සසුන’ඹර බබළවන මත්තක රතනපාල නාහිමියෝ | දිනමිණ

සසුන’ඹර බබළවන මත්තක රතනපාල නාහිමියෝ

සුපේෂල ශික්ෂාකාමී විනයධර ධර්මධර මහා සංඝ පීතෘවරයකු වූ මහා විහාර වංශික සියම් මහා නිකායේ කෝට්ටේ බෙන්තර පාර්ශ්වයේ උතුරුමැද පළාත් ප්‍රධාන සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී වාගීශ්වර මත්තක රතනපාල නාහිමිපාණන් වහන්සේගේ හැට හත්වන ජන්ම දිනය නිමිත්තෙන් අනුරාධපුර සාලියපුර ඓතිහාසික මාන්කඩවල පුරාණ රජමහා විහාරස්ථානයේදී අද (17) උන්වහන්සේ විසින් මහා සංඝරත්නය වෙනුවෙන් ද හත්සියයක් පමණ වූ සිය දායක දායිකා පවුල් උදෙසා පවත්වන ඉතා විරල ගණයේ මහා පුණ්‍ය කර්මය පිළිබඳව සමස්ත භික්ෂු පරපුරටම ආදර්ශයක් වනු පිණිස තැබෙන සටහනකි මේ.

මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ලක්දිව ස්ථාපිත කිරීමට අම්බස්තලයට වැඩම කිරීමත් 'දෙවියෙකු මුව වෙස්' ගැනීමත් දේවානම් පියතිස්ස මහ රජු 'මුව දඩයම' ආරම්භ කළ ස්ථානයත් පිළිඳ ඓතිහාසික තොරතුරු සම්බන්ධව ඉතිහාසයේ රන් අකුරෙන් සනිටුහන් වූ පුණ්‍ය භූමිය සාලියපුර මාන්කඩවල පුරාණ රජමහා විහාරස්ථානයයි. ඒ පිළිබඳව අද දක්වාම ජනශ්‍රැති ජනප්‍රවාද හා ඓතිහාසික තොරතුරු බොහෝය. මාන්කඩවල පුණ්‍ය භූමිය දේවානම් පියතිස්ස රජු සමයේ ව්‍යවහාර වී ඇත්තේ 'මුවන් කඩුල්ල' නමිනි. කාලාන්තරයක් තිස්සේ මේ ප්‍රදේශය දමිළ පාලනයට නතුවීම හේතුවෙන් මුවා යන්න 'මාන්' වී ඇති අතර කඩුල්ල 'කඩවල' වී ඇති බවත් මුවන්කඩවල මාන්කඩවල වූ බවත් වාග් විද්‍යාඥයන් සඳහන් කර ඇත.

එදා දුනු හී තල අතැතිව අනුරාධපුර රාජධානියේ සිට මුව දඩයමට පිටත් වූ දේවානම් පියතිස්ස මහ රජුට රාජධානිය ආසන්නයේම පිහිටි මුවන් කඩුල්ලේදී මුව රජු දක්නට ලැබිණ. (දෙවියෙකු මුව වෙස් ගෙන පෙනී සිටි බව ජන වහරේ පවතී) මුව දඩයම් කරනු පිණිස හඹා ගිය දේවානම් පියතිස්ස මහ රජුට අම්බස්තලයේදී මිහිඳු මහ රහතන් වහන්සේ මුණ ගැසිණි. එහිදී මුව රජු අතුරුදන් වූ බව පැවසේ. බුදු දහම වැළඳගත් දේවානම්පියතිස්ස රජු ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනය ස්ථානය කිරීමට මූලික වූ මුවන්කඩුල්ල පුණ්‍ය භූමියේ අංග සම්පූර්ණ රජ මහා විහාරස්ථානයක් ඉදි කළ බව ඓතිහාසික තොරතුරු සනාථ කරති.

සෙල්මුවා බුද්ධ ප්‍රතිමා වහන්සේලා, පද්මාසන ස්ථම්භ, වැව් ‍පොකුණු ඇතුළු අනුරාධපුර රාජධානි සමයට අයත් ඓතිහාසික නටඹුන් මේ පුණ්‍ය භූමියේ අද දක්වාම දක්නට තිබේ. ඈත අතීතයේ 'වැවයි - දාගැබයි' සංකල්පය වර්තමාන මාන්කඩවල පුරාණ රජ මහා විහාරස්ථානය සනාථ කරයි. ශ්‍රී ලංකාව පාලනය කළ කිත්සිරි මේඝවර්ණ රාජ්‍ය සමයේදී හේමමාලා දන්ත කුමරු කාලිංග දේශයේ සිට වැඩම කරවූ ශ්‍රී දළදා වහන්සේ මඩුකන්ද රජමහා විහාරස්ථානය හරහා අනුරාධපුර රාජධානියට පුද පෙරහරෙන් වැඩම කරද්දී එක් රැයක් මුවන්කඩුල්ල (වර්තමාන මාන්කඩවල) රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබූ බව දාඨාවංශය ඇතුළු ඉපැරැණි ග්‍රන්ථ රැසක සනිටුහන් වී තිබේ.

මේ ඓතිහාසික පුණ්‍ය භූමිය පිහිටි මාන්කඩවල රජමහා විහාරස්ථානය ඇතුළු වෙහෙර විහාරස්ථාන විසිහතරක විහාරාධිපතිත්වය දරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා මුළු ජීවිතයම කැප කර සිටින මහ තෙරනමක් වූ මත්තක රතනපාල නාහිමිපාණන් වහන්සේ සසුන් විල සුවඳවත් කරමින් සිටින සංඝශෝභන ගුණයෙන් යුතු ආදර්ශමත් භික්ෂූන් වහන්සේ නමක් බව අනුරාධපුර දිස්ත්‍රික්කයේ සේම දිවයිනේ සතරදිග් භාගයේ බෞද්ධ අබෞද්ධ ජනතාව අවිවාදයෙන් පිළිගනිති.

ගාලු දිස්ත්‍රික්කයේ බෙන්තර වළල්ලාවිට කෝරළයේ පිහිටි අතිරමණීය සුන්දර මත්තක ගම් පිය‍සේ දිවි ගෙවූ ප්‍රභූ පවුලකට අයත් දානපතියෙකු වූ හෙට්ටිආරච්චිගේ ඇඩ්වින් උපාසක මහතාට දාව මත්තක ගමගේ තිලකරත්න අල්පිනා හාමි උපාසිකා මාතාව 1952 මාර්තු 18 වැනි දින මෙලොවට බිහි කළ පින්වත් කුමරු රත්නපාල හෙට්ටිආරච්චි නම් විය. හේ සහෝදර සහෝදරියන් සත් දෙනෙකුගෙන් යුත් පවුලේ තුන්වැනියා විය. මේ කුමරු නිසි වයසට පත් වූ පසු මත්තක පාසලට ඇතුළත් කෙරිණි. පසුව බණ්ඩාරගම රඹුක්කන විද්‍යාලෝක විදුහලේ අධ්‍යාපනය ලබද්දී පෙර පින් මතු වී සංසාරගත පුරුද්ද අනුව තමා සම්බුද්ධ ශාසනයේ පැවිදි කරවන ලෙස මවුපියන්ට නිතර නිතර ඇවටිලි කරන්නට විය. දොළොස් හැවිරිදි වියේ පසු වූ සුරතල් පුතු පැවිදි කිරීමට ආදරණීය මවුපියන් පසු බසිද්දී මේ පින්වත් කුමරු වරෙක මවගේ චීත්තය සිවුරක් සේ පොරවා ගනිමින් ද තවත් වරෙක පියාගේ සරම සිවුරක් සේ ගත දවටා ගනිමින් ද මිහිරි හඬින් ගාථා කීය. තවත් දිනෙක ධර්ම දේශනා පැවැත්වීය. අලුයම අවදි වන මේ කුමරු භාවනා කරන්නට පටන් ගැනීම හේතුවෙන් දැන උගත් මවුපියන් සසරෙන් එතෙ‍ර වීමට පෙරුම් පුරන තම පුතු සම්බුද්ධ ශාසනයට පූජා කරන ලදී. දොළොස් හැවිරිදි වූ පින්වත් කුල කුමරු 1964.07.10 වැනි දින බණ්ඩාරගම රඹුක්කන රජමහා විහාරාධිපති මත්තක ධම්මරතන නාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යයෙකු ලෙස මත්තක රතනපාල නමින් සසුන්ගත විය.

1972 ජුනි 23 වැනි දින කෝට්ටේ උපෝසථාගාරයේදී මත්තක ධම්මරතන නාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යයෙකු ලෙස අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටුවන ලදී.

අප නාහිමිපාණන් වහන්සේ පැවිදි දිවියට ඇතුළත් වූ පසු කළුතර ධර්ම විජය පිරිවෙනේද හොරණ විද්‍යාරත්න මහ පිරිවෙනේද පිටිගල මැටිපලිය සාරානන්ද පිරිවෙනේද උසස් අධ්‍යාපනය ලබා අනුරාධපුර බුද්ධ ශ්‍රාවක විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ත්‍රිපිටකවේදී උපාධිය ලබාගත්හ. 1990.01.01 දින පලුගොල්ලෑව රජයේ විද්‍යාලයේ උපාධි ගුරු පත්වීමක් ලද උන් වහන්සේ පසුව අනුරාධපුර මාන්කඩවල මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති පදවියට පත් වී එම විදුහලෙන්ම විශ්‍රාම ලැබූහ.

බණ්ඩාරගම රඹුක්කන රජමහා විහාරය, අනුරාධපුර මාන්කඩවල පුරාණ රජ මහා විහාරය ඇතුළු විහාරස්ථාන විසි හතරක විහාරාධිපතිත්වය දරණ උන් වහන්සේ අටමස්ථානය පිහිටි මධ්‍යම නුවරගම් පළාත් ශාසනාරක්ෂක බල මණ්ඩලයට 1985 මාර්තු 05 වැනි දින පත්වූ අතර පුරා නව වසරක් අඛණ්ඩව අනුරාධපුර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ධුරය දරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා සිය ශ්‍රමය, ධනය, කාලය හා බුද්ධිය වැය කළහ.

මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශයට අයත් බෞද්ධ පූජනීය ස්ථාන එකසිය විස්සක ද දහම් පාසල් පනස් හතරක ද උන්නතිය වෙනුවෙන් දිවා රාත්‍රී නොබලා අමිල මෙහෙවරක යෙදී සිටින අප නාහිමිපාණන් වහන්සේට සියම් මහා නිකායේ කෝට්ටේ විසෙත් වර්ශික කාරක මහා සංඝ සභාව විසින් 2011 ජුලි 30 වැනි දින සද්ධර්ම කීර්ති ශ්‍රී වාගීශ්වර ධම්මරතනාභිධාන ගෞරව නාමය සහිතව උතුරුමැද පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය ප්‍රදානය කරන ලදී.‍ ගෞරව සම්ප්‍රයුක්ත තනතුරු ලබද්දී තව තවත් නිහතමානී වූ උන්වහන්සේ මහා සංඝරත්නය කෙරෙහි ද දායක කාරකාදී බෞද්ධ ජනතාව කෙරෙහි ද මහා කරුණාවෙන් යුතුව සිය ධනය වැය කරමින් කටයුතු කරමින් වැඩ වාසය කරති.

තම බල ප්‍රදේශයේ ඉතා දුෂ්කර ගම්මාන ආශ්‍රිත විහාරස්ථානයන්හි බොහෝ දුෂ්කරතා සහිතව වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලාගේ ප්‍රශ්න හා ගැටලුවලට විසඳුම් දෙමින් ද දුප්පත් දායක කාරකාදී‍න්ගේ යහපත හා සුබසිද්ධිය උදෙසා කටයුතු කරමින් ද සිදු කරන මෙහෙවර අතිමහත්ය. සංඝ ශෝභනයෙන්ද ශීලයෙන් ද අනූන භික්ෂු පරපුරක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීම උන්වහන්සේගේ පරම පවිත්‍ර චේතනාව වී තිබේ. මාන්කඩවල ලොකු හාමුදුරුවෝ, මත්තක හාමුදුරුවෝ ,මාන්කඩවල නායක ස්වාමීන් වහන්සේ යන ලෙන්ගතු නමින් ගිහි පැවිදි සියලු දෙනා විසින් හඳුන්වනු ලබන මේ මහා සංඝ පීතෘවරයාණන් වහන්සේ විචිත්‍ර ධර්ම කථිකයෙකු වශයෙන් ද ඉමිහිරි හඬින් 'පරිත්‍රාණ ධර්ම දේශනා' පවත්වන තෙර නමක් ලෙස ද අනුරාධපුර දිස්ත්‍රික්කයේ සේම මුළු මහත් දිවයින පුරාම ප්‍රසිද්ධියක් උසුලති. වරද දුටු තැන උස් පහත් භේදයකින් තොරව අභීත සිංහයෙකු ලෙස සෘජුපටිපන්නව කිව යුත්ත මුහුණටම කීමට තරම් ආත්ම ශක්තියක් හා ධෛර්යයක් ඇති උන් වහන්සේ ධනයට බලයට හිස නොනමන මහා සංඝ පීතෘවරයෙකි. තිස් වසරක යුද සමයේ තම දිවි පරදුවට තබා උතුරු නැඟෙනහිර යුද හමුදා කඳවුරුවලට වැඩම කරමින් රණවිරුවන් දිරිමත් කරමින් කරන ලද ආගමික මෙහෙවර ද මිල කළ නොහැකිය.

1984 මාර්තු 05 වැනි දින අනුරාධපුර සාලියපුර මාන්කඩවල පුරාණ රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති පදවියට පත් වූ අප නාහිමිපාණන් වහන්සේ 1986 දී ශ්‍රී පඤ්ඤානන්ද දහම් පාසල ආරම්භ කරන ලදී.

1993 වසරේදී සිය විහාරස්ථානයේ ශ්‍රී සාරද මහා පිරිවෙන ඇරඹූහ. දේවානම් පියතිස්ස රජ සමයේ අරඹන ලද රජ මහා විහාරස්ථානය පර සතුරු ආක්‍රමණ හේතුවෙන් නටඹුන් බවට පත් වී තිබිණි. භික්ෂූන් වහන්සේ නමකට වැඩ වාසය කිරීමට තරම් සංඝාවාසයක් ද නොවීය. උන් වහන්සේ නව සංඝාවාසයක් ද ධර්ම ශාලාවක් ද පිරිවෙන් ගොඩනැඟිලි ද ශිෂ්‍ය නේවාසිකාගාර ද මහජන අවශ්‍යතා සඳහා බහු කාර්ය ගොඩනැඟිල්ලක් ද ඉදි කළ අතර විහාරස්ථානයට ජල විදුලි පහසුකම් ද ලබා ගත්හ. විහාරස්ථ භූමියේ නව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ඉදිකිරීම් කටයුතු ද නව බුද්ධ මන්දිරයේ ඉදිකිරීම් කටයුතුද මේ වන විට සිදු කෙරෙමින් පවතී. වර්තමානය වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි වෙහෙර විහාරස්ථාන අතර ඉතාමත් දර්ශනීය දැකුම්කළු බෞද්ධ පූජනීය ස්ථානය බවට මාන්කඩවල පුරාණ රජමහා විහාරස්ථානය පත් කිරීමට අප නාහිමිපාණන් වහන්සේ සමත් වී සිටිති.

මධ්‍යම නුවරගම් පළාත් භික්ෂු සංවිධානයේ අනුශාසක ධුරය ද දහම් පාසල් ගුරු සංගමයේ අනුශාසක ලෙස ද ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ අනුරාධපුර දිස්ත්‍රික් සභාපති ලෙස ද මධ්‍යම නුවරගම් පළාත් කෘෂිකාර්මික සමුපකාර සමිතියේ සභාපති තනතුරද සර්වෝදය ව්‍යාපාරය ද ව්‍යාප්ත කිරීමේ කටයුතු ඇතුළු ප්‍රදේශයේ ද අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද බොහෝ සමිති සංවිධාන හා සමාජ සංවිධානයන් හි උසස් නිලතල අප නාහිමිපාණන් වහන්සේ උසුලන අතර උන්වහන්සේ සමස්ත ලංකා සාමවිනිසුරු තනතුරෙන්ද පිදුම් ලබා තිබේ.

දැන උගත් භික්ෂූන් වහන්සේලා නිර්මාණය කිරීම උදෙසා ඇරඹූ මාන්කඩවල ශ්‍රී සාරද පිරිවෙන අද ස්වර්ණමය යුගයකට පා තබා ඇත. ගුණ ධර්මයන්ගෙන් යුතු වත්මන් හා අනාගත පරපුරක් ශ්‍රී පඤ්ඤානන්ද දහම් පාසලෙන් රටට දායාද කරමින් සිටිති.

සසුන් කෙත සුවඳවත් කර සම්බුද්ධ ශාසනය බැබළවීම සඳහා මත්තක රතනපාල නාහිමිපාණන් වහන්සේ පුරා පනස් වසරක් සිය පැවිදි ජීවිතය කැප කර හැටහත්වන වියට පා තැබීම නිමිත්තෙන් උන්වහන්සේ විසින් වර්තමාන සමාජයේ බොහෝ කලාතුරකින් අසන්නට දකින්නට ලැබෙන ඉතා විරල ගණයේ පුණ්‍ය කර්මයක් අද (17) දවස පුරා විහාරස්ථානයේදී පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබේ. විහාරස්ථානයේ දායක පවුල් හත්සියයක් සඳහා උදේ සහ දිවා ආහාරය ලබාදීමට ද සෑම දායක නිවසකටම බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් මල් පහන් හා දන් පූජා කිරීමේ උපකරණ කට්ටල ලබාදීමට ද සංවිධාන කර ඇත. එසේම සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීම පිළිඳව මෙදින විශේෂ දේශන දෙකක් ද පැවැත්වේ. භික්ෂූන් වහන්සේලා හැටහත් නමක් උදෙසා සංඝගත දක්ෂිණාවක් ද පිරිනැමේ.

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ප්‍රබුද්ධ භික්ෂු පරපුරක් බිහිකිීමට දායක වන ලෙස උන්වහන්සේ ගිහි පැවිදි පිංවතුන්ගෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිති.

උතුම් සම්බුද්ධ ශාසනයට ශිෂ්‍ය භික්ෂු පරපුරක් දායාද කළ අප නාහිමිපාණන් වහන්සේ තවත් බොහෝ කාලයක් සසුන් විල සුවඳවත් කරමින් පහන් තාරකාවක් වේවා යැයි ද උන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ද ප්‍රාර්ථනා කරමු.

සටහන - සාලියපුර ධම්මානන්ද හිමි

ඡායාරූප - මාකෙහෙල්වල පේමරතන හිමි සහ වර්ණකුලසූරිය

සංජය බණ්ඩාර


නව අදහස දක්වන්න