ගෝඨා ඉල්ලීම ජනතා තීන්දුවක් | දිනමිණ


 

ගෝඨා ඉල්ලීම ජනතා තීන්දුවක්

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සහ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙබණ්ඩාර

- රෝහිත අබේගුණවර්ධන
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

ආණ්ඩුවේ සංවර්ධන වැඩපිළි‍වෙළ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති අපේක්ෂකත්වය ආදී කරුණු ඔස්සේ මෙවර අදහස් දෙක දිගහැරේ.

අයවැය පරද්දනව කියල ඔබතුමාල කිව්වට වැඩි ඡන්ද 45 කින් ආණ්ඩුව දිනුවා?

වැඩි ඡන්ද 45 ක් නැහැ. ගණන් හදන්න ඕන 113 ඉඳලයි. 119 යි ගත්තෙ. ඒ කියන්නෙ වැඩි ඡන්ද 6 යි. පාර්ලිමේන්තුවෙ ඇතුළෙ අයට වරදාන දීල විපක්ෂය මෙල්ල කරන්න පුළුවන්. අපි කිව්වේ අයවැය පරාජය කරන්න උත්සාහ කරනව කියලයි. 2015 ජනවාරි 08 වෙනකොට අපේ 51 හිටියෙ. දැන් 51 ට වැඩියි. ආණ්ඩුව දෙදරල, මිනිස්සුන්ට ආණ්ඩුව එපා වෙලා. මේ ආණ්ඩුවෙ අන්තිම අයවැය. ජනතාව මේ අයවැය පරාජය කරන දවස තමයි 2019 දෙසැම්බර් 8 වැනිදා. එතකොට බලමු.

ඒකාබද්ධය උත්සාහ කළේ ශ්‍රීලනිප සහයෙන් අයවැය පරද්දන්න. අවසන් මොහොතෙ ඔවුන් ඡන්දය දීමෙන් වැළකුණ නිසා වැඩේ වැරදුණාද?

කොටසක් විරුද්ධව ඡන්දය දුන්නා. කොටසක් දුන්නෙ නැහැ. ඒක ඔවුන්ගෙ අයිතිය. මේ තීන්දු පොළව මතදි ඔවුන්ට පරාජයක් අත්කර දෙයි. මිනිස්සුන්ව මෙච්චර පීඩාවට පත්කරන ආණ්ඩුවකට විරුද්ධව ඡන්දය නොදීම ගැන ජනතාව අප්‍රසාදයකින් ඉන්නෙ.

ජනාධිපතිවරයත් මේ ආණ්ඩුව නියෝජනය කරනවා. ඒ වගේම ජනාධිපතිවරයගෙ අමාත්‍යාංශයත් තියෙනවා. ඒ නිසා ශ්‍රීලනිපය අයවැයේදී ගත් තීන්දුව සාධාරණයි නේද?

ඔක්තෝබර් 26 මධ්‍යම රාත්‍රියේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ආණ්ඩුව විසිරෙව්වා. එතකොට ජනාධිපතිතුමා හිතුවද මගෙ වැය ශීර්ෂයට මොකද වෙන්නෙ කියල. නායකයා සෘජු තීන්දුවක් ගත්තා. ඔහු පක්ෂයේ නායකයා. රටේ නායකයා. දැන් ගෝලයො මොකද කරන්න ඕන. ගෝලයො වරද්දගෙන තියෙන්නෙ.

මේ තත්ත්වය තුළ පොහොට්ටු ශ්‍රීලනිප සාකච්ඡාවල අනාගතය ගැන ‍ඔබ මොකද කියන්නෙ?

පොදු හතුරා එක්සත් ජාතික පක්ෂය ඇතුළු බටහිර බලවේග. ඒක පරාජය කරන්න මේ පුංචි මතවාද හේතුවක් කරගන්න හොඳ නැහැ. ජාතික මැතිවරණයකදී කඳවුරු දෙකක් හැදෙනවා. රටට ආදරය කරන පිරිසක් එකතු වෙච්ච මහින්ද රාජපක්ෂ මහත්තය නායකත්වය දෙන කඳවුර එකක්. අනෙක් කඳවුර එක්සත් ජාතික පක්ෂය ඇතුළු කණ්ඩායම. සුබවාදීව හිතන ඕන කෙනෙකුට අපේ කණ්ඩායමට එන්න පුළුවන්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ දීගය කිහිප වතාවක්ම කඩා වැටුණා. තවදුරටත් ඒ ගැන විශ්වාසය තියන්න පොදුජන පෙරමුණ පාක්ෂිකයො එකඟද?

ගිනි පෙනෙල්ලෙන් බැට කාපු මිනිහ කලාමැදිරි එළියටත් බයයි. අපි දැන් සාකච්ඡා කරන්නෙ ඉතාම බුද්ධිමත්ව. අපිට තියෙන එකම වරප්‍රසාදය ජනතාව. ජනතාව හිටගෙන ඉන්නේ අපි ළඟ. ඒක පළාත් පාලන මැතිවරණයෙදි දැක්කා. ජනතාව අපිට කිව්වෙ සාකච්ඡාවලට යන්න එපා කියල. අපි ජනතාවට ඇහුම්කන් දෙන පක්ෂයක්.

ප්‍රති ත්‍රස්ත පනත, නව කම්කරු පනත ගැන ඔබ මොකද කියන්නෙ?

1977 ‍ජේ. ආර්. ජයවර්ධන මහත්තය ආණ්ඩුව අරගෙන දිගින් දිගටම මැතිවරණ කල් දමමින් ආණ්ඩුව කළේත් මේ විදිහට තමයි. 80 දශකය වෙනකොට ඒ ආණ්ඩුව පන්නන්න ජනතාව සියලු කටයුතු කරමින් හිටිය. ඒ අවස්ථාවෙත් එජාප ආණ්ඩු හැසිරුණේ මේ විදිහට. එදා මාධ්‍ය ප්‍රබල නැති නිසා ඒ අයට ඕන විදියට හැසිරුණත් අද මාධ්‍ය ප්‍රබලයි. ඒ නිසා තමයි ඔය අණපනත් ගේන්නෙ. ඔබ මාත් එක්ක මේ කරන සංවාදයේදී මම කියනව මේ ආණ්ඩුව පෙරළන්න ඕන කියල. ඔබ ඒක ලියනවා. ලියන ඔබයි කියන මමයි ත්‍රස්තවාදී පනතට අහුවෙනවා. එතෙන්ට තමයි මේ එන්න හදන්නෙ. කම්කරුවන් මර්දනය කරන තැනකට මේ එන්න හදන්නෙ.

හින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලෙත් කම්කරුවො මර්දනය කළා. මරා දැම්මා. මාධ්‍යවලට මර්දනය ආවා. එවැනි පසුබිමක ඔබලා මේ පනත්වලටත් අත් ඔසවන්න බැරිකමක් නැහැ කියලයි කියන්නෙ?

ලංකාවෙ කිසිම රාජ්‍ය නායකයෙක් ජනතාවට, කම්කරුවන්ට වෙඩි තියන්න කියන්නෙ නැහැ. මේ ඔක්කොම ගොතපු කතා. පහුගිය කාලෙ කතරගම වෙඩි තිබ්බා. ගාල්ලෙ දෙන්නෙක් ගෙදරදි අරගෙන ගිහින් මරල දැම්ම. මේව මෛත්‍රීපාල ජනාධිපතිතුමාගෙයි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගෙයි ගිණුමට වැටුණද? ඕව පොලිසිවල සීමාව ඉක්මවා ගිය වැඩ. පොලිසිය සිසුන්ට ගහන විදියට තාම සිසුන් මැරුණෙ නැත්තෙ සිසුන්ගෙ ඔළු හයිය හින්දා. එදාට වඩා මර්දනය වැඩියි. ඔය පනත්වලට අපි පැහැදිලිවම විරුද්ධ වෙනවා. 19 ටත් මම පෞද්ගලිකව විරුද්ධයි. පක්ෂයක් හැටියට එදා ගත්තු තීන්දුවටයි අකමැත්තෙන් අත ඉස්සුවෙ. 19 න් ගෙනාපු කොමිෂන් සම්පූර්ණ බොරුවක්. රට අර්බුදයකට ගියා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව කියා තිබෙනවා. මේ තත්ත්වය ඔබ දකින්නෙ කොහොමද?

පක්ෂ තීන්දුවකට වඩා ජනතාවගෙන් තමයි ඔය යෝජනා එන්නෙ. රටක් ජරාජීර්ණය වෙනකොට රටක් විනාශ වෙනකොට මේ නායකයා ආවොත් හොඳයි කියල ජනතාව හිතනව. ආරක්ෂක ලේකම්වරු ඕන තරම් මේ රටේ හිටිය. ඒ අයට මේවගේ ජනතා ප්‍රතිචාර තිබුණෙ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්තය නාගරික සංවර්ධන අමාත්‍යාංශයෙ ලේකම් හැටියට මේ රට, පිරිසුදු, පරිසර හිතකාමී රටක් බවට පත්කළා. රටේ විනය ඇතිකළා. ඔහු ඒව කළාට කියෙව්වෙ නැහැ කියලත් ජනතාව කියනවා. අඩුවෙන් කතා කරල වැඩියෙන් වැඩ කරන රටේ නීතිය ක්‍රියාත්මක කරන කෙනෙක් මේ වෙලාවෙ අවශ්‍යයි. චන්ද්‍රිකා ආවෙ වැඩ නොකර. ගෝඨාභය මහත්තය වැඩ කරලයි එන්නෙ.

ගෝඨාභය රාජපක්ෂ මහත්තයට විරුද්ධව චෝදනා රැසක් එල්ල වෙලා තියෙනවා. මිනී මැරුම් චෝදනාත් තියෙනවා. මෙවැනි පසුබිමක ඔහු වැනි කෙනෙක් ජයග්‍රහණය කරවන්න පුළුවන්ද?

මේ අවුරුදු හතරහමාරම මේ ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරුන්ගෙ පස්සෙන් එළෙව්වා. අල්ල ගත්තද? එක නිදසුනක් තමයි ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහු නිදොස් කොට නිදහස්. උඩුවේ ධම්මාලෝක හාමුදුරුවො නිදොස්කොට නිදහස්. නඩුවෙන් නිදහස් වුණාට රිමාන්ඩ් වෙච්ච ඒවට කවුද වගකියන්නෙ. මේ ආණ්ඩුවෙ වැඩ මේවගේ. තාජුඩීන් කියයි, තවත් නම් කියයි. මේ ආණ්ඩුව මේවට මොනවද කළේ. ඇයි උසාවියට ගෙනිච්චෙ නැත්තෙ. හිරේ දැම්මෙ නැත්තෙ. මේ ආණ්ඩුවට කිසිම සාක්ෂියක් නැහැ. මේව ‍ඔක්කොම බොරු.

පොහොට්ටුවෙම සමහර මන්ත්‍රීවරු කියන්නෙ මිනීමරුවන්ට අපේ සහාය නැහැ. එවැනි අයට අපේක්ෂකත්වය දෙන්න එපා කියලයි?

පිස්සො කලබල වුණාට දොස්තර කලබල වෙන්නෙ නැහැ.

මේ ආණ්ඩුවෙ බදු ප්‍රතිපත්තිය ගැන ඔබ මොකද කියන්නෙ?

පරාක්‍රමබාහු රජ්ජුරුවොත් වැට් ගහල තියෙනව කියල අගමැතිතුමා කිව්ව. පරාක්‍රමබාහු රජ්ජුරුවො අතේ තියන් ඉන්න එකට අගමැතිතුමා තව ටික දවසකින් කියයි ඒ වැට් ලේඛනය කියල. රටකට බදු අවශ්‍යයි. මේවගේ බදු ගැහිල්ලක් නම් දැක්කෙ නැහැ. බදු ගන්න ඉස්සෙල්ල මිනිස්සුන්ව දෙපයින් නැගිට්ටවල ඉන්න ඕන. මේ ආණ්ඩුව ප්‍රායෝගික නැහැ. හැම මිනිහෙක්ම බැංකුවලට ණයයි. මහ බැංකුව මංකොල්ල කාපුගමන් බැංකුවල ණය පොලිය එකපාරටම වැඩි වුණා.


ගෝඨා ආවොත් අපි උඩින් දිනුම්

- පාලිත රංගෙබණ්ඩාර
පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

ආණ්ඩුව, සාමාන්‍ය ජනතාව මත අධික බදු බරක් පටවමින් ඉන්න බවට චෝදනා එල්ල වෙනවා?

ප්‍රශ්නගත බද්දකට තියෙන්නෙ කාබන් බද්ද විතරයි. ජනතාව පීඩාවට පත්කරන්න කිසිම බද්දක් අපි අලුතෙන් පනවලා නැහැ. බදුවලට වඩා ඉහවහා ගිය සහන රැසක් අපි දුන්නා. අධ්‍යාපනය, වෘත්තීය අධ්‍යාපනය, පාසල් පද්ධතිය හැදුවා. විදෙස් රැකියා පුහුණුව දුන්නා අධිකරණ පද්ධතිය නවීකරණය කළා ග්‍රාමීය සංවර්ධනය, සමෘද්ධි දීමනාව වැඩි කළා, අලුතෙන් ලක්ෂ 6 කට වඩා සමෘද්ධිය දුන්නා. රජයේ සේවක වැටුප දෙවරක් වැඩි කළා. විශ්‍රාම වැටුප් විෂමතා නැති කළා. සෞඛ්‍ය අංශයට සහන දුන්නා. “රන්මාවත්” වැඩසටහනින් හැම මැතිවරණ කොට්ඨාසයකටම රුපියල් ලක්ෂ 800 කට වැඩි මුදලක් දෙනවා. වාරි කර්මාන්තය වැඩි දියුණු කිරීම, පානීය ජල ව්‍යාපෘති ප්‍රවාහනය ශක්තිමත් කිරීම ලෝකයේ තියෙන සැප පහසු දුම්රිය මෙරටට ගෙන්වීම කොළඹ වටරවුම් මාර්ග පද්ධතිය, මහනුවර අධිවේගී මාර්ගය ඉදිකිරීම වගේ යෝධ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මකයි. අපි ළඟ මාධ්‍ය සංදර්ශන නැහැ.

සාමාන්‍ය ජනතාව කියන්නෙ ඔවුන් අධික ජීවන බරකින් පෙළෙනව කියලයි. ඔබ ඔය කියන සංවර්ධනය ජනතාවට නොපෙනෙන්නෙ ඇයි?

එදිනෙදා වැටුප් ලබන කම්කරුවගෙත් වැටුප් වැඩිවුණා. ඒ අය මිලදී ගන්න කිසිමදෙයක් වැඩිවුණේ නැහැ. සමස්ත ජනතාවටම සෞඛ්‍ය සහන ලැබුණා. බෙහෙත් පෙත්තෙ ඉඳලා හෘද සැත්කම්වලට ගන්න ස්ටෙන්ට් එක දක්වාම මිල අඩු කළා. රජයේ රෝහලෙන් ස්ටෙන්ට් එක නොමිලේ දෙනවා. හැම මිනිහෙකුගෙම වියදම සීමාවෙලා තියෙනවා. පළවැනි අයවැය ලේඛනයෙ ඉඳලම අපි භාණ්ඩ මිල අඩු කළා. සුඛෝපභෝගී ජීවිත ගත කරන්න හදන අයට ඔය චෝදනාව කරන්න පුළුවන්. ලක්සරි වාහන, ලක්සරි ගෙවල් ගන්න හදන අය ඔය චෝදනාව කරනවා. රාජපක්ෂල අපිට රට බාරදුන්නෙ නරකම කාලෙක. අවුරුදු දෙකකට කලින් ඡන්දෙ තිබ්බේ ඒකයි.

ආණ්ඩුව ගන්නකොට කිව්වෙ බයිසිකලේ යන අයට කාර් එකක් ගන්න ආර්ථිකය හදනවා කියල නේද?

වාහනයක් ගන්න ඕනම කෙනෙකුට පුළුවන්. ඒකට තමයි ආදායම වැඩිකරලා හැමෝගෙම ආර්ථිකය ශක්තිමත් කළේ. ණය කන්දරාව අඩුකරලා මේ ආර්ථිකයට තව සහන දෙන්න ඕන. 2022 වෙනකොට රටේ ණය කන්ද ඉවරයි. ණය හා සමාන පොලියකුත් අපි ගෙවනවා. මේකට හොඳ කළමනාකරණයක් අවශ්‍යයි. අපි ජනතාවට යෝජනා කරපු ණය දීමේදී ණයේ පොලියෙන් තුනෙන් දෙකක් ආණ්ඩුව ගෙවනවා. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනෙන් වාහන ගන්න අයට සහන දුන්නා.

සමෘද්ධිලාභීන් ප්‍රමාණය වැඩිකරපු බව ඔබ කිව්වා. ඒ කියන්නෙ රටේ දුප්පතුන් ප්‍රමාණය වැඩිවෙලා ති‍යන එක නේද?

ලැබිය යුතු අයට ගිය ආණ්ඩුව සමෘද්ධිය දුන්නෙ නැහැ. එතැනදී දේශපාලන පළිගැනීමක් වුණා. ඒ අයට යුක්තිය, සාධාරණය ඉටුකරන්න තමයි ලක්ෂ 6 කට සමෘද්ධිය දෙන්නෙ. අපි ඒ අය දේශපාලන වහල් බළකායක් හැටියට පාවිච්චි කරන්නේ නැහැ. ජන සවිය වගේ ශක්තිමත් පවුල් ඒකකයක් බවට ඔවුන් පත්කරනවා.

කොළඹ කුණු අපිට එපා කියලා පුත්තලම කසළ අංගණයට ජනතාව විරුද්ධ වුණා. මේ ගැන මොකද කියන්නෙ?

අපි කරන දේවල් මුලින් ජනතාවට පැහැදිලි කරල අවබෝධ කරල දෙන්නෙ නැහැ. ඒක අපි කරනා වරදක්. මල්වතු ඔය ව්‍යාපාරය ආරම්භ කරනකොටත් ඒ වගේ උ‍ද්ඝෝෂණ ආවා. මම ඔවුන් එක්ක කතා කළා. එතකොට අපේ අය මට කිව්වෙ සියදිවි හානි කරගන්නයි හදන්නෙ කියලා. ඔවුන්ට කරුණු පැහැදිලි කළා. අපිට උරුම වෙලා තියෙන කරුමය දරුවන්ටත් උරුම කරනවද කියලා මම ඒ අයගෙන් ඇහුවා. ඔවුන් ඇහුවෙ ව්‍යාපෘති වාර්තාවට අනුව වැඩ කෙරෙනවද කියලා. මල්වතු ඔය ව්‍යාපෘතියට උද්ඝෝෂණය කරපු අය ව්‍යාපෘතිය ඉවරවෙන්නෙ කවදද කියලා අද අහනවා. කන්දකැටිය තල්පිටිගල ව්‍යාපෘතියත් ඒ වගේ. මිලියන නෙවෙයි බිලියනවලින් ව්‍යාපෘති කළත් ව්‍යාපෘතිය මොනතරම් සාධනීය වුණත් ප්‍රදේශයේ ජනතාවට ඒ ගැන අවබෝධයක් දෙන්න ඕන. ඉදිරියේදී ජනතාව දැනුවත් කරන වැඩපිළිවෙළක් සිද්ධවෙයි. මේ ව්‍යාපෘතිය ගෙනාවෙ ගෝඨාභය රාජපක්ෂ. දැන් එයාගෙම කට්ටිය විරුද්ධයි. යහපාලනය දෝරෙ ගලාගෙන ගිහින්. මේ විරුද්ධකම් ඒකයි.

ආණ්ඩුව, ජනතා විරෝධී අණපනත් කිහිපයක් ගේන්න හදන බවට චෝදනා එල්ල වෙනවා. කම්කරු පනත, ප්‍රතිත්‍රස්ත පනතට දැනටම විරෝධතා එල්ල වෙනවා?

ආණ්ඩුවෙ ඉන්නෙ 106 යි. එහෙම ආණ්ඩුවකට ජනතා විරෝධී පනත් ගෙනැල්ල සම්මත කරන්න පුළුවන්ද? 119 ක් විරුද්ධ පක්ෂයෙ ඉන්නෙ. ඒ අයට ඔය පනත් පරාද කරන්න පුළුවන්නෙ.

යහපාලනය ඇති කරන්න ආපු ආණ්ඩුව මෙවැනි අණපනත් ගේන්නෙ ඇයි?

සේවකයන්ගෙත්, ජනතාවගෙත් සුබසිද්ධියට අදාළ පනත් විතරයි අපි ගේන්නෙ. අපි හිංසාකාරී පනත් ගෙනත් නැහැ. ව්‍යවස්ථානුකූලව උපදේශක කාරක සභාවට ආංශික අනුකමිටුවට ඉදිරිපත් කරලයි පනත් ගේන්නෙ. යූ.එන්.පී. අය විතරක් නෙවෙයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ එතැන ඉන්නවා. ඔවුන් පනත් කෙටුම්පත් බලල ඒවා සංශෝධනය කරලයි පාර්ලිමේන්තුවට ගේන්නෙ.

නව කම්කරු පනත යටතේ පැය 8 සේවා වැඩමුරය පැය 12 ක් කරන්න හදනව කියලයි කියන්නෙ?

ඕව ඇත්තද බලන්න පනත ‍ගේනකං ඉන්නකො.

මෙවැනි කතා පැතිරෙන්නෙ කෙටුම්පත් සකස් කරලා තියෙන නිසා නේද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලියටත් ඔය වගේ කතානෙ කිව්වෙ. කොහේ හරි තියෙන පුංචිම පුංචි වචනයක් අල්ලගෙනයි ඔය කතා කරන්නෙ.

ව්‍යවස්ථා විරෝධීව ආණ්ඩු පෙරළන්න ගිය වෙලාවෙ, හැරවුම් ලක්ෂය වුණේ රංගෙ බණ්ඩාරට තවමත් අඩු සැලකිලි ලැබෙන්නෙ ඇයි?

ඇමැති ධුර දෙන්න කියල දෙතුන් වතාවක් නම්කරලා යැව්වා. තවම ලැබුණෙ නැහැ. පත්වීම් බලධාරින් තමයි හේතු කියන්න ඕන. මට වැඩ කරන්න තනතුරු අවශ්‍ය නැහැ. මම හොඳට වැඩ කරනවා.

ආණ්ඩුව කළේ හැරවුම් ලක්ෂය එළියෙ තියල අනෙක් අයව හැරවීමක් නේද?

යුක්තිය වෙනුවෙන් සටන් කරන්න ගියොත් අපේ මිනිස්සුන්ට අගතියක් වෙනවා. මගේ දිස්ත්‍රික්කේ ජනතාවත්, රටේ ජනතාවත් මට වටිනවා.

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් නේද?

මමත් එතුමට ආරාධනා කරනවා. එතුමා ආවොත් අපිට ඉතාම පහසුවෙන් ජයග්‍රහණය කරන්න පුළුවන්. බලය ‍තියෙනකොට ගෝඨාභය මහත්තය කියපු කරපුව ජනතාවට මතකයි. යුද්දෙ තියෙන කාලෙ අමෙරිකාවට පැනල ගිය අය රණවිරුවො වෙන්නෙ කොහොමද? රටට ආදරේ නම් රටේ පුරවැසියෙක් වෙන්න ඕන.

2015 ජනවාරි 08 ජනතාවට දීපු පොරොන්දු ඉටුනොකර ඔබතුමන්ලා ජනාධිපතිවරණයේදී ජනතාවට මොනවද කියන්නෙ?

ඉටු නොකරපු පොරොන්දු මොනවද?

දූෂණ වංචා නැති කරනව කිව්වා. මිනීමරුවන්ට දඬුවම් කරනවා කිව්වා. හොරු අල්ලල හිරේ දානව කිව්ව මේ වගේ ගොඩක් පොරොන්දු තියෙනවා?

දිල්රුක්ෂි ඩයස්ව ගෙදර යවල ඒවා අඩාළ කළේ කවුද? දිල්රුක්ෂි ඩයස්ට විරුද්ධව පාර්ලිමේන්තුවෙ කෑගැහුවෙ, ඒකාබද්ධ විපක්ෂය ඇතුළු මහින්ද රාජපක්ෂ කණ්ඩායම. අපි අධිකරණය ස්වාධීන කළා. විශේෂ මහාධිකරණ දෙකක් පිහිටෙව්වා. ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කළා. විශේෂ මහාධිකරණවලත් අනෙක් අධිකරණවලත් ඔය කියන පිරිසට නඩු පවරල තියෙන්නෙ. රාජපක්ෂ යුගයෙ වගේ සුදුවෑන්, බඩපළල මිනිස්සු මුහුදට දාන සංස්කෘතියට යන්න අපිට බැහැ. අපි යුක්තිසහගතව වැඩ කරනවා. තක්කඩි විදියට නීතිය පාවිච්චි කරන්න අපිට බැහැ.

අදහස් 1ක් ඇත

kohea modayo vahanayak ganna puluvan tharamata income vedikale

නව අදහස දක්වන්න