ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට පසුගිය රජය කටයුතු කළේ නෑ | දිනමිණ

ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට පසුගිය රජය කටයුතු කළේ නෑ

රටේ තිබෙන කුඩා ගම්මාන 38,000ක සෑම වසරකම නිවාස 25 බැගින් ඉදි කරන බවට 2005 දී ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස මහින්ද රාජපක්ෂ මහතා ජනතාවට පොරොන්දු වු බවත්, එලෙස පොරොන්දු ලබා දී බලයට පැමිණිය ද වසර 5ක දී එම ජනතා බලාපොරොත්තු ඉටු කළාද කියා තමන් ප්‍රශ්න කරන බවත් නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ පෙරේදා (11) 'සැමට සෙවණ' යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ දිවයිනේ ඉදි වන 2112 වැනි උදා ගම්මානය වන 'සිනපති ගාමිණී ෆොන්සේකාගම' ඉදිකිරීමට මුල්ගල තැබීමේ අවස්ථාවට එක් වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

අපි බලයට පැමිණි පසු වසර 2025 දී 'සැමට සෙවණ' ලබා දෙන බවට ‍ජනතාව සමඟ සමාජ ගිවිසුමකට එළැඹුණා. නමුත් එය පසුගිය ජනාධිපතිවරණයේ දී හෝ මහ මැතිවරණයේ දී බලය ලබාගැනීමට ජනතාවට ලබා දුන් පොරොන්දුවක් නොවේ. මෙරට නිවාස නොමැතිව දුක් විඳින අසරණ ජනතාව වෙනුවෙන් පියවර 4ක් යටතේ උදා ගම්මාන 20,000ක් ඉදි කර වසර 2025 දී 'සැමට සෙවණ' ලබා දෙනවා.

ජනතාවට පොරොන්දු රාශියක් ලබා දී බලය ලබා ගත්ත ද ඒවා ඉටු කිරීමට පසුගිය රජය කටයුතු කළේ නෑ. නමුත් යහපාලන රජයේ අප බලයට පැමිණ ජනතා බලාපොරොත්තු සහ අවශ්‍යතා ඒ අයුරින්ම ඉටු කරමින් සිටිනවා. දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ 'ගමින් ගමට - දොරින් දොරට' වැඩසටහනෙන් කිසිවකුගේ අවධානයට යොමු නොවූ මෙරට දුෂ්කර ප්‍රදේශවල බිම් අඟලක අයිතිය නොමැති අසරණ ජනතාවට ශක්තිය ලබාදීමට කටයුතු කරනවා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ, අම්බලන්තොට, දෙනිය ප්‍රදේශයේ මේ ගම්මානය ඉදි කෙරෙනවා. මෙහි ඉදි වන නිවාස සංඛ්‍යාව 25ක්. හෙළ සිනමාවට අති විශිෂ්ට සේවාවක් ඉටු කළ සිනමා සක්විති ගාමිණී ‍ෆොන්සේකා මහතා සිහිපත් කිරීම පිණිස ගෞරව දැක්වීම වෙනුවෙන් ඒ මහතාගේ ශ්‍රී නාමයෙන් මේ උදා ගම්මානය ඉදිකිරීම විශේෂත්වයක්.


නව අදහස දක්වන්න