ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකා පිල 18දා දෝහා යයි‍ | දිනමිණ

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකා පිල 18දා දෝහා යයි‍

ප්‍රින්ස් ගුණසේකර

දෝහා කටාර් හීදී මේ මස 21 වැනිදා සිට 24 වැනිදා දක්වා පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගීවන ශ්‍රී ලංකා පිල මේ 18 වැනිදා ශ්‍රී ලංකාවෙන් පිටත්වෙයි. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට ක්‍රීඩකයන් 8ක් හා ක්‍රීඩිකාවෝ 7ක් ඇතුළත්වන අතර නිලධාරීන් 6ක් සංචාරයට එක්ව සිටිති. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පිලේ නායකත්වයට මීටර් 800 ක්‍රීඩිකා නිමාලී ලියනාරච්චි නම්කොට ඇත.

වායුසමනය කොට ඇති දෝහා කටාර් කලීෆා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට ආසියාවේ රටවල් 41කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 600කට ආසන්න පිරිසක් සහභාගීවනු ඇතැයි බලාපොරොත්තු වේ. අවසන්වරට ඉන්දියාවේ බුවනේස්වර් ක්‍රීඩාංගණයේ පැවැති 22වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට රටවල් 41කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 560ක් එක්ව සිටියහ.

එහිදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හා රිදී පදක්කම් 4ක් හිමිවූ අතර මීටර් 800 ක්‍රීඩිකා නිමාලී ලියනාරච්චි රන් පදක්කමක් හා එම ඉසව්වෙන්ම ගයන්තිකා අබේරත්න රිදී පදක්කමක් දිනා ගත්තාය. මීටර් 400 පිරිමි සහාය දිවීමේ කණ්ඩායම, මීටර් 200 ක්‍රීඩිකා රුමේෂිකා රත්නායක හා හෙල්ල විසිකිරීමේ ක්‍රීඩිකා දිල්හානී ලේකම්ගේ රිදී පදක්කම් දිනා ගත්හ. මෙයින් නිමාලී හා ගයන්තිකා පමණක් මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ වාසනාව උදාකර ගෙන ඇත.

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාව මෙතෙක් රන් පදක්කම් 19ක් රිදී පදක්කම් 14ක් හා ලෝකඩ පදක්කම් 19ක් දිනා ඇත. නිමාවූ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලි 22කදී චීනය රන් පදක්කම් 308ක් රිදී පදක්කම් 206ක් හා ලෝකඩ පදක්කම් 113ක් දිනා ඇති අතර ජපානය රන් පදක්කම් 151ක් රිදී පදක්කම් 191ක් හා ලෝකඩ පදක්කම් 212ක් දිනා දෙවැනි තැන සිටී.

මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලි ඉලක්ක කොට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ තේරීම් තරග දෙකක් පැවැති අතර එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9ක් ආසියානු පරිසාධන මට්ටම පසුකරමින් කෙළින්ම තරගාවලියට සුදුසුකම් ලැබූ අතර තවත් 6ක් ආසියානු පරිසාධන මට්ටම ආසන්නයේ පසු වූහ. එම තේරීම් තරගයේදී මීටර් 100 පිරිමි ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කළ හිමාෂ ඒෂාන් (තත්. 10. 22) සමත්වීම කැපී පෙණුනි.

දෝහා බලා පිටත්වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම මෙසේය:

පිරිමි

හිමාෂ ඒෂාන් (මීටර් 100 පිරිමි), ග්‍රේෂන් ධනංජය (තුම් පිම්ම පිරිමි), සුමේධ රණසිංහ (හෙල්ල විසි කිරීම පිරිමි), ධනුෂ්ක සඳරුවන් පියරත්න (දුර පැනීම පිරිමි), ජනක විමලසිරි (දුර පැනීම පිරිමි), අජිත් ප්‍රේමකුමාර (මීටර් 400 පිරිමි), රුසිරු චතුරංග (මීටර් 800 පිරිමි)

කාන්තා

නිමාලී ලියනාරච්චි (මීටර් 800 කාන්තා මීටර් 400 සහාය), ගයන්තිකා අබේරත්න (මීටර් 800 කාන්තා), නිලානී රත්නායක (මීටර් 3000 බාධක දිවීම කාන්තා), නදීෂා රාමනායක (මීටර් 400 කාන්තා, මීටර් 400 සහාය), විදූෂා ලක්ෂාණී (තුම්පිම්ම කාන්තා), උපමාලිකා රත්නකුමාරී (මීටර් 400 සහාය), දිල්ෂි කුමාරසිංහ (මීටර් 800 කාන්තා)


නව අදහස දක්වන්න