A නමය W නමය කාටත් විවෘත වෘත්තීයවේදය | දිනමිණ

A නමය W නමය කාටත් විවෘත වෘත්තීයවේදය

අධ්‍යාපනය යනු රැකියාවක් සඳහා නොවේ යැයි අප පිළිගත්ත ද වසර 13ක් ඉගෙන ගෙන එළියට එන ළමයා උගත්කම හා බුද්ධිමත්කම පමණක් රැගෙන පැමිණීම ප්‍රමාණවත් නොවේ. එම ළමයා රැකියාවක් කර ස්වාධීන විය යුතුය. මේ අධ්‍යාපන ක්‍රමය තුළ වසර 11 ක් හෝ 13ක් පාසල් අධ්‍යාපනය ලැබ ඊට අමතරව තවත් වසර 4-5ක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ද ලබා එළියට එන දරුවාට තමන්ගේ උගත්කමට සමාන රැකියාවක් සොයා ගැනීමට හැකියාවක් නැත. අධ්‍යාපන ක්‍රමයේ තුන් වැනි ගැටලුව මතු වන්නේ එතැනය.

මෙරට අධ්‍යාපන ක්‍රමවේදයට වෘත්තියවේදය හඳුන්වා දෙන්නේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සියලු සිසුන් සඳහා මිස අ‍.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අසමත් සිසුන් සඳහා නොවේ. වත්මන් රජය විසින් වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිරීමත් සමඟ සාමාන්‍ය පෙළ යනු තවදුරටත් කඩඉම් විභාගයක් නොවන අතර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි සියලුම සිසුන්ට තම දක්ෂතා සහ හැකියාවන් අනුව යම් වෘත්තියක් ඉලක්ක කර අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව හිමි වේ. ඒ අනුව වෘත්තියවේදය "A නවය" ලබා ගත් සිසුන්ට මෙන්ම "W නවය" ලබා ගත් සිසුන්ට ද වලංගුය.

අධ්‍යාපන ක්‍රමවේදයේ වෙනසක්

අපගේ ජාතික විභාගයන්හි ඇගයීම්වල විශාල ප්‍රශ්නයක් තිබේ. ප්‍රධාන කරුණ වන්නේ සියලු ළමයින් එකම මිණුම් දණ්ඩකින් මැනීමයි. එකිනෙකාගේ දක්ෂතා හඳුනාගෙන කටයුතු කිරීමේ ක්‍රමවේදයක් ලංකාවේ නොමැති අතර පහ වසර ශිෂ්‍යත්වයේ දී පවා අන්තර්ගතය පදනම් කරගත් අධ්‍යාපනය කටපාඩම් කර, නව්‍යකරණයකින් එළියට නොපැමිණෙන ලෙස ළමයාගේ නිර්මාණාත්මක හැකියාව මරා දමා තිබේ.

සාමාන්‍ය පෙළ දීත් උසස් පෙළ දීත් සිදු වන්නේ මේ අයුරින්ම සියලු ළමයින් එකම මිණුම් දණ්ඩකින් මැණීමයි.

මෙහි අනෙක් කාරණය වන්නේ මෙම ක්‍රමවේදය තුළ ඇති "ක්‍රීම්" එක තේරීමේ ක්‍රමයයි. ඒ අනුව ශිෂ්‍යත්වයෙන් සමත්වන පිරිස හොඳම පාසල්වලට යන අතර සාමාන්‍ය පෙළ සමත් වන ක්‍රීම් එක තෝරා උසස් පෙළට යවනු ලබයි. උසස් පෙළ ක්‍රීම් එක තෝරමින් විශ්වවිද්‍යාලයට බඳවා ගනියි. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ යනු ලෝක මට්ටමේ ජාත්‍යන්තර විභාගයන්ය. නමුත් කාලාන්තරයක් තිස්සේ සාමාන්‍ය පෙළ සකස් කර තිබෙන්නේ උසස් පෙළ සඳහා ළමයි තෝරා ගැනීම සඳහා පමණි. විද්‍යා, ගණිත, වාණිජ, කලා හා තාක්ෂණය යන විෂය ධාරාවලින් උසස් පෙළ හදාරන්නට ළමයා සූදානම් කරනවා මිස, වසර 11කින් සමාජයට යන දරුවාට අවශ්‍ය කරන විෂය දැනුම මෙම පද්ධතිය තුළ සකස් කර නැති බව පැහැදිලිය. එසේම උසස් පෙළ කර එළියට එන ළමයා විශ්වවිද්‍යාලයට නොතේරුණ හොත් ඔහු අතරමං වේ. එහිදී වසර 13ක් පුරා උගත් දේ වැඩකට නැති වනු ඇත.

තවමත් මෙම වැරදි දෙක මෙම ක්‍රමවේදයේ පවතී. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ යනු ජාත්‍යන්තර අධ්‍යාපන සුදුසුකමක් සමඟම පාසල හැරයාමේ සහතිකයක් ලෙස ගැනීම මිස මීළඟ මට්ටමට තෝරන විභාගයක් නොවිය යුතු නමුත් මෙය එක් රැයකින් වෙනස් කළ හැකි කරුණක් නොවේ.

අධ්‍යාපනය යනු රැකියාවක් සඳහා නොවේ යැයි අප පිළිගත්ත ද වසර 13ක් ඉගෙන ගෙන එළියට එන ළමයා උගත්කම හා බුද්ධිමත්කම පමණක් රැගෙන පැමිණීම ප්‍රමාණවත් නොවේ. එම ළමයා රැකියාවක් කර ස්වාධීන විය යුතුය. මේ අධ්‍යාපන ක්‍රමය තුළ වසර 11 ක් හෝ 13ක් පාසල් අධ්‍යාපනය ලැබ ඊට අමතරව විශ්වවිද්‍යාල අධ්‍යාපනය ද ලබා තවත් වසර 4-5 කින් එළියට එන දරුවාට තමන්ගේ උගත්කම සමග රැකියාවක් සොයා ගැනීමට හැකියාවක් නැත. අධ්‍යාපන ක්‍රමයේ තුන් වැනි ගැටලුව මතු වන්නේ එතැනයි. ඒ අනුව බුද්ධියට, උගත්කමට පමණක් ගැළපෙන රැකියාවක් සොයා ගැනීමට ප්‍රමාණවත් නොවන බව අප වටහා ගත යුතුය.

උපාධිධාරියකුට තමන්ගේ උපාධියට සරිලන වෘත්තියක් සොයාගත නොහැකි වන අයුරු දැක ගත හැකිය. එසේම රුධිරය දුටු විට ක්ලාන්ත වන වෛද්‍යවරු අප අතර සිටී. ඊට හේතුව කැමැත්ත සහ හැකියාව වෙනත් වෘත්තියක් වන නමුත් බලහත්කාරයෙන් මේ ළමයාට වෛද්‍ය උපාධියක් ලබාදී තිබීමයි. මේ අනුව අධ්‍යාපන ක්‍රමය තුළ ලොකු බිඳ වැටීමක් ඇති බව දැකිය හැකිය. අද අපේ රට මේ තත්ත්වයට පත්වීමට මූලික හේතුව අධ්‍යාපන ක්‍රමයේ බිඳ වැටීම බව පැහැදිලිය.

අලුත් අධ්‍යාපන ක්‍රමය කරුණු 12ක් මත පදනම් වේ. මේ වන විට සිදු වන්නේ පළමු කරුණ වන විෂය,න්‍යායාත්මක දැනුම ලබාදීම පමණකි. එහෙත් ප්‍රායෝගික දැනුම හා යෙදුම්, සන්නිවේදනය, කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම හා නායකත්වය, නිර්මාණශීලීත්වය සහ ගැටලු විසඳීම, කළමනාකරණය සහ ව්‍යවසායකත්වය, තොරතුරු භාවිතය සහ කළමනාකරණය, ජාලකරණය සහ සමාජ කුසලතා, අනුවර්තනය හා නම්‍යශීලී බව, ආකල්ප, වටිනාකම් සහ වෘත්තිකභාවය, ජීවන දැක්ම, ස්වයං යාවත්කාලීන කිරීම හා ජීවිත කාලය පුරා ඉගෙන ගැනීම යන අධ්‍යයන ප්‍රතිඵල 12ම මෙමගින් ලබාගැනීමට බලාපොරොත්තු වේ.

අධ්‍යාපන ක්‍රමයේ බිඳ වැටීම ගැටලුවක් ලෙස දැක, ඒ සඳහා යම් ධනාත්මක ප්‍රවේශයක් දුන් ක්‍රමයක් ලෙස වෘත්තියවේදය හැඳින්විය හැකිය. ළමයින්ගේ දක්ෂතා එකිනෙකට වෙනස් බව පිළිගත යුතුය. එකිනෙකාට ආවේනික කුසලතා පිළිබඳ අවධානය යොමු නොකර සියලුදෙනා එකම මිණුම් දණ්ඩකින් මැනීමෙන් එක් අයකු ජයග්‍රහණය කළත් අනෙක් සියලු දෙනාව තළා පොඩි කර විනාශ කර දමන බව පැහැදිලිය.

ඒ බව අවධානයට ලක් කර, දරුවන් අසමත් ලෙස නොසළකා ඔවුන්ගේ හැකියාවන් හා කැමැත්ත මත වෘත්තියවේදයක් තෝරා ගෙන ලංකාවේ පළවැනි වතාවට රැකියාවක් ඉලක්ක කර ගත් අධ්‍යාපනයක් පාසල තුළින්ම ලබාගැනීමේ හැකියාව මෙම ක්‍රමවේදය හරහා ලබා දී තිබේ. ඒ අනුව සියලු දෙනා එකම මිණුම් දණ්ඩෙන් මැනීමේ ක්‍රමය මෙහිදී අහෝසි වන අතර තමන් කැමැති විෂය පථ 26ක් ඔස්සේ තමන් කැමැති රැකියාවකට යාමට ළමයාට අවස්ථාව හිමි වේ.

වෘත්තියවේදය හදාරන ළමයා

සෑම ළමයකුම සංකීර්ණ ගණිත සමීකරණ විසඳීමට අවශ්‍ය නොවන බව පැහැදිලිය. නමුත් ළමයා ගණිතයේ තිබෙන මූලික සිද්ධාන්ත දැන ගත යුතුය. එමෙන්ම තවත් අයකු සමග ගනුදෙනු කරන විට ඔහු මොන වගේ පුද්ගලයෙක් ද යන්න තේරුම් ගැනීම වැනි සමාජ අවබෝධය ද තිබිය යුතුය. ඉදිරිපත් වීමේ හැකියාව, මුදල් ගනුදෙනු කිරීමේ දී තමන්ගේ ගිණුම් නඩත්තු කිරීමේ හැකියාව ද තිබිය යුතුය. විශේෂයෙන් ජාත්‍යන්තර භාෂාව ලෙස ඉංග්‍රීසි දැනුම තිබිය යුතුය. මේ වැනි මූලික දක්ෂතා මේ සිසුන් පළවැනි අවුරුද්දේ දී ඉගෙන ගන්නා අතර ඊට අමතරව වෘත්තියවේදයට අදාළ එකම ධාරාවේ ඇති විෂයයන් තුනක් පළවැනි වසර තුළ ඉගෙන ගැනීමට අවස්ථාව හිමි වේ. දෙවැනි වසරේ දී එක විෂය පථයක් තෝරා ගෙන ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගැනීමේ අවස්ථාව ලැබේ.

මෙයින් සිදුවන්නේ ළමයාට වෘත්තීයවේදයක් දීම පමණක් නොවන බව මේ අනුව පැහැදිලිය. මේ ක්‍රමවේදය තුළ ළමයාට අවශ්‍ය කරන මූලික නිපුණතාවන් යම් ප්‍රමාණයක් සකස් කිරීමට උත්සාහ කර තිබේ.

අපේ රටේ උසස් පෙළ විෂය ධාරාවන් වන්නේ ගණිතය, විද්‍යා,වාණිජ, කලා, තාක්ෂණවේදය. අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන්නේ මෙම විෂයධාරාවන් යටතේ පමණි. ඊට අමතරව වෘත්තියවේදය නව විෂය ධාරාවක් ලෙස සැලකිය හැකිය. ළමයා වසර 13ක් අඛණ්ඩ අධ්‍යාපනයක් ලැබිය යුතුය යන කාරණය මූලික කර ගනිමින් මෙම ක්‍රමවේදය සකස් කර තිබේ. ලෝක මට්ටමට නිරීක්ෂණය කළහොත් මෙම ක්‍රමවේදය ලෝකයේ බොහෝ රටවල දැකිය හැකිය. ලංකාවේ පවා වෘත්තීයවේදය අද ඊයේ ආරම්භ වූ දෙයක් නොවේ.

NVQ (National Vocational Qualification) හි පදනම පවතින්නේ එක්සත් රාජධානියේය. එම පදනමත් සමග සසැඳෙන ක්‍රමවේදයක් ලංකාව තුළ ඇති අතර ජාතික සැලැස්මක් හරහා NVQ සුදුසුකම ලංකාවේ SLQF සමග ස්ථාපිත වී තිබේ. වෘත්තියවේදය ඉගෙන ගන්නා දරුවන්ට ලැබෙන්නේ NVQ සුදුසුකමක් බව පැහැදිලිය. මෙයින් සිදුවන්නේ දරුවාට වෘත්තිය සුදුසුකමක් ලබා දීමයි. SLQF 2 සමාන වන්නේ උසස් පෙළට වන අතර එම වෘත්තීය සුදුසුකම තුළ වසර 13කට පසු ළමයාට උපාධියක් සඳහා වුවත් යාමේ හැකියාව තිබේ. ඒඅනුව SLQF 5-12 සුදුසුකම් සපුරාගැනීමෙන් උපාධියේ සිට ආචාර්ය උපාධිය දක්වා ඉගෙන ගැනීමේ අවස්ථාව හිමි වේ.

උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලුම සිසුන් විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබන්නේ නැත. මේ දරුවන් ද සිය දක්ෂතා අනුව උපාධියකට යාමට සුදුසුකම් ලබනු ඇත. මේ වන විට ලංකාවේ බොහෝ අධ්‍යාපන ආයතන ඔවුන්ට උපාධි පාඨමාලා ආරම්භ කිරීම පිළිබඳව අවධානය යොමු කර තිබේ. මේ වන විටත් UNIVOTEC ආයතනය NVQ සුදුසුකමත් සමග යන ආයතනයකි. NVQ 4 සුදුසුකම ලබන දරුවාට උපාධිය පමණක් නොව පශ්චාත් උපාධිය ලබා ගැනීමේ හැකියාව පවා හිමිකර ගැනීමේ අවස්ථාව ලැබීම මෙම ක්‍රමවේදයේ යහපත් ස්වභාවයට වඩාත් නිවැරදි සාක්ෂියයි. උසස් පෙළින් පසු විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා එන දරුවාට වඩා වැඩි පිළිගැනීමක් සහ වැඩි ආදායමක් NVQ මට්ටමින් ඉහළ පිරිස් වෙත හිමි වන බව බොහෝ විට විදෙස් රටවලදී දකින්න ලැබෙන සත්‍යයකි.

වසර 13කින් ශ්‍රම බළකායට

වෘත්තියවේදය සෑම පාසලකම ක්‍රියාත්මක නොවේ. ඊට හේතුව මේ සඳහා ප්‍රායෝගික අත්දැකීම් ලබාගත හැකි පරිසරයක් තිබිය යුතු වීමයි. එබැවින් පුහුණු ගුරුවරු අනුයුක්ත කරමින් සෑම දිස්ත්‍රික්කයකටම පාසල් කිහිපයක් හඳුන්වා දී තිබේ.

ඕනෑම සිසුවකුට අවශ්‍ය විෂය ඇති පාසලකට ඇතුළු විය හැකිය. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවකුට අනෙක් වසර දෙක ඉගෙන ගැනීම 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය ලබා ගැනීම තුළ අයිතිවාසිකමක් ලෙස හිමි වීම තුළින් වෙනත් පාසලකින් හෝ එම අවස්ථාව අනිවාර්යයෙන්ම හිමිවේ. වෘත්තියවේදය වෙත යොමු විමට කැමැත්තක් දක්වන දරුවන්ට තම පාසලේ විදුහල්පතිවරයාගෙන් අවශ්‍ය තොරතුරු ලබා ගත හැකි අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk වෙබ් අඩවියෙන් ද විෂය නිර්දේශ ඇතුළු සියලු තොරතුරු ලබා ගත හැකිය. අධ්‍යාපන අමාත්‍යාංශය ඇමතීමෙන් ද අදාළ තොරතුරු ලබා ගැනීමට හැකියාව පවතී.

වෘත්තියවේදය හඳුන්වා දෙන්නේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සියලු සිසුන්ටය. තාක්ෂණවේදය හඳුන්වා දෙනු ලැබුවේ කලා විෂය ධාරාව හදාරණ සංඛ්‍යාව අඩු කිරීමටය යන දුර්මත මේ වන විට වෙනස් වී තාක්ෂණව්දය පිළිබඳ වැඩි අවධානයක් යොමු වී තිබේ. ඒ අයුරින්ම වෘත්තියවේදය හඳුන්වා දෙනු ලැබුවේ සාමාන්‍ය පෙළ අසමත් දරුවාට නොවන බව අවධාරණය කළ යුතුයි. ළමයාගේ අවශ්‍යතාවය, කුසලතාවය මත ඉදිරියට යන ක්‍රමවේදයක් බැවින් සාමාන්‍ය පෙළ සමත් වුවත් නොවුනත් මේ සුදුසුකම ලබා ගත හැකියි. මෙමගින් සකස් කර තිබෙන්නේ තමන්ගේ දක්ෂතාව, කැමැත්ත හා අවශ්‍යතාව අනුව තමන්ගේ රැකියාව සොයා යන ක්‍රමවේදයකි.

සාමාන්‍ය පෙළ අවසන් වී උසස් පෙළ දක්වා විශාල හිඩැසක් ඇති බව පැහැදිලි කරුණකි. පැවැති ක්‍රමය අනුව වසරක් පමණ කිසිවක් නොකර ළමයා පාසල් පද්ධතිය තුළ රඳවාගෙන සිටින බව දැකිය හැකිය. එම හිඩැසත් මේ ක්‍රමය තුළ නැති කළ හැකි බව විශ්වාසය. එයින් උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාගය එකම කාලයේ දී පැවැත්වීම තුළින්ම වැඩිපුර වසරක් පාසල තුළ නිකරුණේ ගත කරන කාලය නැති කිරීමට නිරුත්සාහයෙන්ම අවස්ථාව හිමි වේ. ඒ අනුව සාමාන්‍ය පෙළ කළ වහාම උසස් පෙළ ආරම්භ කිරීමේ හැකියාව ලැබේ. එමගින් නිශ්චිතවම වසර 13 කින් දරුවා ශ්‍රම බළකායට එක්කිරීමේ හැකියාව ලැබීම විශාල ජයග්‍රහණයකි.

ක්‍රිසන්ති විතාරණ


නව අදහස දක්වන්න