සිවුවෙනි ආණ්ඩුවට ජනාධිපති සම්මාන | දිනමිණ

සිවුවෙනි ආණ්ඩුවට ජනාධිපති සම්මාන

ජනමාධ්‍යවේදීන් විසින් සමාජයට කෙරෙන මෙහෙවර ඇගයීම සඳහා පැවැත්වෙන ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පස්වරු 4.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

ජනමාධ්‍යය යනු රටක සිවුවන ආණ්ඩුව ලෙස හඳුන්වනු ලබයි. ඒ තරමට රටක ජනමාධ්‍යයට බලවත් වගකීම් සමුදායක් පැවරී තිබේ. ඒ නිසා ජනමාධ්‍යයට රටක යායුතු මග පෙන්වා දීමට මෙන්ම රටක් නිසි මග රැගෙන යාමට වගකීමක්ද තිබේ. එහෙත් ජනමාධ්‍යය එම වගකීම කෙතෙක් දුරට ඉටුකරනවාද යන්න සලකා බැලිය යුතුය. එහිදී මාධ්‍යයේ වැදගත්ම කාර්ය භාරය පැවරී තිබෙන්නේ මාධ්‍යවේදියා වෙතය. ඒ වගකීම නිසි ආකාරයට ඉටුකිරීම මගින් මාධ්‍යවේදියකුට සුවිශේෂ පිළිගැනීමක් මෙන්ම අගැයුමක්ද එක්වේ. ඒ ආකාරයට මාධ්‍යවේදීන් අගය කිරීම් මෙන්ම ඉහළ පිළිගැනීම් ඇති කිරීමේ වැඩපිළිවෙළ විදෙස් රටවලද ක්‍රියාත්මක වේ. එහෙත් මෙරට දී එවැනි තත්ත්වයක් මෑතක් වනතුරුම දක්නට නොලැබුණි. තනි තනි වශයෙන් විවිධ සම්මාන උළෙලවල් තිබුණද සමස්ත මාධ්‍ය ක්ෂේත්‍රයම එකට ගෙන සමස්ත සම්මාන උළෙලක් මෙරට තිබුණේ නැත. එය මාධ්‍ය ක්ෂේත්‍රයට තිබූ අඩුපාඩුවක් වූ අතර ඒ අඩුපාඩුව සපුරා දී මාධ්‍යවේදීන්ට නිසි පිළිගැනීමක් ලබා දීමට රජය ගත් වැඩපිළිවෙළෙහි ප්‍රතිඵලයක් ලෙස ජනාධිපති ජනමාධ්‍ය සම්මාන උළෙලක් පැවැත්වීමට තීරණය කිරීම සඳහන් කළ හැකිය.

මෙම උළෙල ජනාධිපති මාධ්‍ය සම්මාන ලෙස නම් කරනු ලබන්නේ මාධ්‍යවේදියාට ඉහළම පිළිගැනීම ලබාදීම සඳහාය. ජනාධිපති යනු රටේ රාජ්‍ය නායකයාය, රාජ්‍ය නායකයාගේ ඇගැයිමට ලක්වීම යනු රාජ්‍ය පිළිගැනීමක්, රාජ්‍ය සම්මානයක් සම්මානිත මාධ්‍යවේදියා වෙත ලැබුණාය යන අදහසයි. මෙම ජනාධිපති ජනමාධ්‍ය රාජ්‍ය සම්මාන උළෙලේදී තෝරාගෙන ඇත්තේ 2017 ජනවාරි පළමු දින සිට 2017 දෙසැම්බර් 31 දක්වා රූපවාහිනී නාලිකා, ගුවන් විදුලි නාලිකාවල විකාශය වූ වැඩසටහන් සහ පුවත්පත්වල සහ වෙබ් අඩවිවල පළවූ ලිපි සහ පුවත් ඇසුරිනි.

මෙම සම්මාන උළෙල සඳහා මෙහෙයුම් කමිටු සාමාජිකයන් ලෙස සහභාගී වූයේ මහාචාර්ය සෝමරත්න බාලසූරිය, නාලක ගුණවර්ධන, බෙනඩික් ජෝසප් පියතුමා සහ මාය. මෙහිදී විනිශ්චය කටයුතු කිසිදු බලපෑමකින් හෝ පක්ෂපාතීත්වයකින් තොරව සිදු වූ අතර කමිටුවේ එකම අරමුණ වූයේ සුදුස්සන් අතරින් අතිශය සුදුස්සන් තෝරා ගැනීමය. එම කාර්යය සාර්ථක ලෙස ඉටු කළ බව අපගේ විශ්වාසයයි. අප වෙත ලැබී තිබුණ සියලු වැඩසටහන් සහ ලිපි ඉතාමත් ඉහළ ප්‍රමිතියකින් තිබූ ඒවා වන අතර ඒ අතරින් වඩාත් හොඳ ඒවා තෝරා ගැනීම දුෂ්කර සහ වෙහෙසකර කාර්යයක් විය. එමගින් අපට තහවුරුවන ප්‍රධාන කරුණ වන්නේ අපගේ මාධ්‍යවේදීන් කෙතරම් දක්ෂ පිරිසක්ද යන්නය. එවැනි දක්ෂතා ඇති පිරිසකට සම්මාන අගැයුමක් ලබා දීම මගින් තවත් දිරිමත් වීමක් සහ උනන්දුවක් ඇති වේ.

මාධ්‍ය ගැන මේ දිනවල විවිධ කතාබහ ඇතිව තිබෙන අතර මෙහිදී විවිධ අංශ නියෝජනය කරමින් සම්මාන හතළිස් හතක් ලබා දෙන අතර ජීවිතයට වරක් පමණක් හිමිවන සම්මාන හතරක් මාධ්‍ය ක්ෂේත්‍රයේ නොමැකෙන සේවයක් කළ සිවුදෙනකු වෙත සම්මාන හිමි වේ. එහිදී ගුවන්විදුලි අංශය නියෝජනය කරමින් කරුණාරත්න අමරසිංහ, රූපවාහිනි අංශයෙන් ලූෂන් බුලත්සිංහල, පුවත්පත් අංශයෙන් එඩ්වින් ආරියදාස සහ වෙබ් අංශයෙන් ලක්ෂ්මන් ජයවර්ධන යන මහත්වරු අගැයුමට ලක් විමට නියමිතය. මේ හැම අංශයක් නිසාම මාධ්‍යවේදීන්ට මෙන්ම මාධ්‍ය කලාවට විශාල අගයක් ලැබෙන අතර මෙම සම්මාන උළෙල මගින් අරමුණු කරන්නේද එයමය.

ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලට මාධ්‍යවේදීන්ගේ අයැදුම්පත් එක්දහස් හයසිය හැත්තෑ හතරක් යොමු කර තිබුණි. මෙම අයැදුම්පත් අප විසින් කැඳවනු ලැබුවේ ප්‍රසිද්ධ දැන්වීම් මගිනි.

අද තිබෙන විවිධ මාධ්‍ය අගැයීම් අතර මෙවැනි ආකාරයේ ජනාධිපති සම්මාන උළෙලක් නිසා මාධ්‍යවේදීන්ට පමණක් නොව මාධ්‍ය ආයතන වෙතද විශාල වටිනාකමක් ආරෝපණය වන අතර නිසි ආකාරයට වගකීම් ඉටුකිරීම තමන්ට මේ ක්ෂේත්‍රයේ ඇති පිළිගැනීම වැනි දේද තහවුරු කරගත හැකිය. ජනාධිපති සම්මාන වැනි සම්මාන උළෙලක් පැවැත්වීම යනු මාධ්‍යයට ලැබෙන අංක එකේ පිළිගැනීමකි. අන් කිසිදු කලක මෙවැනි ආකාරයේ පිළිගැනීමක් මාධ්‍යට නොලැබුණි.

මෙවැනි ඉහළ වටිනාකම් ඇති ජනාධිපති සම්මාන මාධ්‍ය වෙත හිමි වුවද එම හිමිවීමට සාපේක්ෂව මාධ්‍ය තම වගකීම ඉටු කරන්නේද යන්න සලකා බැලිය යුතුය. මා පමණක් නොව මැදහත්ව කල්පනා කරන ඕනෑම කෙනකුට හැඟෙන පරිදි වර්තමාන මාධ්‍ය, අධ්‍යාපනය, පරිසරය වැනි වඩාත් ශාස්ත්‍රීය අංශ අතැර විනෝදාශ්වාදය වෙතම යොමු වූ ආකාරයක් දැක ගත හැකිය. එහෙත් මෙරටට මුලින්ම රූපවාහිනය හඳුන්වාදීමේදී රූපවාහිනය වෙත පැවරී තිබූ මූලික වගකීම වූයේ අධ්‍යාපනය මූලික කර ගත් ක්‍රමවේදයක් ඔස්සේ සිය විකාශන කටයුතු පවත්වාගෙන යාමය. එහෙත් අද වන විට සියලු ටෙලිවිෂන් මාධ්‍ය අධ්‍යාපනය ලබා දීම යන අරමුණෙන් බැහැරව කටයුතු කිරීම දැකිය හැකිය. පුවත්පත්ද ජනප්‍රියවාදී තලයකට හුවමාරු වන අතර එය කෙතෙක් දුරට යහපත් ද යන්න සලකා බැලිය යුතුය. ඒ තත්ත්වය තුළ අද මාධ්‍ය තම වගකීම ඉටු නොකිරීම ගැන ප්‍රතිචාර මෙලෙස පළ වෙද්දී රාජ්‍ය අගැයුම් සහ මගපෙන්වීම් මගින් මාධ්‍යවේදියාට නව නිර්මාණවලට යොමු වීම සඳහා ඉඩකඩ විවර වේ. ඒ තත්ත්වය තුළ මෙවැනි සම්මාන උළෙලවලට ඉහළ වටිනාකමක් අත්පත් කරගත හැකිය. අනෙක් ආකාරයට සඳහන් කළහොත් මාධ්‍යයට නිවැරැදි දිශාව වෙත යොමු කරන උත්තේජනයක්ද මෙමගින් ලබා ගත හැකිය.

මාධ්‍ය යනු ඇත්ත ඇති සැටියෙන් දක්වන පිරිසකි. අසූව දශකයේ ජාතික රූපවාහිනිය ආරම්භ කරද්දී එවකට රාජ්‍ය නායකයා වූ ජේ. ආර්. ජයවර්ධන මහතා සඳහන් කළ ප්‍රකට කාරණයක් වූයේ රූපවාහිනිය සත්‍යවාහිනියක්ම විය යුතු බවයි. එදා ඔහු සඳහන් කළ කරුණෙහි සත්‍යතාවක් තිබේ. එහෙත් අද වන විට එම මූලධර්මය කෙතෙක් දුරට ආරක්ෂා වන්නේද යන්න සලකා බැලිය යුතුය. රාජ්‍ය මාධ්‍ය පමණක් නොව පුද්ගලික මාධ්‍ය පවා කටයුතු කරන්නේ මෙම සත්‍යවාහිනි සංකල්පයෙන් බැහැරවය යන්න අතිශයෝක්ති සටහනක් නොවේ. අද පුද්ගලික මාධ්‍ය සහ රාජ්‍ය මාධ්‍ය හැසිරෙනු ලබන්නේ එහි හිමිකරුවන්ගේ අවශ්‍යතාවට අනුවය. එය කිසිසේත්ම සිදු නොවිය යුත්තකි. එහෙත් සිදුවන්නේ එයයි. මෙවැනි දේ සිදුවන ආකාරයට මන්දගාමී කර මාධ්‍යකරුවා බලවත් කිරීමේ හැකියාවක් ඔවුන් අගය කිරීමේ වැඩපිළිවෙළ මගින් සිදුකළ බාල ටෙලිනාට්‍ය සත්‍යවාදී නොවන පුවත් වැනි දේ නිසා අද මාධ්‍ය පත්ව ඇති තත්ත්වය නිවැරැදි කළ හැක්කේ නියාමනය මගින් යැයි මතකයක් පැවැතියද අපගේ අදහස වන්නේ මාධ්‍යයට පමණක් නොව සමාජයේ සෙසු අංශවලටද නියාමනයක් ඇති කළ යුතුය යන්නය. අද මාධ්‍ය පමණක් නොව සමාජයේ සැලකිය යුතු ප්‍රමාණයක් යන්නේ අයාලේය යන්න බහුතර අදහසක් බවට පත්ව තිබේ. මේ තත්ත්වය තුළ අගය කිරීම් සම්මාන වැනි දේ මගින් මෙම තත්ත්වය නිවැරැදි කර ගැනීමට හැකියාව තිබේ.

මේ කරුණ ගැන සලකා බලද්දි අප දුටු තවත් දෙයක් සඳහන් කළ යුතුය. එනම් අද රූපවාහිනී මාධ්‍ය පත්ව ඇති තත්ත්වයයි. අප කළ නිවේදනයට අනුව විවිධ අංශ ඔස්සේ අප වෙත අයැදුම් පත් අතර අධ්‍යාපන වැඩසටහන් අංශයෙන් තිබුණේ අල්ප අයැදුම්පත් ප්‍රමාණයකි. එමගින් තහවුරුවන කරුණ වන්නේ අන් යමක් නොව අද මාධ්‍ය තම වගකීම් ඉටුකිරීම අතින් පත්ව ඇති තත්ත්වයයි. අප අද උත්සාහ කළ යුතුව ඇත්තේ මේ ගැන අවධානය යොමුකර වැඩ කිරීමටය.

අඩුපාඩු සහිතව වුවද අද මාධ්‍ය ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීත්වය යම් තැනක තිබෙන අතර එහිදී මාධ්‍යවේදීන් ලබා දෙන දායකත්වය අගය කළ යුතුය. එවැන්නන්ට ලබාදෙන ජනාධිපති සම්මාන වැනි අගැයුම් මගින් මාධ්‍යවේදීන් වෙත යම් අගය කිරීමක් සහ දිරියක් ලැබීම සතුටු විය හැකි කරුණකි.

මෙහිදි අපට මෙම සම්මාන උළෙල ගැන සඳහන් කළ යුතු තවත් විශේෂ කරුණක් තිබේ. එනම් දේශපාලන හැලහැප්පිලි මැද පවා මෙම උළෙල පිළිබඳ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක වීමය. මේ සඳහා ඇමැතිවරුන්ගෙන් මෙන්ම නිලධාරීන්ගේ කැපවීම අගය කළ යුතුය. මේ හැම කරුණකින්ම නැවත නැවතත් තහවුරු වන කරුණ බවට පත්ව තිබෙන්නේ අද දින මාධ්‍යවේදීන් ලබන සම්මානවල වැදගත්කමයි. වෙනත් විදිහකට සඳහන් කළහොත්, ඉතාමත් බරසාර සහ තියුණු විනිශ්චයක් මගින් ඔවුන් වෙත ලැබෙන සම්මාන අගයකිරීම් සහ සහතිකවලට විශාල වැදගත් කමක් ලැබී තිබීමයි.

එනිසා මෙම සම්මාන මගින් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නව උනන්දුවක් සහ කැමැත්තක් මාධ්‍යවේදීන් වෙත හිමිවන බව සඳහන් කිරීමේ වරදක් නැත. එනිසා මෙරට මාධ්‍ය කලාව වෙත නව ප්‍රවේශයක් ලබා ගැනීමට ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල විශාල පිටිවහලක් සපයයි.


නව අදහස දක්වන්න