අපි විරුද්ධව ඡන්දය දුන්නත් අය-වැය පරදින්නේ නැහැ | දිනමිණ

අපි විරුද්ධව ඡන්දය දුන්නත් අය-වැය පරදින්නේ නැහැ

සමන්මලී ප්‍රියශාන්ති

අයවැයට විරුද්ධව ලැබුණු ඡන්ද හා ඡන්දය දීමෙන් වැළකී සිටි පිරිස එක් වුවත් අයවැය පරාජය කිරීමට හැකියාවක් නොතිබුණු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා එක්ව සාකච්ඡා කර අයවැය පරාජය කිරීමට වැඩපිළිවෙළක් හෝ සකස් කර නොතිබුණු බවත් එසේ අයවැය පරාජය කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ 113 ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කර තිබිය යුතු බවත් ජයසේකර මහතා මෙහිදී පැවසීය.

අයවැය අවසන්වර ඡන්ද විමසීමේ දී ඡන්ද ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී ඊයේ (09දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද කීවේය.

අපි අයවැයට විරුද්ධව ඡන්දය නොදීම ගැන අපට චෝදනා එල්ල වෙනවා. අපි ඡන්දය දීමෙන් වැළැකී සිටිමට තීරණය කළේ හේතු ගණනාවක් නිසයි. මෙය සාමාන්‍ය ජනතාවට නොතේරෙන තත්ත්වයක්. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද විපක්ෂයේ බලවේගයක් ලෙස කටයුතු කළත් ජනාධිපතිවරයා ආණ්ඩුවේ නායකයා ලෙස කටයුතු කරමින්, ආණ්ඩුවේ වැරදි අඩු පාඩු පෙන්වා දෙමින් ආණ්ඩුව ගෙන යනවා. මේ වගේ ප්‍රශ්නවලට එදා චන්ද්‍රිකා මැතිණියටත් මුහුණ දෙන්න වුණා. ජනාධිපතිවරයාවත් රැකගෙන අපි මේ ගමන යා යුතුයි.

මේ අයවැයෙන් තමයි ජනාධිපතිවරයා යටතේ තිබෙන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය, මහවැලි හා පරිසර අමාත්‍යංශය හා ග්‍රාම ශක්ති, දරුවන් සුරැකීම, මත්ද්‍රව්‍ය තුරන් කිරීම වැනි වැඩසටහන්වලට ද මුදල් වෙන් කිරීම සිදු කරන්නේ. මේවා පක්ෂ බේද නොබලා කරන පොදු වැඩසටහන්. මේ මුදල් සමස්ත ජනතාව වෙනුවෙන් වෙන් කරන මුදල්. ඒ නිසා අපි තීරණය කළා මේ අයවැයට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය නොදී අයවැයට විරෝධය පළ කරමින් ඡන්දය දීමෙන් වැළැකී සිටිමයි.

මෙම අයවැය පරද්දන්න තිබුණා කියලා බොහෝ දෙනා කියනවා. නමුත් 76 දෙනයි මෙයට විරුද්ධව ඡන්දය දුන්නේ. ඡන්දය දීමෙන් වැළැකී සිටියේ අපේ පක්ෂයේ 27 දෙනකු පමණයි. මේ අය එකතු කළාම අපට ඡන්ද සියයක් තමයි ගන්න පුළුවන්කම තිබුණේ. අපිට ඡන්ද සියයක් අරගෙන අයවැය පරාජය කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අයවැය පරාජය කරන්න පුළුවන් තත්ත්වයක් තිබුණේ නැහැ.

එමෙන්ම අයවැය පරාජය කිරීමට කිසිඳු වැඩපිළිවෙළක් අපි සකස් කරලා තිබුණේ නැහැ. එසේ පරද්දන්න අවශ්‍ය නම් ජනාධිපතිවරයාත්, මහින්ද රාජපක්ෂ මහතාත් එකතු වෙලා සාකච්ඡා කරලා ඡන්ද 113 ක් ගන්න වැඩපිළිවෙළක් හදන්න තිබුණා. අපි අයවැයට විරුද්ධව ඡන්ද ලබා දීම තුළ නිකම්ම නිකන් ආණ්ඩු විරෝධයක් පෙන්නුම් කරනවා පමණයි. යම් පෙරළියක් සඳහා වැඩපිළිවෙළක් ඒ තුළ තිබුණේ නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට විරුද්ධව ඡන්දය පාවිච්චි නොකර විරෝධය පළ කරමින් ඡන්දය දීමෙන් වැළැකි සිටියා.

2018 ඔක්තොම්බර් මාසයේ දී ජනාධිපතිවරයා තීන්දුවක් ගත්තා මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා වශයෙන් පත් කරන්න. පාර්ලිමේන්තුව කල් තබලා, පාර්ලිමේන්තුව විසුරුවලා ජනාධිපතිතුමා මේ කාලය තුළ විශාල කාර්යභාරයක් සිදු කළා. එහිදී අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස සියයට සියයක් ඒ වැඩපිළිවෙළට සහය දුන්නා. එදා 113 හදා ගන්න ඒ ආණ්ඩුවට බැරි වුණා. එදා 113 හදා ගන්න බැරි වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසා නොවෙයි. ඒ නිසා ජනාධිපතිතුමාත් විශාල ප්‍රශ්නයකට මුහුණ දුන්නා. එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිතුමාව විවේචනය කරන්න ගත්තා. සියලු දෙනාගෙන් අපහාසයට ලක් වුණේ ජනාධිපතිතුමාටයි. මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරිමේ ප්‍රතිඵල ලැබුණේ ජනාධිපතිතුමාටයි. එතුමා මේ තීන්දු ගත්තේ මේ විවේචන මැදයි. එදා අපේ පක්ෂය ගැන විශ්වාසය නැති බව කවුරුත් කිව්වේ නැහැ. එදා මේ සියල්ල වෙන විට නිදහස් පක්ෂයේ පිරිසක් ගිහින් පොදු ජන පෙරමුණේ සමාජිකත්වය ගත්තා.

ජනාධිපතිවරයා තීන්දුවක් අරගෙන ගැසට් ගහලා මහින්ද රාජපක්ෂ මහතා අගමැති වශයෙන් පත් කරලා ආණ්ඩුව විසුරුවා හරින බව දැන ගත් වහාම එසේ සාමාජිකත්වය ගැනීම තුළ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් අසරණ වුණා. අවිනිශ්චිතතාවයකට පත් වුණා. අපි විශාල කඩා වැටිමකට ලක් වුණා. අපිටත් විශාල වේදනාවක් තිබුණා. ඒ නිසා අයවැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කළේ නැහැ කියලා චෝදනා කරන අයට මා කියන්න කැමැතියි එදා අපිට මේ වේදනාව දැනුණා කියලා. විශ්වාසය කඩ කළේ පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ගත්ත අයයි. අපේ ආණ්ඩුවක් පත් කරගන්න අවශ්‍ය ඕනෑම අවස්ථාවක අපි ඒ වෙනුවෙන් කැප වෙනවා. පාර්ලිමේන්තුවේ 113 හදා ගන්න ඕනෑම වෙලාවක හැකියාව තිබෙනවා නම් ආණ්ඩුව පරාජය කරන්න අවශ්‍ය නම් ඒ ඕනෑම අවස්ථාවක අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්නවා. මේ අවලාද වලට දෙන්න පුළුවන් එකම පිළිතුරු එයයි.

අපි කෙටිකාලන උද්යෝගවලට සහය දෙන්නේ නැහැ. නමුත් රටට ස්ථාවර ආණ්ඩුවක් හදන්න, වැරදි හදාගෙන ආණ්ඩුවක් හදන්න අපි සහය දෙනවා. ජනාධිපතිවරයාටත් අපේ පක්ෂයටත් එල්ල වන චෝදනා ගැන අපි කණගාටු වෙනවා. අපේ එකතු වීමේ සාකච්ඡාවලට මේවා බලපාන්නේ නැහැ. අපේ පක්ෂයේ අනන්‍යාතව තබා ගනිමින් වැරදි නොකරන, රටට ආදරය කරන පක්ෂයක් ලෙස මෙතෙක් වැරදි කළා නම් එවා හදාගෙන අලුත් ආණ්ඩුවක් හදන්න අපි සහය දෙනවා.

ඉදිරි මැතිවරණවලදී තරුණ තරුණියන් ඡන්ද භාවිත කරයි කියලා විශ්වාසයක් නැහැ. මේ දේශපාලනය, දේශපාලනඥයින් ගැන තරුණ තරුණියන් අතර අප්‍රසාදයක් තිබෙනවා. ඉතිහාසයේ වැරදි කළ අපේ නායකයින් ආරක්ෂා කරන්න අපේ පක්ෂය සුදානම් නැහැ. රටට ආදරය කරන ව්‍යාපරයක් බිහි කිරිම, රටට ආදරය කරන නායකයින් බිහි කිරීම තුළ අපි පක්ෂයක් ලෙස නිරන්තරයෙන් ම සිටිනවා. පොදු ජන ව්‍යාරයක් හදනවා හැර කෙටිකාලීන වැඩසටහන්වලට යාමට අපට අවශ්‍ය වන්නේ නැහැ.

අපි මෙවර මැයි රැළිය පැවැත්වීමට අදාළ කටයුතු මේ වන විට සුදානම් කරමින් සිටිනවා. වෘත්තීයවේදීන්, සිසුන්, කාන්තාවන්, තරුණයින්, ගොවීන්, වෘත්තීය සමිති ඇතුළු විශාල පිරිසක් මෙවර මැයි දිනයට සහභාගී වෙනවා. දේශපාලන පක්ෂ විසින් මෙය සැමරුවත් මෙය කම්කරුවන්ගේ අයිතියක්. අද සෑම ක්ෂේත්‍රයකම දේශපාලන පලි ගැනීම් තිබෙනවා. දේශපාලන පත්වීම් ලබා දෙමින් තිබෙනවා. මේ ආණ්ඩුව යටතේ දවස ගානේ කම්කරුවන්ගේ ගැටලු මතු වෙනවා.

විශේෂයෙන් ජනතාවට ජීවත් වෙන ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙලා. අවුරුදු කන්න තියා දිනපතා කන්න බොන්න හොයා ගන්නත් ජනතාවට අසිරුයි. ග්‍රාමීය ජනතාව දරිද්‍රතාවට පත් වෙලා. කුඩා පරිමාණ වගේම මහා පරිමාණ ව්‍යාපරිකයින්ට ද අද මේ තමන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යාම අසිරු වෙලා තිබෙනවා. ඒ වගේම මේ විදුලි කප්පාදුව නිසා අද ඇගළුම් කර්මාන්තවලට විශාල ප්‍රශ්නයක් ඇති වෙලා. හවස් වරුවේ පැය තුනක් විදුලි කප්පාදුවක් වෙලා. වෙළෙද කලාප තුළ මේ නිසා ගැටලුකාරී තත්ත්වයක් මතු වෙලා. මේ ව්‍යාපාරිකයින්ට කර්මාන්තකරුවන්ට විදුලිය උත්පාදනට අවශ්‍ය විදුලි ජනන යන්ත්‍ර ගෙන්වීමට අවශ්‍ය සහය දෙන්න කියන එක රජයට කියන්න අවශ්‍ය වෙලා තිබෙනවා. මේ ක්‍රියාවලිය තුළ සමස්ත ක්ෂේත්‍රයම ඇඳ වැටිලා. ගමේ විංකලේ මනුස්සයා පවා අද විදුලිය එන තෙක් බලන් ඉන්න සිදු වෙලා තිබෙනවා.

මේ රජයට 2015 ඉදලා වසර හතරක් ම එක විදුලි ඒකකයක් නිෂ්පාදනයට වාතාවරණයක් මේ අයට තිබුණේ නැහැ. ඔවුන් හදන්නේ අද විදුලිය මිලදී ගැනීමේ වැඩපිළිවෙළකට යන්නයි. එවිට ජනතාවට තමන්ගෙ විදුලිය වෙනුවෙන් දෙගුණයක් ගෙවන්න සිදු වෙනවා. ජනතාවට අවශ්‍ය බඩු ටික මිලදී ගන්නවත් මුදල් නැහැ. ගම්පෙරළිය කියලා කරන වැඩසටහනේ කොන්ත්‍රාත්කරුවන් ද අද මුදල් ගන්න බලාගෙන ඉන්නවා. අද විශාල මුදල් අර්බුදයක් තිබෙනව බව ජනතාවටත් අපි කව්රුත් දන්නවා. ඒ නිසා අපි සියලු දෙනා බලාපොරොත්තු වන පරිදි ආර්ථික ගැටලුවට විසඳුමක් මේ රජයට නැහැ. කර්මාන්ත කඩා වැටීම, පඩි ගෙවන්න බැරිවීම වැනි අභියෝග රැසක් තිබෙනවා. ජනතාව අතේ මුදල් නැහැ. ඒ නිසා මේ සියලු කාරණා අපි මැයි දිනයේදී සාකච්ඡා කරනවා. අපේ ආණ්ඩුවක් තුළ රටේ දේශීය සම්පත් සුරකිමින්, කම්කරුවන්ට වැඩි අයිතියක් ලබා දෙමින් කටයුතු කරන්නේ කොහොමද කියලා අපි මේ රැළියේදී සාකච්ඡාවට ගන්නවා.

විදුලි අර්බුදයට ජනාධිපතිවරයාට චෝදනා නැඟෙනවා. ඔක්තොම්බර් පෙරළිය නිසා තීන්දු තීරණ කල් ඇතිව ගන්න බැරි වු බව කියනවා. මේ රජය තමන්ගේ බැරිකම වසා ගන්න පාවිච්චි කරනනේ ඒ දින පනස් දෙකක කාලය පමණමයි. විදුලි අර්බුදයට හේතුව රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික කළමනාකරණ කමිටුවයි. රංජිත් සියඹලාපිටිය ඇමැතිතුමා ගෙනා යෝජනා ඉවත් කළා. ටෙන්ඩර් ගෙනා අයට කතා කරලා ඒවා ඉවත් කළා. ඒ සියලු දේ තමන්ගේ තනි මතයට ගත්තා. ඒ නිසා මේ ප්‍රශ්නය ජනාධිපතිතුමාගේ කරපිට පටවන්න අවශ්‍ය නැහැ යැයි පැවසීය.

ඡායාරූපය- දුෂ්මන්ත මායාදුන්න


නව අදහස දක්වන්න