හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය | දිනමිණ

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය

රත්නසිරි පතිරණ, සමන්මලී ප්‍රියශාන්ති

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හෙට(14) ඉරිදා අපරභාග 02.09 ට උදා වෙයි. හෙළ සිරිතට විරිතට මුල්තැන දෙමින් පෙර වසරවල දී මෙන්ම මෙවර ද සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට මුළු රටම සුදානම් ව සිටියි. මෙදා සිංහල අවුරුද්දේ විශේෂත්වය වන්නේ “බක්මහ දිවුරුම“ එනම් මතින් තොර ව අවුරුදු සැමරුමට පසුගිය දා මුළු රටම එක මොහොතක ජාතිය ඉදිරියේ දිවුරුම්දීමයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරු හා මහජන නියෝජිතයන් මෙන්ම රටේ සමස්ත ජනතාව ම එම බක්මහ දිවුරුමට එක් වෙමින් රටට ආදර්ශයක් සැපයීම මෙදා අවුරුදු උළෙලේ විශේෂත්වයකි.

විශේෂයෙන් ම මෙම ජාතික සංස්කෘතික මංගල්‍යය සැමරීම සඳහා ගම්බිම් බලා යාමට විශේෂ දුම්රිය හා බස්රිය විධිමත්ව ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබු අතර මේ නිසා බාධාවකින් තොරව සිය ගම්බිම් බලා යාමට ජනතාවට අවස්ථාව සැලසිණි.

මාතර සිට බෙලිඅත්ත දක්වා දකුණු ලක දුම්රිය මාර්ගය විවෘත කිරීමෙන් මෙදා දහස් සංඛ්‍යාත මඟී ජනතාවට රුහුණේ සිය ගම්බිම් බලා යාමට විශාල පහසුවක් සැලසිණි. ඒ වගේම අවුරුදු නිවාඩුවෙන් පසු  යළි කොළඹ බලා ඒමට ද දුම්රිය හා බස් රථ සේවා සැපයීමට අවශ්‍ය කටයුතු සළසා ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය හා ගමනාගමන මණ්ඩලය, මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරිය සඳහන් කළේය.

අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා කොළඹ හා තදාසන්න නගර සියල්ල ජනතාවගෙන් ඊයේ(12) රාත්‍රී වන විටත් පිරී ඉතිරී ගොස් තිබෙනු දක්නට ලැබුණි.

මත්පැන් හා මත්ද්‍රව්‍යවලින් තොර සාමකාමී සිංහල හා දෙමළ අලුත් අවුරුදු සැමරුමකට මෙන්ම ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය ද රට පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද උත්සව සමය පුරාවට ක්‍රියාවට නංවා ඇත.

විශේෂයෙන් උතුරු නැ‍ඟෙනහිර දමිළ ජනතාවට ද දකුණේ ජනතාව සමඟ තම සංස්කෘතික කටයුතුවලට මුල් තැන දෙමින් හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය සැමරීමට සුදානමින් සිටියි. රට පුරා ම අවුරුදු උත්සව ද මේ වන විටත් ආරම්භ වී ඇති බව අප ප්‍රාදේශීය මාධ්‍යෙවේදීහු සඳහන් කරති.

මෙවර ආහාර පිසීමේ නැකත උදා වී ඇත්තේ හෙට(14) අපරභාග 2.42 ට වන අතර වැඩ ඇල්ලීම හා ගනු-දෙනු කිරීම හා ආහාර අනුභව කිරීමේ චාරිත්‍රය යෙදී ඇත්තේ අපරභාග 3.54ටය. හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය මෙම 17 දා උදේ 7.40ට යෙදී ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර බෝම්බුවල ශ්‍රී සුබෝධිරාජාරාම මහා විහාරයේ දී පැවැත්වෙන අතර අගමැති රනිල් වික්‍රමසිංහ සහ සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහත්වරු ඇතුළු මැති ඇමැතිවරු මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.


නව අදහස දක්වන්න