ටයර් අප­න­ය­න ­බාධා ඉවතට | දිනමිණ

ටයර් අප­න­ය­න ­බාධා ඉවතට

රබර් කර්මාන්තය ලැබූ ජයග්‍රහනයක් ඇමැති මලික් සමරවික්‍රම පවසයි

 

ශ්‍රී ලංකාවෙන් අපනයනය කරනු ලබන රළු - ඝන ටයර් නිෂ්පාදනවලට ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා තිබු ප්‍රතිතෝලන බදු ක්‍රමයට එරෙහිව පැවති නඩුව ශ්‍රී ලංකාවට තවත් නීතිමය ජයග්‍රහණයක් මෙන්ම විශාල ආර්ථිකමය වාසියක් අත්කර දෙමින් අවසන්වුණි. මේ නඩුවෙන් මෙලෙස ජයග්‍රහණය අත්වුයේ ශ්‍රී ලංකාවෙන් ටයර් අපනයනය කිරීම සම්බන්ධයෙන් ඇ.එ.ජ.ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු සම්බන්ධ අධිකරණය විසින් 2018 දුන් ප්‍රතිතෝලන බදු පිළිබඳ නඩු තීන්දුවට එරෙහිව ඇ.එ.ජ. වාණිජ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර තිබු අභියාචනා පෙත්සම එම දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා අස්කර ගැනීම හේතුකොටගෙනය.

ශ්‍රී ලංකා රජය විසින් සවිස්තරාත්මකව ඉදිරිපත් කරන ලද අදාළ ලිපි ලේඛන සහ සාක්ෂි නිසා මෙම නඩුකරය ඉල්ලා අස්කර ගැනීමට ඔවුනට සිදුවුණි. අභියාචනා පෙත්සම විභාග කළ එක්සත් ජනපද පෙඩරල් පළාත් අභියාචනා අධිකරණය මෙම නඩුකරය දැන් නිත්‍යානුකූලව ම නිශ්ප්‍රභා කර ඇත. මේ අනුව ජාත්‍යන්තර වාණිජ උසාවිය ලබාදී තිබු මුල් ප්‍රති‍තෝලන බදු ක්‍රමය පිළිබඳ තීන්දුව යටතේ වන සියලු විධිවිධාන සහ නියෝග අවලංගු වන බවත් ප්‍රාග්නිශ්චය සහිතව ඇමරිකානු රජයේ අභියාචනය නිශ්ප්‍රභා කර ඇති හෙයින් ජාත්‍යන්තර වාණිජ උසාවිය එම තීරණය ඇ.එ.ජ. වාණිජ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවට දැනුම් දීමට පියවර ගනු ඇත.

තවද සඳහන් කළ යුතු සුවිශේෂ කාරණයක් නම් මේ නඩු තීන්දුව මගින් දෙනු ලබන පුර්වාදර්ශය ඉතා වැදගත් වන අතර එය හේතුකොටගෙන තවදුරටත් මෙවැනි නඩුකර ශ්‍රී ලංකාවට එරෙහිව පැන නොනඟිනු ඇතැයි විශ්වාස කෙරේ. මේ ජයග්‍රහණය හේතුකොටගෙන කෘෂිකර්ම සහනාධාර ලබන සියලුම රටවලට බාධා රහිතව ඉදිරියට ගමන් කිරීමට මඟ පෑදෙනු ඇත. මේ ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකාවේ සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා “මෙය සමස්ථ ශ්‍රී ලංකා රබර් නිෂ්පාදන කර්මාන්තය ලැබු සුවිශේෂ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකියි. මා මේ අවස්ථාවේදී මෙම ජයග්‍රහණය සාර්ථක කර ගැනිම උදෙසා සටන් වැදුනු අපගේ වාණිජ දෙපාර්තමේන්තුවට සහ නීතිපති දෙපාර්තමේන්තුවට මගේ ස්තූතිය පළ කරන අතර, තවදුරටත් ඉතා ශක්තිමත්ව තරඟකාරිත්වයෙන් යුතුව අපනයන කටයුතුවල නිරත වන ලෙස මෙයින් බලපෑම් ලද සියළු සමාගම්වලින් ඉල්ලා සිටිමින් ඔවුන් සැමට මාගේ සුභාශිංසනය පිරිනමන්නෙමි ” යයි ද පැවසීය.

ඇ.එ.ජ. කර්මාන්ත වෙනුවෙන් ප්‍රතිතෝලන බදු පෙත්සම ගොනු කළ එ.ජ.වාණිජ දෙපාර්තමේන්තුව සහ එක්සත් ජනපද ජාත්‍යන්තර වෙළඳ කොමිසම කියා සිටියේ ශ්‍රී ලංකාවේ රළු - ඝන ටයර් නිෂ්පාදකයින් ශ්‍රී ලංකා රජයෙන් නිෂ්පාදන සහනාධාර ලබන බව සහ එම සහනාධාර ලබන නිෂ්පාදන ආනයනය කිරීමෙන් එක්සත් ජනපදයේ දේශීය කර්මාන්තවලට හානියක් සිදුවන බවයි. ‍මේ අනුව එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුව මෙම සහනාධාර සහ ප්‍රතිතෝලන බදු පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කළ අතර එහි අරමුණ වුයේ එක්සත් ජනපදයට ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන මෙම ටයර් වලට ප්‍රතිතෝලන බදු නීතිය පැනවීමයි. පසුව එම විමර්ශනය පදනම් කරගෙන සහනාධාර වැඩසටහන් විස්සක් යටතේ ශ්‍රී ලංකා රජයට චෝදනා එල්ල කළේය. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව ඒවාට එදිරිව කරුණු දැක්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ගේ විමර්ශනයෙන් මතු කළ වැඩසටහන් සංඛ්‍යාව වැඩසටහන් 3 දක්වා පහත හෙළිමට සමත් වුණි. මෙම විමර්ශනයෙන් පසු එනම් වසර 2017 දී එ.ජ. වාණිජ දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන මෙම ටයර් වර්ගයට 2.18% ක ප්‍රතිතෝලන බද්දක් ආරෝපනය කරමින් මෙරට සමස්ථ රබර් කර්මාන්තයට බලවත් අසාධාරණයක් සිදු කරමින් මුල්‍යමය හිමිකම් ඉල්ලා සිටින ලදී. මෙහිදී ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව සමග එක්ව මෙයින් අගතියට පත් වන ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් හා එක්ව, එක්සත් ජනපද කර්මාන්ත යටතේ නඟන හිමිකම් චෝදනාවලට එරෙහිව සටන් වැදුනි. මෙහිදි ඔවුන් කියා සිටියේ රජයේ සහනාධාර වැඩසටහන් 3 කට සීමාවුවහොත් එනම් නාමිකව “ප්‍රාග්ධන මත පිස්කල බදුවලින් සහ අතරමැදි නිෂ්පාදන භාණ්ඩවලින් නිදහස් කිරීම, සාම්ප්‍රදායික නොවන භාණ්ඩ අපනයනකරුවන් හට බදු සහන ලබා දීම, රබර් සපයන කුඩා පරිමාණයේ සැපයුම්කරුවන් ලබන සහතික මිල ක්‍රමය”යනාදියට බදු පැනවුවහොත් දේශිය රබර් කර්මාන්තය අනතුරට පත් වන බවයි.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකාවේ වාණිජ දෙපාර්තමේන්තු අනෙකුත් සහයෝගිතා නියෝජිතායතනයන් සහ දේශිය සමාගම් හා එක්ව අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අධිකරණයෙහි පෙනී සිටිමින්, මෙම එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුවේ තීරණයට අභියෝග කරමින් කරුණු දැක්වීය. ශ්‍රී ලංකා රජය ද සිය අභියාචනා ක්‍රියාපටිපාටින් යටතේ බලසහිතව මැදිහත් වී කරුණු දැක්වීම හේතුකොටගෙන, එ.ජ. ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අධිකරණය මෙහිදී සහතික කළ මිල ක්‍රමයට ආරෝපිත කර තිබු 0.95% ක ප්‍රතිතෝලන බද්දක් ඉවත් කරන ලදී. මෙම ඉවත් කිරීමත් සමගම ශ්‍රී ලංකාවේ සිට එක්සත් ජනපදයට ආනයනය කරන මෙම ටයර් වර්ගය වෙනුවෙන් එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුව පනවා තිබු සමස්ථ ප්‍රතිතෝලන බදු අනුපාතය 2% දක්වා පහත වැටුනු අතර ඊට හේතුවුයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන එක්සත් ජාතින්ගේ වෙළඳ සංවිධානයේ ගිවිසුමේ බලපෑමයි. මේ අනුව ශ්‍රී ලංකාවෙන් එක්සත් ජනපදයට අපනයනය කෙරෙන මෙම විශේෂිත ටයර් වර්ගය වෙනුවෙන් මෙතෙක් පනවා තිබු 2.18% ක ප්‍රතිතෝලන බදු ක්‍රමය සමාපනය කෙරුණි. මෙම තීන්දු තීරණ හේතුකොටගෙන එක්සත් ඡනපද වාණිජ දෙපාර්තමේන්තුව අපට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම මෙලෙසින් නිශ්ප්‍රභා කෙරුණි.

නව අදහස දක්වන්න