මාරයාට අවුරුදු! | දිනමිණ

මාරයාට අවුරුදු!

මාරයාට දේශපාලනයෙන් වැඩක් නැත. රාජ්‍ය පාලනයෙන් වැඩක් නැත. රුපියල අවප්‍රමාණය වීම, ආර්ථික වෘද්ධිය , උද්ධමනය, පොලී අනුපාතය යන කිසිවක් ගැන කිසිදු හැඟීමක් මාරයාට නැත. කොටින්ම අවුරුදු චාරිත්‍ර පවා මාරයා ගණන් ගන්නේ නැත. මාරයා තෘප්තියට පත්වන්නේ බිල්ලට ගත හැකි ජීවිතවල ප්‍රමාණයට අනුව ය. මේ අවුරුද්දේත් අවුරුදු ප්‍රීතිය කඩාගෙන පැමිණි මාරයා සැලකිය යුතු පිරිසක බිල්ලට ගත්තේ ය. රිය අනතුරුවලින් පමණක් පසුගිය දින හතර තුළ හතළිස් දෙනෙක් මරු වසඟයට ගියහ. තුවාල ලත් පිරිස ඊටත් වඩා වැඩිය. මාරයාගේ ඉහේ මල් පිපී ඇති බවක් පෙනේ.

‍ඊයේ උදෑසන මහියංගණ ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුර කෙරෙහි කාගේත් අවධානය යොමුවී ඇත. වෑන් රථයක් හා බස් රථයක් මුහුණට මුහුණ ගැටී තිබිණි. වෑන් රථයේ ගමන් කළ මගීන්ගේ ගණන දොළහකි. ඉන් දහදෙනෙක් එතැනම මිය ගියහ. ඉතිරි දෙදෙනාගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මිය ගිය අය අතර කුඩා දරුවෝ තිදෙනෙක් ද සිටිති. පොලිසිය සඳහන් කරන සාධකවලට අනුව වෑන් රියදුරා අතින් වැරැදි කීපයක් සිදු වී ඇත. එහෙත් ප්‍රශ්න කරන්නට කෙනෙකු නැත. රියදුරාත් මිය‍ ගොසින් ය. අලුත් අවුරුදු සමය තුළ ඔවුන්ගේ බලාපොරොත්තු කෙසේ වන්නට ඇත්ද? සියල්ල තප්පර ගණනකින් නිමාවට පත් වී තිබේ.

අවුරුදු උත්සවය පැවැති තෙදින තුළ පමණක් රිය අනතුරුවලින් තිස් දෙනකු මරණයට පත් වී ඇත. ඒ මහියංගණයේ රිය අනතුරෙන් මිය ගිය දස දෙනාට අමතරව ය. පොලිස් මෙහෙයුම් මගින් බීමත් රියදුරන් දහසකට වැඩි ගණනක් අත්අඩංගුවට ගෙන තිබේ. රථවාහන වැරැදි සම්බන්ධයෙන් නඩු තිස්පන්දහසක් පමණ පවරා ඇති බවද වාර්තා වෙයි. ඒ අවුරුදු සමය තුළ පමණි. පොලිසිය සීරුවෙන් සිටියේ ය. බීමත් රියදුරන් ඇල්ලුවේ ය. රථවාහන වැරදිවලට නඩු පැවරුවේ ය. එහෙත් රිය අනතුරු අඩු වී ඇති බවක් පෙනෙන්නට නැත. පොලිසිය සිය මෙහෙයුම් සිදු නොකළේ නම් රිය අනතුරු සංඛ්‍යාව මෙන්ම මරණ සංඛ්‍යාව ද මීට වඩා බොහෝ වැඩි වන්නට ඉඩ තිබිණි.

රිය අනතුරු හැරුණුකොට වෙනත් ගැටුම් නිසා අවුරුදු සමය තුළ දස දෙනෙක් මියගොස් සිටිති. එක්තරා කාන්තාවක මියගොස් තිබුණේ පුරුෂයා බෝතලයකින් ‍හිසට පහරදීම නිසා ය. පොලිස් නිරීක්ෂණවලට අනුව පෙනී යන්නේ අවුරුදු සමයේ අරක්කු බීමට බිරියගෙන් මුදල් ඉල්ලා සිටියද එය නොලැබීම නිසා සැමියා සිය බිරියට පහර දී මරා දමා ඇති බව ය. තවත් ප්‍රදේශ කීපයක ඇති වූ ගැටුම්වලට මූලික හේතුව වී තිබුණේ මත්පැන් ය. අලුත් අවුරුද්දේ මතට තිත තැබිය හැකිනම් ගැටුම් අවම වනු ඇත. කොච්චර බණ දේශනා කළත් නීති රීති දැඩි කළත් බීමත්කම අඩුවී ඇති බවක් පෙනෙන්නට නැත. අවුරුද්දේ සතුට උදුරා දමන ප්‍රධාන සාධකයක් හැටියට මත්පැන් බෝතලය හඳුන්වා දිය හැකිය.

මාරයා අලුත් අවුරුද්දේ සිය ඉලක්කය ජයගෙන ඇත්තේ ප්‍රධාන උපායමාර්ග තුනක් ඔස්සේ බව පෙනෙයි. එක; රිය අනතුරුය. දෙක; බේබදුකමය. තුන; විවිධ ආරවුල් ය. මේ සාධක තුනම පරාජය කිරීමේ හැකියාව ඇත්තේ අපටම ය. සිදු වී ඇති සෑම රිය අනතුරකටම හේතුව නොසැලකිල්ල බව අපගේ පිළිගැනීම ය. අවුරුදු සමයේ එක් මෝටර් රථයක් පාරෙන් ඉවතට පැන බෝක්කුවක් ද කඩාගෙන ඇළකට පෙරළෙන්නේ රියදුරාට නින්ද යාම නිසා ය. නිදිමතේ රිය පදවන්නට අවශ්‍යතාවක් නැත. එක්කෝ විවේකයක් ලබාගෙන රිය පැදවිය යුතුය. නැතහොත් වෙනත් රියදුරකු යොදාගත යුතුය. ඒ කිසිවක් සිදු වී නැත්තේ නොසැලකිල්ල නිසා ය. අපේ මිනිසුන් තමන්ගේම ජීවිත සමග සෙල්ලම් කරන බවක් පෙනෙන්නට තිබේ. අලුත් අවුරුද්ද එළඹෙන්නේ කෑමට හා බීමට යැයි මතයක් සමාජය තුළ පවතී. මෙය ඉතා නරක කල්පනාවකි. කෑම හා බීම මිනිසාගේ අවශ්‍යතා බව සැබෑවකි. එහෙත් එය සිදුවිය යුත්තේ පිළිවෙළකට ය. අවුරුදු සමය නිමා වෙත්ම රෝහල් තුළ පෝලිම් දිග් ගැස්සේ. රුධිර පීඩනය සම්බන්ධයෙන් ලෙඩ ඇති අය එක පෝලිමකට එති. දියවැඩියාව ඇති අය තව පෝලිමකට එති. කොලෙස්ටරෝල් ඇති අය තවත් පොලිමකට එති. මේ පෝලිම් දිග් ගැස්සෙන්නේ අවුරුදු කෑම වැරදි පිළිවෙතකට සිදු කිරීම නිසා ය. මේ හැරෙන්නට ප්‍රීතිය භුක්ති විඳීමට ගොස් තවත් අනතුරු සිදු කරගනිති. අවුරුදු සමය තුළ විවිධ අනතුරු හයසිය ගණනක් සිදු වී ඇති බව වාර්තා වී ඇත.

2018 වර්ෂය ගිනිකෙළි අනතුරු ඉතාම අඩු වර්ෂයක් ලෙස සටහන් ව තිබිණි. කොළඹ මහ රෝහලේ වාර්තාවලට අනුව මේ අලුත් අවුරුදු සමයේ ඉහත වාර්තාව බිඳවැටී ඇත. අවුරුදු සමය ආරම්භ වීමට පෙර සෑම අංශයකම අනතුරු ගැනද, ඒවා වළක්වා ගතහැකි ක්‍රමෝපාය ගැනද උපදේශන සපයනු ලැබේ. ඇතැම් ජනමාධ්‍ය පැය ගණනින් ඉහත උපදේශන සපයා ඇත. එහෙත් උපදේශන ගඟට කැපූ ඉනි වගේ වී ඇත. අපේ සමාජය උපදේශනවලට හොඳින් කන් දෙන මුත් ඒවා පිළිපදින්නේ නැත. ඇතමකු උපදේශන විහිළුවට ලක්කරමින් වැරැද්දම සිදු කරන්නේ වීරත්වයක්ද ආරෝපණය කර ගනිමින් ය.

අලුත් අවුරුද්ද ගැන පසු විපරමක යෙදුණහොත් අනතුරු අඩුවීමක් දකින්නට නැත. මෙහිලා කිවයුතු වැදගත්ම කාරණය අනතුරු වළැක්වීම සඳහා පොලිසිය ගෙනගිය වැඩසටහන් නොවන්නට තවත් බරපතළ විනාශ ගණනාවක් සිදුවන්නට ඉඩ තිබූ බව ය. ශ්‍රී ලංකා පොලිසිය සිය මෙහෙයුම් කටයුතු සිදුකර ඇත්තේ බලවත් කැපවීමක් තුළ ය. ඇතැම් නිලධාරින් අවුරුදු චාරිත්‍ර ඉටුකිරීමට හෝ නිවසට ගොස් නැත. ඒ අනුව පොලිස් දෙපාර්තමේන්තුවට ජාතියේ කෘතඥතාව හිමි විය යුතුය. කුමක් වුව අලුත් අවුරුද්දේ පරමාර්ථය වන්නේ මිනිස් ජීවිතවලට තවත් වටිනාකමක් ලබාදීම ය. එය වටහාගෙන අවුරුදු ප්‍රීතිය භුක්ති විඳින්නේ නම්; මාරයාගේ හිසේ මල් පිපෙන්නේ නැත.


නව අදහස දක්වන්න