රට කිරට හැඬීම නතර කිරීමට | දිනමිණ

රට කිරට හැඬීම නතර කිරීමට

රුවිනි විදානපතිරණ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරිනි හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂිකාර්මික,පර්යේෂණ හා පුහුණු ආයතනය

ලාංකික අපගේ පරිභෝජන රටාව තුළ කිරි හා කිරි නිෂ්පාදන කවදත් සැලකුණේ අත්‍යවශ්‍ය අංගයක් ලෙසය. තේ සමඟ කිරි හෙවත් ‘කිරි තේ‘ පානය ලාංකිකයන්ගේ දෛනික චර්යාවේ අත්‍යාවශ්‍ය අංගයක් වීම නිසාවෙන් කිරි කර්මාන්තය අන් සියලු කර්මාන්ත අභිබවා ප්‍රමුඛස්ථානයට පත්ව තිබෙන්නේ එහි වෙළඳාමේ පහළ වැටීමක් ගැන අසන්නටවත් ඉඩක් නොතබමිනි. නවසීලන්තයෙන් කිරිපිටි ආනයනය කිරීම සම්බන්ධයෙන් ලොව සෙසු රටවල් අතරින් ලංකාව සිව්වන තැනට පත්ව සිටින්නේත් ඒ හේතුව නිසාමය. ඒ අනුව දේශීය කිරි වෙළෙඳපොළට කිරිපිටි මෙන්ම දියර කිරි සැපයීම සඳහා රජය මෙන්ම පෞද්ගලික සමාගම්ද (දේශීය හා බහුජාතික යන දෙඅංශයෙන්ම) සාමුහිකව දායකත්වය ලබාදෙති. නමුත් ඒ අතරින් කිරි වෙළෙඳපොළ සිය ආධිපත්‍යයට නතුකර ගනිමින් රජකරන්නේ බහුජාතික සමාගම් බව නොරහසකි.

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2017 වසරේදී ලංකාවේ ගව හා මීහරක් ගහණය වාර්තාව තිබෙන්නේ පිළිවෙළින් මිලියන එකක් හා මිලියන 0.3 ක් ලෙසය. එසේම එම වසරේදී රටේ සමස්ත කිරි නිෂ්පාදනය ප්‍රමාණයෙන් ලීටර් මිලියන හාරසිය අසූතුනකි. පසුගිය දස වසර තුළදී විශේෂයෙන්ම 2008 වසරෙන් පසු රටේ කිරි නිෂ්පාදනය ධනාත්මක වර්ධනයක් ලැබීය. ඒ කිරි නිෂ්පාදනයේ උන්නතිය වෙනුවෙන් ගනුලැබූ පියවර රාශියක ප්‍රතිඵලයක් ලෙසය. මහා පරිමාණ හා කුඩා පරිමාණ කිරි එකතුකරන්නන් සතු ශීතකරණ පහසුකම් ඉහළ නැංවීම, උතුරු හා නැඟෙනහිර පළාත්වලින් කිරි නිෂ්පාදනයට ලැබෙන දායකත්වය ඉහළයාම, මුල්‍යාධාර පහසුකම් සැලසීම, කිරි ගොවීන්ගෙන් කිරි මිලදී ගැනීමේදි පාලන මිලක් පවත්වාගැනීම, වැඩි කිරි ප්‍රමාණයක් ලබාදෙන කිරිදෙනුන් ලබාදීම, ජනතාව දියර කිරි පරිභෝජනයට නැඹුරු කිරීමට රජයෙන් කරන පෙළඹවීම්, ජනතාවගේ ආදායම් ඉපයීමේ මාර්ග විවිධාංගීකරණය එවැනි පියවර කිහිපයකි.

දේශීය කිරි ඉල්ලුම

එසේම රටේ නිල වශයෙන් සිදුකරන කිරි එකතු කිරීමේ ක්‍රියාවලියද ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්වා තිබේ. විශේෂයෙන්ම 2012 – 2014 අතර කාලයේ දී දේශීය කිරි සඳහා වූ ඉල්ලුම ඉහළ යාමත් සමඟ එහි කැපී පෙනෙන වර්ධනයක් සිදුව තිබේ. දේශීය කිරි වෙළඳපොළේ ප්‍රධානම කිරි සැපයුම්කරුවන් දහතුන් දෙනකු විසින් 2017 වසරේදී එකතුකළ කිරි ප්‍රමාණය ලීටර් මිලියන 283.11 කි. කෙසේවුවද එසේ රැස්කරගත් කිරි ප්‍රමාණය ඇස්තමේන්තුගත කිරි නිෂ්පාදනයෙන් 65% ක ප්‍රතිශතයක් පමණි. මින් කියැවෙන්නේ කිරි මිලදී ගැනීමේ හා එකතුකර ගැනීමේ දීප ව්‍යාප්ත ජාලය මීට වඩා බෙහෙවින් පුළුල් කිරීමට විභවතාවක් පවතින බවයි. එනම් කිරි නිෂ්පාදනය ශීඝ්‍ර දියුණුවක් ලබා තිබුණ ද ඊට සමගාමීව කිරි මිලදී ගැනීමේ ඉහළයාමක් සිදුව නැති බව පිළිගත යුතුව තිබේ.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් නිෂ්පාදිත කිරි ප්‍රමාණය මිලියන එකොළහක් වෙද්දී, මිල්කෝ පෞද්ගලික සමාගම විසින් නිෂ්පාදිත කිරි ප්‍රමාණය ලීටර් මිලියන හැටදෙකක්ව තිබිණි. මිල්කෝ ආයතනය විසින් සිදුකළ කිරි එකතු කිරීමේ ක්‍රියාවලිය ලැබූ මෙම ශීඝ්‍ර වර්ධනයට හේතුවක් වන්නේ පොළොන්නරුව, දීගන, හා අඹේවල කිරි කම්හල්වල සිදු කළ නවීකරණයන්ය. 2017 වසරේදී කිරි ලීටරයක මිලදී ගත් ගොවිපළ මිල දළ වශයෙන් රු. 66.34 ක්වූ අතර, කිරි ලීටරයක නිෂ්පාදන වියදම සටහන් වූයේ රු. 34.69ක් ලෙසය. 2017 වසරේ සිට කිරි ගොවීන්ට කිරි ලීටරයක් සඳහා රු. 70.00 ක සහතික කළ මිලක් හිමිවිය.

ආනයනයේ ප්‍රවණතා

රටේ සමස්ත කිරි අවශ්‍යතාවය සැපිරීම සඳහා දේශීය කිරි නිෂ්පාදනය විසින් ලබාදී ඇති දායකත්වය 42% කි. මුළු අවශ්‍යතාව සැපිරීමෙහිලා දේශීය සැපයුම්කරුවන් අසමත්වීමෙන් ඇතිවූ මෙම ඌණතාව පියවාගෙන තිබෙන්නේ රුපියල් බිලියන 33.6 ක් වියදම් දරා, ප්‍රධාන කොටම පිටි වශයෙන් කිරි ආනයනය කිරීමෙනි. 2016 වසරේදී පමණක් එලෙස ආනයනය කළ කිරිපිටි ප්‍රමාණය මෙට්‍රික් ටොන් අනූහතර දහසකි. පසුගිය වසර පහළොව තුළ සිදුකළ ආනයන ප්‍රාමාණාත්මක ලෙස සැලකූ කළ ඒවායේ ඉහළ පහළ යාම් තිබීමෙන් පෙනී යන්නේ, කිරි ආනයනයේ අස්ථාවරත්වය හා ලෝක වෙළෙඳ පොළේ මිල ගණන්, බදු ව්‍යුහය, හා දේශීය අවශ්‍යතාවය වැනි යටගියාවු සාධක සමඟ එහි පවත්නා සහසම්බන්ධයයි.

ලොව පුරා ජනතාව අතර වඩාත්ම ජනප්‍රිය පානය නැවුම් එළකිරි ලෙස සැලකුණද, ඒකපුද්ගල මාසික දියර කිරි හා කිරිපිටි පරිභෝජනය පිළිවෙළින් මි.ලී. 110.33 ක් හා මි.ලී. 341.36 ක් වූ ලංකාවේ කිරි පරිභෝජනය පවතින්නේ සාපේක්ෂව පහළ මට්ටමකය. එය මාසිකව ආහාර සඳහා සිදුකරන ගෘහස්ත වියදමෙන් ප්‍රතිශතයක් ලෙස සැලකූ කල 9.4 % කි.

2013 වසරේදි ආනයනික කිරිපිටිවල ‘ඩයි සයන ඩයමයිඩ්‘ (ඩී.සී.ඩී.) ඇති බව හඳුනා ගැනීමත් සමඟ ආනයනික කිරිපිටි පරිභෝජනය සඳහා මිලදිගැනීමේදි පාරිභෝගිකයන් වැඩි අවධානයක් යොමු කරන බැව් පෙනෙන්නට තිබේ. කිරි නිෂ්පාදන ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමෙහිලා පාරිභෝගිකයන්ගේ මිලදී ගැනීමේ රටාව හා දක්වන කැමැත්ත තීරණාත්මක සාධක ලෙස සැලකෙන්නකි. එපමණක් නොව ශ්‍රි ලංකාවේ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ අනාගත අභිවෘද්ධිය සඳහාද පාරිභෝගික මිලදී ගැනීම් හා කැමැත්ත සම්බන්ධයෙන් සිදුකරන නිවැරදි විශ්ලේෂණ හා තක්සේරුගත කිරීම් අතිශයින් වැදගත්ය.

දැනුමේ පවත්නා මෙම අඩුපාඩුව පිරවීම සඳහා දියර කිරි හා කිරිපිටි සඳහා පාරිභෝගිකයා දක්වන රුචිකත්වය, පරිභෝජනයේ ප්‍රවණතා හා ඉන් කිරි ආශ්‍රිත නිෂ්පාදන තීරණය කිරීමේදීත්, වෙළෙඳපොළ අවස්ථා සඳහා ඇතිකරන බලපෑම තීරණය කිරීමේ අරමුණින් හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂිකාර්මික, පර්යේෂණ හා පුහුණු ආයතනය (HARTI) විසින් සමීක්ෂණයක් සිදුකරන ලදී. කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන වෙනුවෙන් වැඩිම වියදමක් දරන නිවෙස් පිහිටි කොළඹ, මාතර හා මහනුවර යන දිස්ත්‍රික්ක ආවරණය කරමින් 2016 වසරේදී මෙම සමීක්ෂණය සිදුකරන ලද්දේ තෝරාගත් නිවෙස් හාරසීයයක නියැදියක් ඇසුරිනි.

පාරිභෝගික රුචිකත්වය සම්බන්ධයෙන් සිදුකළ මෙම සමීක්ෂණයට අනුව පෙනී ගියේ ඔවුන්ගේ වැඩි කැමැත්ත ඇත්තේ දේශීය කිරිපිටි හා නැවුම් දියරකිරි සඳහා බවය. එනම් දේශීය වශයෙන් සැකසූ, ගුණාත්මක හා සුරක්ෂිතභාවයෙන් ඉහළ නැවුම් කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදනවල පවත්නා අඩුව හා ලබාගැනීමේ දුෂ්කරතා හේතුවෙන් පාරිභෝගිකයන් වැඩිවශයෙන් ආනයනික කිරිපිටි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන මිලදී ගැනීමට පෙළඹී සිටින බව එම සමීක්ෂණයෙන් මතුකර දැක්වීය. දේශීය කිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් පවත්නා මෙම අවරෝධකවලට විසඳුම් ලැබේ නම් දේශීය කිරි නිෂ්පාදනවලට මාරුවීමට හා ඒවා මිලට ගැනීමට පවත්නා නැඹුරුව ඉහළය. මේ නිසා ආනයනික නිෂ්පාදන මත යැපීම හැකිතාක් අඩුකරමින් දේශීය කිරි නිෂ්පාදන හා අලෙවි ක්‍රියාවලිය සංවර්ධනය කිරීමට තිබෙන්නේ කදිම අවස්ථාවකි.

2013 දී ආනයනික කිරිපිටිවල ඩී.සී.ඩී. ඇති බව අනාවරණය වීමත් සමඟ කිරි කර්මාන්තය මුහුණු දුන්නේ අතිශය කැලඹීලිකාරී තත්වයකටය. එමඟින් කිරි නිෂ්පාදන සම්බන්ධයෙන් පාරිභෝගික මිලදී ගැනීමේ රටාව, ඔවුන්ගේ ආකල්ප, අවශ්‍යතා හා ඉල්ලුම කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇතිවූ බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙම අවධියේදී එතෙක් කලක් ආනයනික කිරිපිටි පරිභෝජනය කළ බහුතරයක් දේශීය කිරිපිටි වෙත යොමුවත්දී, කිරි පාරිභෝගිකයන්ගෙන් තවත් කොටසක් එක් ආනයනික කිරිපිටි වර්ගයක සිට වෙනත් ආනයනික කිරිපිටි වර්ගයකට මාරුවුණේ එකී කිරිපිටි වර්ගවල සම්භවය ගැන අවබෝධයක් නොමැතිකමින් ඒවා දේශීය නිෂ්පාදිත ලෙස සැලකීමට පෙළඹීම නිසයි. මෙම තත්වය පැවතියේ එම ආන්දෝලනාත්මක අවධියේදී පමණක් වන අතර, ආනයනික කිරිපිටි වර්ගවල ආරක්ෂාව පිළිබඳ තහවුරු කිරීමෙන් පසු යළිත් ජනතාව ඒවා වෙතම යොමුවූහ.

පාරිභෝගික ගැටලු

1. ජීවත්වන ප්‍රදේශ අවටින් නැවුම් කිරි හා දේශීය කිරිපිටි වර්ග මිලදී ගැනීමට නොමැතිවීම කිරි පාරිභෝගිකයන් පෙළන ප්‍රධාන ගැටලුවකි. නාගරික මෙන්ම ග්‍රාමීය පාරිභෝගිකයන් බහුතරයක් කිරිපිටි මිලදී ගැනීමට හුරුව සිටින්නේ ළඟම පිහිටි සිල්ලර වෙළෙඳසල්වලින් වන අතර, දේශීය කිරිපිටි එවැනි සිල්ලර වෙළෙඳසල් බහුතරයක අලෙවි කෙරෙන්නේ නැත. ඊට හේතුව ආනයනික කිරිපිටි අලෙවි කිරීමේදී වෙළෙඳසල් හිමියන්ට විශාල වශයෙන් කොමිස් ලැබීමයි.

2. සුපිරි වෙළෙඳසල්වල මහා පරිමාණයෙන් අලෙවි කෙරුණත්, ළඟම ඇති වෙළෙඳසල්වලින් නැවුම් කිරි හා දියර කිරි ලබා ගැනීම උගහටය.

3. පාරිභෝගිකයන් බහුතරයක් දියර කිරි නිෂ්පාදන ප්‍රිය කළද, ඒවායේ ඉහළ මිල දියර කිරි මිලදී ගැනීමට බාධාවකි.

4. වෙළෙඳපොළේ තිබෙන දේශීය කිරිපිටි වර්ග දියර කිරි හා රසකළ කිරි සඳහා නිසි ගුණාත්මක ප්‍රමිතීන් නොතිබීම

5. එළකිරිවල සෞඛ්‍යාරක්ෂිතබව හා සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් තහවුරුවක් නොතිබීම.

6. ආනයනික කිරිපිටිවර්ගවල විශ්වසනීයත්වය හා සුරක්ෂිතබව සම්බන්ධයෙන් වන ගැටලු

7. ජනතාව නොමඟ යවන වෙළෙඳ ප්‍රචාරක වැඩසටහන්

මේ ගැටලු අවම කිරීම සඳහා වූ නිර්දේශ කිරීම් මෙසේය.

නිර්දේශ

1.දේශීය කිරි නිෂ්පාදන වෙළෙඳපොළේ සුලබ කිරීම.

කුඩා හා මහා පරිමාණ කිරි සැකසුම් කම්හල් සතු පහසුකම් වඩාත් පුළුල් කිරීම හා ශක්තිමත් කිරීම.

පාරිභෝගිකයන්ට කිරි නිෂ්පාදන මිලට ගැනීමේ හැකියාව වර්ධනය කිරීම.

අලෙවිසල් සහිත කිරි බෙදාහැරීම් ජාල පිහිටුවිම, කිරිහල් විවෘත කිරීම, සිල්ලර අලෙවිය පුළුල් කිරීම, ජංගම රථවලින් කිරි නිෂ්පාදන දොරකඩට ගෙනයාමේ වැඩපිළීවෙළක් දියත් කිරීම, ජීවත්වන ප්‍රදේශය අවටින් කිරි නිෂ්පාදන මිලට ගැනිමේ හැකියාව තහවුරු කිරීම.

2.ගුණාත්මක හා සුරක්ෂිතබව ඉහළ නැංවීම.

3.කිරි වෙළෙඳපොළේ ප්‍රමිති පැනවීම හා ඒවා නියාමනය අත්‍යාවශ්‍යය. දේශීයව මිලට ගැනීමට ඇති කිරිවල ගුණාත්මකබව හා සුරක්ෂිතබව සම්බන්ධයෙන් සහතික කිරීමක් තිබීමද වැදගත් වන්නේ අද වන විට වෙළෙඳපොළේ පවත්නා විවිධ කිරිපිටි වර්ගවල ගුණාත්මකබව (රසය, උකුබව හා ස්වභාවය ) සම්බන්ධයෙන් විශාල විවිධත්වයක් තිබෙන නිසාය. එසේම රස කළ කිරි වර්ගවල අන්තර්ගත සීනි ප්‍රතිශතය ද ඉතා ඉහළය. මේ නිසා පාරිභෝගික රුචිකත්වය අනුව කිරිපිටි හා රසකළ කිරි නිෂ්පාදනය වැඩිදියුණු කිරීම ඉතාම වැදගත්ය. දේශීය කිරි නිෂ්පාදනවල ගුණාත්මක තත්ත්වය හා සුරක්ෂිතබව පවත්වා ගැනීමටත්, ඉහළ නැංවීමටත් සුදුසු, කලින් කලට සිදුකළ හැකි පරික්ෂා කිරීමේ යාන්ත්‍රණයක් තිබීම අත්‍යවශ්‍ය වනු ඇත.

4. ගුණාත්මකබව හා සුරක්ෂිතබව පවත්වා ගැනීම වෙනුවෙන් වූ අන්වේක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම. ආනයනික කිරිපිටි වර්ගවල සුරක්ෂිතබව තහවුරු කිරීම සඳහා ඒවා අඛණ්ඩ පර්යේෂණයන්ට ලක්කිරීම ඉතාම වැදගත්ය.

5. දේශීයව නිෂ්පාදිත කිරි හා කිරි නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමට ප්‍රචාරක වැඩසටහන් දියත් කිරීම. නැවුම් කිරි පානය කිරීමේ සංස්කෘතියක් ඇති කිරීම සඳහාත්, ගෘහාශ්‍රිත කිරි නිෂ්පාදන ප්‍රවර්ධනය සඳහාත්, වැරදි ආහාර රටා වෙනස්කිරීම සඳහාත් මාධ්‍ය ඔස්සේ විශේෂ වැඩසටහන් සිදුකළ හැක. පාසල් ළමයින් කිරි පානයට පෙළඹවීමටද ප්‍රචාරක වැඩසටහන් යොදාගත හැක. මීට අමතරව මිල පහත හෙළන අතර ගුණාත්මකබව ද ඉහළ නැංවීමෙන් නැවුම් කිරි පරිභෝජනය වර්ධනය කරගැනීමටද හැකියාව ඇත. ඒ සඳහා දේශීය වෙළෙඳපොළටද ඉටුකළ හැකි කාර්යභාරය ඉමහත්ය.

වර්තමානයේ ආනයනික කිරිපිටි සම්බන්ධයෙන් උද්ගතව ඇති දැවැන්තම අර්බුදය වන්නේ ලැක්ටෝස් පිටි සමඟ පාම්තෙල්, හා සත්ව මේදය කලවම් කරන බවට කර ඇති අනාවරණයයි. මේ හේතුවෙන් දේශීය කිරි නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම බෙහෙවින් ඉහළ ගොස් තිබේ.

කෙසේවතුදු වර්තමාන දේශීය කිරි නිෂ්පාදනය ප්‍රමාණවත් වන්නේ රටේ සමස්ත කිරි අවශ්‍යතාවයෙන්

සියයට 42ක් පිරිමැසීමට පමණි. මෙම තත්වයට මුහුණදීමට නම් රජයේ මෙන්ම පෞද්ගලික ක්ෂේත්‍රයේ හා රටේ වෙනත් ඊට අදාළ ආයතතනවලද සහභාගීත්වය ඇතිව දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා දිගුකාලීන උපායමාර්ගික සැලැස්මක් ක්‍රියාවට නැංවිය යුතුව තිබේ.

05/04/2019 දින

ඩේලි නිව්ස් පුවත්පතේ පළ වූ ලිපියක් ඇසුරිණි

පරිවර්තනය රුක්ලන්ති පෙරේරා

 

 


නව අදහස දක්වන්න