මධූෂ්ගේ මෙරට සබඳතා නම් ගම් සහිතවම කංජිපානිගෙන් එළියට | දිනමිණ

මධූෂ්ගේ මෙරට සබඳතා නම් ගම් සහිතවම කංජිපානිගෙන් එළියට

මධූෂ් ඩුබායි වෙත ගෙන්වා ගත්තේත් තමා බව කියයි

රැඳවුම් නියෝගයක් මත කොළඹ අපරාධ කොට්ඨාස භාරයේ ආරක්ෂිත ස්ථානයක රඳවා සිටින කංජිපානි ඉම්රාන් පොලිස් ප්‍රශ්න කිරීම්වලදී මාකඳුරේ මධුෂ් සමඟ සම්බන්ධකම් පැවැත්වූ මෙරට දේශපාලනඥයන්ගේත්, පොලිසියේ ඉහළ නිලධාරීන් පිරිසකගේත් නම් ගම් සහිතව තොරතුරු රැසක් හෙළිකර තිබේ.ඊට අමතරව මාකඳුරේ මධුෂ්ට මෙරට අයත් දේපොල සම්බන්ධයෙන්ද තොරතුරු හෙළිකර ඇත. ඒ අනුව මධුෂ්ට අයත් ව්‍යාපාර රැසක් මෙරට ඇතැයි හෙළිවී තිබේ.

එම ව්‍යාපාර අතර දකුණේ සංචාරක හෝටලයක්ද මධුෂ්ට අයත් බව සඳහන්ය. එම හෝටලය වෙනත් පුද්ගලයකුගේ නමින් පවත්වාගෙන යන බවත්, වාහන කුලී ආයතනයක්ද මධුෂ් ආරම්භ කළ බවත් කංජිපානි ඉම්රාන් හෙළිකර ඇතැයි පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.

මධුෂ්ට අයත් ඉඩම් රැසක් රටපුරා ඇති බවත්, ඉඩම් විකිණිමේ ව්‍යාපාරයක්ද ඔහු විසින් ආරම්භකර ඇති බවත් හෙළිවී තිබේ. මධුෂ්ට මෙන්ම කංජිපානි ඉම්රාන්ටද කොළඹ නගරයේ දේපල රැසක් හිමිව ඇති බවද අනාවරණය වී ඇත. කංජිපානි ඉම්රාන්ද දේශපාලනඥයන් රැසක් මෙන්ම පොලිසියේ විවිධ තරාතිරම්වල නිලධාරීන් කිහිප දෙනකු ඉතා කිට්ටුවෙන් ඇසුරුකර ඇතැයිද ප්‍රශ්න කිරීම් වලින් හෙළිවී තිබේ. එම නිලධාරින් අතර විශ්‍රාමික නිලධාරීන් දෙතුන් දෙනෙකු සිටින බව ද සඳහන්ය.

කංජිපානි ඉම්රාන් ඩුබායි සිටියදී කොළඹ පොලිස් ස්ථාන රැසක ස්ථානාධිපතිවරුන් සහ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරුන් කිහිප දෙනෙකුට දුරකතනයෙන් ඇමතුම් දෙමින් මරණිය තර්ජනයන් එල්ලකර ඇත. ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ තමන් තර්ජනය කළේ නීති ගරුක අවංක පොලිස් නිලධාරීන්ට නොව, තමන්ගේ ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි සමග එක්ව කටයුතු කළ නිලධාරීන්ට බවය.

මාකඳුරේ මධුෂ් ඩුබායි රටට 2015 වසරේදී ගෙන්වා ගත්තේ තමන් බවත් ඔහුට එරට රැඳී සිටීමට ආයෝජන වීසා සකස්කර දුන්නේද තමන් බව කංජිපානි ඉම්රාන් පොලිස් ප්‍රශ්න කිරීම් වලදී හෙළිකර තිබේ. මධුෂ් සම්බන්ධයෙන් මෙරට මාධ්‍යවල තොරතුරු පළ වන විට ඔහු තවත් උඩඟු වූ බවත් එ් හරහා අපරාධ වැඩි වශයෙන් කිරීමට ඔහු පෙළඹුණු බවත් කංජිපානි ඉම්රාන් පවසා ඇත. මධුෂ් සිය දියණියගේ උපන්දින සාදය මහත් ඉහළින් සැමරීමට තීරණය කරන්නේ ද ශ්‍රී ලංකාවේ සිටින සිය හිතවතුන් ඊට සම්බන්ධකර ගන්නේ ද තම ශක්තිය පෙන්වීමට බව කංජිපානි ඉම්රාන් පොලිස් ප්‍රශ්න කිරීම් වලදී පවසා තිබේ.

'මධුෂ් අයියා පාටිය ඕගනයිස් කරනකොටම මම කිව්වා ඔය වැඩේ කරන්න එපා. අපිට ප්‍රශ්න තියෙන එකේ පාඩුවේ ඉමු කියල. ඒත් අයියා ඇහුවේ නැහැ. එයාට ඕනේ වුණා එයාගේ ලොකු කම පෙන්නන්න., කංජිපානි ඉම්රාන් එම සාදය ගැන පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ එවැන්නකි.

එම සාදයට කංජිපානි ඉම්රාන් පැමිණ ඇත්තේ සියලුදෙනා පැමිණීමෙන් පසු අන්තිම මොහොතේය. සිය බිරිඳ සහ දරුවන් සමග එම සාදයට සහභාගි නොවීමට තමා සූදානමින් සිටි බවත් මධුෂ් දිගින් දිගටම ඇමතුම් දෙමින් කළ පෙරැත්තය මත ඊට සහභාගි වූ බවත් කංජිපානි ඉම්රාන් පවසා ඇත.

මෙරට මාධ්‍යවල ප්‍රසිද්ධ වූ ආකාරයට අංගොඩ ලොක්කා එම සාදයට සහභාගිවී නොසිටි බවද ඔහු එහිදී අවධාරණය කර තිබේ. තමන් සාදයට පැමිණෙන තුරු මධුෂ් සිය දියණියගේ උපන්දින කේක් නොකපා සිටි බවද කංජිපානි ඉම්රාන් පවසා ඇත.

ව්‍යාපාරික රිස්ඛාන්ගේ ඝාතනය මධුෂ්ට මෙන්ම තමන්ටද දැඩිව බලපෑ බවත්, රිස්ඛාන් සිය ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධකර නොගන්නා ලෙස මධුෂ්ට තමන් පැවැසූ බවත් කංජිපානි ඉම්රාන් පවසා තිබේ. තමන්ගේ උපදෙස් නොතකා රිස්ඛාන් ව්‍යාපාරවලට සම්බන්ධකර ගැනීම නිසා මධුෂ්ට දැනෙන්නට රිස්ඛාන්ට වෙඩි තබා ඝාතනය කළ බව ද කංජිපානි ඉම්රාන් පවසා තිබේ. එම ඝාතනය සිය ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයේ අයකු වන ගොත අසංක නැමැත්තා මැගසින් බන්ධනාගරයේ සිට කරන ලද සැළසුමකට අනුව සිදුවූවක් බවද කංජිපානි ඉම්රාන් අනාවරණය කර ඇත.

රිස්ඛාන්ගේ ඝාතනයත් සමග තමා මධුෂ් සමග හිත් අමනාප වී සතියක් පුරාවට කතා බහ නොකර සිටි බව ද ඉම්රාන් හෙළි කර තිබේ. රිස්ඛාන් ඝාතකයාගෙන් පලි ගන්නා බවටත්, ඔහුගේ හිස රිස්ඛාන් මරා දැමූ තැනටම ගෙනවිත් දමන බවටත් මධුෂ් තමන්ට පෙරොන්දු වූ බව ද කංජිපානි ඉම්රාන් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ. පොරොන්දු ආකාරයටම රිස්ඛාන්ගේ ඝාතකයා වන කොස් මල්ලීගේ හිස අලුත්කඩේ අධිකරණය ආසන්නයට ගෙනවිත් දැමූ බවත්, මධුෂ් සැලසුම් සහගතව අපරාධ මෙහෙයවීමට දක්ෂයකු බවත් කංජිපානි ඉම්රාන් ප්‍රශ්න කිරීම් වලදී පවසා ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය.

ගයාන් කුමාර වීරසිංහ

නව අදහස දක්වන්න