මත් ජාවාරමුන් 110ක් එකම දිනදී උසාවියට | දිනමිණ

මත් ජාවාරමුන් 110ක් එකම දිනදී උසාවියට

ඔක්කොම රිමාන්ඩ්, අනුරාධපුර මධ්‍යම විශේෂ-බී.එම්.විජේසූරිය

තහනම් විෂ මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම අලෙවිය ජාවාරම හා ප්‍රවාහනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටි ජාවාරම්කරුවන් එකසිය දස දෙනකු (110) එකම දිනයකදී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් මේ මස 23 හා 24 දෙදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා පසුගියදා නියෝග කළේය.

අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට එකම දිනයකදී ඉදිරිපත් කළ මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවන් පිරිස මෙය වන අතර එකම දිනයකදී මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවන් සියය ඉක්මවූ සංඛ්‍යාවක් රක්ෂිත බන්ධනාගාර ගතකළ අවස්ථාවක් ලෙසද අධිකරණයෙන් වාර්තා විය.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශය මගින් සැකකරුවන් 110 දෙනා අධිකරණයට ඉදිරිපත් කළ අතර දූෂණ මර්දන අංශය ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් සියලුම දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කළේය.

සැකකරුවන් නීතිවිරෝධි තහනම් විෂ මත්ද්‍රව්‍ය වන හෙරොයින් අයිස් ගංජා නීති විරෝධීව මෙරටට මුහුදු මාර්ගයෙන් ගෙන්වූ කේරළ ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අනුරාධපුර නගරය ඇතුළු අනුරාධපුර පොලිස් වසමේ පදිංචිකරුවන් වන අතර කොළඹ පුත්තලම මරදාන ඇතුළු සෙසු ප්‍රදේශ රැසක සිට අනුරාධපුරයට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ දුෂණ මර්දන නඩු මෙහෙයුම් අංශය කියා සිටියේ සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකෙරෙන බැවින් ඔවුන්ට ඇප ලබාදීමට විරෝධය දක්වන බවත් සැකකරුවන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රජයේ රස පරික්ෂක වාර්තා මෙතෙක් අධිකරණයට ඉදිරිපත් කිරීමට ලැබී නැති බවත් පොලිසිය අධිකරණයට කීවේය.

මෙම සැකකරුවන් කලක පටන් හෙරොයින් අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය අනුරාධපුර පොලිස් වසමේ බෙදාහරිමින් විශාල ව්‍යසනයක් සිදුකරන බවත් අවුරුදු සමයේ ඔවුන් මුදාහැරිය හොත් නැවතත් මත්ද්‍රව්‍ය බේදාහැරිම සිදුකිරීමට ඉඩ තිබෙන බවත් පොලිසිය අධිකරණයට කීවේය.

අනුරාධපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි තිලිණ හේවාපතිරණ මහතාගේ උපදෙස්මත අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.එම්.සංජීව මහනාම මහතාගේ මෙහෙයවීමෙන් දූෂණ මර්දන නඩු මෙහෙයුම් අංශයේ නිලධාරින් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබිණි

 

නව අදහස දක්වන්න