෙන් කරලයි තියෙන්නේ. කොහොම නමුත් ශ්‍රී ලංකාව පසුගිය ව්‍යසන තුළ පුරවැසියන් 60,000ක් පමණ අහිමිකරගෙන තියෙනවා. ඒ නිසා උතුරේ යුද්ධය නිසා අතුරුදන්වූවන් සහ මිය ගිය පුද්ගලයන් වෙනුවෙන් යුක්තිය ඉටු කරනවා වගේ ම, මේ රටේ සමස්ත පුරවැසියා වෙනුවෙන් යුක්තිය ඉටු කරන්නත් එය අවස්ථාවක් කරගන්න ඕනෑ.

* මානව හිමිකම් නිල කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවන්නැයි බලපෑම් එල්ල වෙනව ද?

ඒ කාරණය සම්බන්ධයෙන් සම අනුග්‍රහය දක්වපු රටක් තමයි අමෙරිකාව. නමුත් අමෙරිකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලය ප්‍රශ්නයක් මතු කළාම ජනාධිපති ට්‍රම්ප්, මෙය ප්‍රතික්ෂේප කළ යුතු අසූචි වළක් කිව්වා. එහෙම කියලා මේ වතාවේ මානව හිමිකම් කවුන්ස­ිලය නියෝජනය කරන්නෙත් නැතිව මුළු සාමාජිකත්වය ම ඉවත් කරගෙන තියෙනවා. අපිට චෝදනා නඟපු ප්‍රධාන අනුග්‍රහකයෝ මේ අය. එහෙම තිබියදී කොමසාරිස් කාර්යාලය ඉල්ලීමක් කළා අපේ රටේ කාර්යාලයක් පිහිටුවන්න කියලා. දැනට එහෙම කාර්යාලයක් අවශ්‍ය නැහැ කියලා අපි කියලා තියෙනවා.

* ජිනීවා මානව හිමිකම් මුවාවෙන් ශ්‍රී ලංකාවේ ඒකීයත්වය, ස්වෛරීභාවයට, ත්‍රිවිධ හමුදාවට හානි කරනවා කියලා විපක්ෂ නායකවරයා කියලා තිබුණා?

චෝදනා කරන්න ඕනෑම කෙනකුට පුළුවන්. බෞද්ධ රටක් විදිහට අපිට මධ්‍යම ප්‍රතිපදාවක් තියෙනවා. ජිනීවා කවුන්සලය කියන හැම එකක් ම පිළිගන්න අපි ලෑස්ති නැහැ. ජිනීවා චෝදනා පත්‍රයේ යහපත් දේවල් තියෙනවා. ඒවා පිළිගෙන අනුගමනය කරන්නට තාක්ෂණය සහ උපදෙස් ලබා ගැනීමට පුළුවන්. ඒ වගේම කරන්නට බැරි දේවල් ප්‍රතික්ෂේප කරන්නත් අපිට ශක්තිය තියෙනවා.

* මත් ද්‍රව්‍ය ජාවාරමට මරණ දඬුවම පැමිණවීමේ යෝජනාව සම්බන්ධයෙන් මානව හිමිකම් ක්‍රියාකාරිකයන් මැසිවිලි නඟනවා නේද ?

ජනාධිපතිවරයා බොහොම ප්‍රගතිශීලීව කටයුතු කරනවා කියලා කවුරුත් දන්නවා. දින 140කින් කෝටි 14,000ක මත්කුඩු වටලලා තියෙනවා. මම දන්නා විදිහට පොලිසිය සම්පූර්ණ වෙනසකට ලක් කළ යුතුයි කියන තැන ජනපතිතුමා ඉන්නවා. පොලිසිය කියන්නේ රාජ්‍ය සේවයේදී මහජනයාට සමීප ව කටයුතු කරන ආයතනයක්. ඒ පොලිසිය දීර්ඝ කාලයක් දේශපාලනීකරණය වෙලා තිබුණා. පොලිසියේ රාළහාමිගේ සිට ඉහළ නිලයන් දක්වා ස්වාධීනත්වය අමතක කරලා තියෙනවා. ඒ නිසා ජනාධිපතිතුමා මේ තත්ත්වය වෙනස් කරන්න කටයුතු කරමින් ඉන්නවා. ඒක මේ රටේ පුරවැසියා ලබන ඉහළ මානව අයිතියක්.

* උතුරු පළාත් සභාවේ කාලය අවසන් වුණා. පසුගිය සමයේ පළාත් සභාවට වෙන් කළ මුදල් නැවත හරවා එවන තත්ත්වයකුත් තිබුණා. ඒ ඇයි?

එය එක් එක් දේශපාලනඥයාගේ දර්ශනයට අනුව සිදුවෙන දෙයක්. උතුරේ සංවර්ධනය කිහිප දෙනෙක් නවත්තගෙන ඉන්න බවක් පේනවා. මුළු සමාජයකම සංවර්ධනය එහෙම නැවැත්වීම ගැන කතා කරන්න ඕනෑ වගේම, ඒ ජනතාවගේ මානව හිමිකම් අයිතිය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ගැන නැවත වතාවක් සමාලෝචනය කරන්නත් ඕනෑ කියලයි මගේ අදහස.

* උතුරෙන් පිටමංවෙලා ගිය බ්‍රිගේඩියර්වරයාට උතුරේ ජනතාව දක්වපු ප්‍රතිචාරය දේශපාලනඥයාට නොදක්වන හේතුව මොකක් ද?

මම එක දෙයක් කියන්න ඕනෑ, උතුරේ හැම දේශපාලනඥයකුට ම වඩා ටී.එන්.ඒ. නායකතුමා ඉතාමත් මධ්‍යස්ථ යහපත් දේශපාලන පියෙක්. ගැටුම් අවම කරමින් සෑම වෙලාවකම සාකච්ඡාවෙන් ගැටලු විසඳගන්න උත්සාහ කරනවා. නමුත් මගේ කණස්සල්ල තියෙන්නේ සම්බන්ධන් මැතිතුමාගෙන් පස්සේ, දමිළ දේශපාලන නායකත්වය කුමන මාර්ගයක් ගනීද යන්න ගැනයි. සම්බන්ධන් මැතිතුමාගෙන් පස්සෙ ඉන්න දමිළ දේශපාලන නායකයින් කුමන දිශාවක් ගනීද යන්න කියන්න බැහැ. ඒ තත්ත්වය මුළු රටටම බලපාන්නත් පුළුවන්.

 


නව අදහස දක්වන්න