යුනෙස්කෝ 206වැනි විධායක මණ්ඩල රැස්වීමට ඇමැති අකිලත් එක්වෙයි | දිනමිණ

යුනෙස්කෝ 206වැනි විධායක මණ්ඩල රැස්වීමට ඇමැති අකිලත් එක්වෙයි

යුනෙස්කෝ සංවිධානයේ 206 වැනි විධායක මණ්ඩල රැස්වීම පසුගිය දා ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වුණි.

යුනෙස්කෝ හි විධායක මණ්ඩලයේ 206 වැනි සැසිවාරය ආරම්භ කරමින් සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඕඩ්රි අසූලේ (Audrey Azoulay) මහත්මිය යුනෙස්කෝව ලෝකයේ වත්මන් අභියෝගයන්ට ප්‍රතිචාර දැක්වීමේ සංවිධානාත්මක ධාරිතාව තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා ක්ෂේත්‍රයන් රැසක් පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් කළාය. විශේෂයෙන් කෘත්‍රිම බුද්ධිය, අධ්‍යාපනය, කාන්තාවන්ගේ සහ ගැහැනු දරුවන්ගේ අධ්‍යාපනය, මාධ්‍ය නිදහස සහ ප්‍රචණ්ඩකාරී අන්තවාදයට එරෙහිව සටන් කිරීම වැනි කරුණු පිළිබඳ ද ඇය මෙහි දී විශේෂයෙන් අවධාරණය කළාය.

අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් පළ කළ යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල්වරිය 21 වැන සියවසේ අභියෝගවලට සාර්ථකව මුහුණ දීම සඳහා අධ්‍යාපන හැදෑරීමේ වැදගත්කම මතු කළා, අධ්‍යාපනයේ නව ප්‍රමිතීන් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි යුනෙස්කෝ මහා සභා රැස්වීමේ දී අධ්‍යපනයේ සුදුසුකම් පිළිගැනීම පිළිබඳ සම්මුතියක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළාය.

යුනෙස්කෝ සංවිධානයේ මෙරට සභාපති සහ යුනෙස්කෝ විධායක මණ්ඩල සමාජික අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා රැස්වීමට එක් වෙමින් ශ්‍රී ලංකාව මේ වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයේ අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳ විධායක මණ්ඩලය දැනුම්වත් කළේය. නූතන ලෝකය රැකියා අවස්ථාවන්ට ගැළපෙන ආකාරයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට මේ වන විටත් ශ්‍රී ලංකා රජය අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සිදුකර ඇති බව පෙන්වා දුන් අධ්‍යාපන ඇමැතිවරයා දහතුන් වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන පිළිබඳ ද යුනෙස්කෝ විධායක මණ්ඩලය දැනුම්වත් කළේය. සාමාන්‍ය පෙළ විභාගය කඩඉම අසමත්ව සහ ලෝකයේ ඉදිරියට යා හැකි වෘත්තීය නිපුණතාවන් අත්පත් කර ගැනීමට නොහැකිව ජීවන අර්බුදයන්ට මෙන්ම සමාජ ගැටලු රැසකට දරුවන්ට මුහුණ පෑමට සිදුව තිබූ වටපිටාවක එම අධ්‍යාපනයේ විශමතාවන් බැහැර කරමින් මේ වැඩසටහන හඳුන්වා දුන් බව පැවැසීය.

දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධ විෂමතාවන් බැහැර කරමින් අධ්‍යාපනයේ සම අවස්ථා තව දුරටත් පුළුල් කිරීමේ අරමුණින් දියත් කර ඇති ළඟම පාසල - හොඳම පාසල වැඩසටහන පිළිබඳ ද යුනෙස්කෝ සංවිධානයෙන් මෙරට සභාපතිවරයා එහි විධායක මණ්ඩලයේ අවධානයට යොමු කළේය.

මීට අමතරව වයස අවුරුදු 5 සිට 19 දක්වා වන සියලුම දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීම පිණිස රජය විසින් නොමිලේ හඳුන්වා දී ඇති ‘සුරක්ෂා’ රක්ෂණාවරණය පිළිබඳ ද ඇමැතිවරයා මෙහිදී විධායක මණ්ඩලයේ අවධානය යොමු කළ අතර. ශ්‍රී ලංකා රජය දරුවන්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් ගෙන ඇති සාධනීය පියවරයන් යුනෙස්කෝ සංවිධානයේ විධායක කමිටුවේ ඇගැයීමට පාත්‍ර විණි.

 

නව අදහස දක්වන්න