මාල දිවයිනේ සෝලි තහවුරු වෙයි | දිනමිණ

මාල දිවයිනේ සෝලි තහවුරු වෙයි

මාලදිවයින් මහ මැතිවරණයෙන් ජනාධිපති ඉබ්‍රාහිම් මොහොමඩ් සෝලිගේ මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට (MDP) විශිෂ්ට ජයක් අත්විය. පාර්ලිමේන්තුවේ ආසන 87න් 65ක් ලබා ගැනීමට ඔවුන්ට හැකි වූ අතර එය 2/3 බලයකි. රට තුළ වැඩි ප්‍රජාතන්ත්‍රවාදී හා දේශපාලන නිදහසක් ස්ථාපිත කිරීමට මෙම ප්‍රතිඵලය හේතුවිය හැකි බවට මත පළවේ.

ඉකුත් සැප්තැම්බරයේදී පැවැති ජනාධිපතිවරණයෙන් ඉබ්‍රාහිම් සෝලිට ජය අත්විය. එසේ වුවද පාලක සභාගයේ ඇතැම් දේශපාලන පක්ෂ හිටපු ජනාධිපති අබ්දුල්ලා යාමින්ට සහාය දැක්වීම නිසා පාලනයට බලපෑම් ඇති වී තිබිණි. වසර 2008 දී එරට පළමු නිදහස් මැතිවරණය පැවැත්වුණු තැන් සිට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබාගත් පළමු පක්ෂය මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයි.

ඉකුත් මැතිවරණය මෙන් නොව මෙම මැතිවරණය නිත්‍යානුකූලව සහ විනිවිදභාවයකින් යුතුව පැවැත්වුණු බව මැතිවරණ නිරීක්ෂකයෝ ප්‍රකාශ කරති. පෙර මැතිවරණවලදී අක්‍රමිකතා සිදුවූ බවට, රාජ්‍ය සමාගම්වල සේවක - සේවිකාවන්ට ජනාධිපති යාමීන්ගේ පක්ෂයට ඡන්දය ප්‍රකාශ කරන මෙන් බලපෑම් එල්ල වූ බවට, විපක්ෂ දේශපාලන නායකයන් සිරගත කළ බවට, ඡන්ද ලියාපදිංචිකිරීම් අවලංගු කළ බවට ආදි විවිධ චෝදනා එල්ල විය.

මේ මැතිවරණයේ ලොකුම ජයග්‍රාහකයන් රටේ ජනතාව බව ජනාධිපති සෝලි නිකුත් කළ ප්‍රකාශයක දැක්වේ. නව පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය වෛර සහගත හෝ පටු බෙදීම්වලින් යුතු එකක් නොවූ බවද ප්‍රශ්නවලට විසැඳුම් සෙවීම අරමුණු කළ එකක් වූ බවද ජනාධිපති සෝලි ප්‍රකාශ කර තිබිණි. ඉකුත් වසරේදී එවක ජනාධිපති යාමීන්ගේ පාලන සමය අවසන් වනවිට රට තුළ දේශපාලන අර්බුදයක් නිර්මාණය වී තිබිණි. හදිසි නීතියද ප්‍රකාශයට පත්කර තිබිණි. ජනාධිපති යාමීන්ගේ විරුද්ධවාදීන් වන විපක්ෂ ප්‍රබලයන් කිහිප දෙනෙකුට අපරාධ චෝදනාද එල්ල කෙරිණි. ඔවුන් අතර හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් විය. නෂීඩ් ද මාලදිවයින් ප්‍රජාන්ත්‍රවාදී පක්ෂයේ සාමාජිකයෙකි. ඒ වනවිට ඔහු සිටියේ ලන්ඩනයේය. ඔහු යළි මව්බිම කරා පැමිණියේ 2018 අගභාගයේදීය. යාමීන්ගේ ආණ්ඩුව යටතේ සිර දඬුවම් ලබා සිටීම නිසා 2018 දී පැවති ජනාධිපතිවරණයට තරග කිරීමට නෂීඩ්ට හැකියාවක් නොවීය. සෝලි තරග කළේ එබැවිනි.

ජනාධිපතිවරණ ව්‍යාපාරයට එක්වෙමින් වත්මන් ජනාධිපති සෝලි එදා ප්‍රකාශ කළේ ඔහු ජයග්‍රහණය කළ හොත් රටතුළ ජාතන්ත්‍රවාදී නිදහස ස්ථාපිත කරන බවය. විපක්ෂ ක්‍රියාකාරීන් මර්දනය කිරීම සඳහා ගනිමින් තිබූ පියවරද ඔහුගේ විවේචනයට ලක්විය. අපහාස විරෝධී පනත වැනි ඇතැම් ප්‍රජා පනත් අහෝසි කිරීමද සෝලි බලයට පත්වීමෙන් පසුව සිදුවිය. එසේ වුවද සිය වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාම සඳහා රුකුල් දෙන පාලනයක් නොවීම ජනාධිපතිවරයාට අභියෝගාත්මක විය.

හිටපු ජනාධිපති යාමීන්‍ටද බන්ධනාගාරගත වීමට සිදුවිය. එරට සංචාරක මණ්ඩලය හා සම්බන්ධ අක්‍රමිකතාවන් ඊට හේතුවිය. යාමීන් එම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර ඉකුත් මාසයේදී ඔහුට ඇප ලැබිණි. ඒ, මහමැතිවරණයට දින කිහිපයක් තිබියදීය.

මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට 264,000ක් දෙනා සුදුසුකම් ලබා සිටියහ. ආසන 87 වෙනුවෙන් තරගවැදි අපේක්ෂිත සංඛ්‍යාව 386කි. ජනතාව විශාල උනන්දුවකින් ඡන්දය පාවිච්චි කළ අයුරු දැකගත හැකි විය. එම ප්‍රතිශතය 78%කි. මැතිවරණයට පූර්වගාමීව මත පළවූයේද ජනාධිපතිවරයාගේ පාලනය ශක්තිමත් වනු ඇති බවය. ඔවුන් අපේක්ෂා කළේ ආසන 45ක් පමණ දිනාගත හැකිවනු ඇතිබවය. එහෙත් ඊට බෙහෙවින් වැඩි බලයක් ලබාදීමට ජනතාව ක්‍රියාකර තිබේ. වත්මන් පාර්ලිමේන්තුවේ මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ප්‍රමුඛ සභාගයට ආසන 52ක් හිමිව තිබිණි. එසේවුවද ආසන 22ක් හිමි හවුල්කාර පක්ෂය යාමීන් අබ්දුල් ගයුම්ට සහාය දැක්වීය.

ජනාධිපති සෝලි ලබාදී ඇති පොරොන්දු අතර ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ, අධිකරණය පොලීසිය හා නිලබල තන්ත්‍රයට දේශපාලන බලපෑම් එල්ල වීම වැළැක්වීම, දූෂණය නිසා රටට අහිමිවූ මුදල් යළි අයකර ගැනීම ආදිය තිබේ. හිටපු ජනාධිපති යාමීන්ට එරෙහිව විපක්ෂ දේශපාලන පක්ෂ සන්ධානයක් ගොඩනැගුවද එය අසාර්ථක විය. යාමීන්ට මහ මැතිවරණයට තරග කිරීමේ හැකියාවක් නොවීය.

මැතිවරණ ජයග්‍රහණයන් සමඟ ජනාධිපති සෝලිට හා ඔහුගේ පක්ෂයට පොරොන්දු ඉටුකිරීමට මෙන්ම ජනතාව අපේක්ෂා කළ වෙනස්කම් සිදුකිරීමට සිදුවනු ඇත. ‘ට්‍රාන්ස්පේරන්සි මෝල්දිව්ස්’ පවසන පරිදි එරට දේශපාලන පක්ෂ අතර ඇති වෙනස්කම් රට හමුවේ ඇති සැබෑ ප්‍රශ්න යටපත් කිරීමට බලපා තිබේ. දූෂණය, සෞඛ්‍යය, මානව, හිමිකම් වැනි කාරණා මැතිවරණ ව්‍යාපාරයේදීවත් ඉස්මතු නොවීමට මේ තත්ත්වය බලපා ඇති බව ඔවුන්ගේ අදහසයි.

2012 පෙබරවාරි මස ජනාධිපති නෂීඩ් ඉල්ලා අස්වීමෙන් පසු රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් නොතිබිණි. අධිකරණය හා විධායකය අතර ඇතිවූ ගැටුම මහජන විරෝධතා ඇතිවීමටද බලපෑවේය. අබ්දුල්ලා යාමීන් ජනාධිපති ධුරයට පත්වූයේ 2013 දී පැවැති ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමිනි.

ඇතැම් විචාරකයන් පවසන පරිදි,සෝලි ජනාධිපති ධුරයට පත්වීම මාලදිවයින පිළිබඳ චීනයේ අභිලාෂයන් වෙනස් කිරීමට බලපෑ හැකිය. එය ඉන්දියාවේ සතුටට හේතුවක් බව පැහැදිළි කාරණයකි. සෝලිගේ පක්ෂය ලැබූ මැතිවරණ ජයග්‍රහණය ගැන ඉන්දියාව සතුටට පත්වීම අපේක්ෂා කළ හැකි තත්ත්වයක් බව විචාරක මතයයි. කෙසේවුවද මාලදිවයින, චීනය සමඟ ඇති සබඳතා දිගුකාලීනව ශක්තිමත් කරගනු ඇතැයිද විචාරකයෝ පෙන්වා දෙති. චීනය මාලදිවයිනේ ඩොලර් මිලියන සිය ගණනින් ආයෝජනය සිදුකර තිබේ. ඒ වැඩි වශයෙන්ම යටිතල පහසුකම් නැංවීමේ ව්‍යාපෘති සඳහාය. මාලදිවයිනේ භූගෝලීය පිහිටීම ද චීනයට උපායමාර්ගිකව වැදගත්ය. චීනය දැනටමත් සමුදුරු සේද මාවත ව්‍යාපෘතිය දියත් කරමින් නව පරිච්ඡේදයක් සටහන් කරමින් සිටී.

ජනාධිපති සෝලි දුරකතනයෙන් ඇමතූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මැතිවරණ ජයග්‍රහණය ‍වෙනුවෙන් සුබපැතුම් එක් කළ බව ‘හින්දු’ පුවත්පත වාර්තා කර තිබිණි. එම ජයග්‍රහණය සෝලිගේ පාලනය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය හා සහාය ඉහළින්ම ශක්තිමක් වීමක් බව අගමැති මෝදි සඳහන් කර ඇත. අගමැති මෝදි ජනාධිපති සෝලිට දුරකතනයෙන් සුබපැතුම් එක්කළ බව මාලදිවයින් ජනාධිපති කාර්යාලය තහවුරු කර තිබිණි. මාලදිවයින් ජනතාවට ඔවුන් ලබාදී ඇති පොරොන්දු ඉටුකිරීමට ජනාධිපතිවරයාට සහ පාලක පක්ෂයට හැකියාව ඇති බවට අගමැති මෝදි විශ්වාසය පළකර තිබිණි. එහිදී ඉන්දීය රජයේ සහාය මාලදිවයිනට ලැබෙන බවද ඔහු දන්වා ඇත.

හිටපු ජනාධිපති නෂීඩ් ද මෙවර මැතිවරණයේ දී ආසනයක් සඳහා තරග කර ජය ලැබීය. ඔහු තැබූ ටිවිටර් පණිවිඩයකින්ද කියැවුණේ අගමැති මෝදිට සහ විදේශ ඇමැතිනී සුස්මා ස්වරාජ්ට දුරකතනයෙන් ඇමතූ බවය. ඉන්දීය සාගර කලාපයේ ස්ථාවරත්වය වෙනුවෙන් මාලදිවයිනේ ශක්තිමත් රජයක් බිහිවීම හේතුවනු ඇතැයි නෂීඩ් විශ්වාසය පළ කරසිටී. නෂීඩ් වැනි දේශපාලන කැරිෂ්මාවක් සහිත නායකයකු යළි සක්‍රිය දේශපාලන කරළියට පිවිසීම සැලකිය යුතු කාරණයකි. ඔහුගේ ආගමනය ජනාධිපති සෝලිට ශක්තියක් වනු ඇත.

ජනාධිපති සෝලිගේ දිව්රුම් දීමේ උළෙලට ද ඉන්දීය අගමැති මෝදි සහභාගි විය. ඉකුත් දෙසැම්බරයේදී ද මේ වසරේ පෙබරවාරියේදී ද ජනාධිපති ‍සෝලි, ඉන්දීය අගමැති මෝදි හමුවිය. ඒ නවදිල්ලියේ සංචාරයේ යෙදෙමිනි.

ශ්‍රී ලංකාව හා මාලදිවයින අතරද ඉතා සමීප මිත්‍ර සබඳතා පවතී. මාලදිවයිනේ දේශපාලන ස්ථාවරත්වයක් ඇතිවීම කලාපීය ස්ථාවරභාවය ශක්තිමත් කිරීමකි. නිතර දේශපාලන කුමන්ත්‍රණ වාර්තාවන පසුබිමක මාලදිවයින් ජනතාව ශක්තිමත් ආණ්ඩුවක් බිහිකිරීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම දූරදර්ශී තීරණයක් වනු ඇත.

ධම්මික සෙනෙවිරත්න


නව අදහස දක්වන්න