ක්‍රිකට් පිටි‍යේ පෙරළිකාරයා | දිනමිණ

ක්‍රිකට් පිටි‍යේ පෙරළිකාරයා

දශක හතරක ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙල ඉතිහාසයේ වෙස්ලි විදුහලෙන් බිහිවූ එකම සම්මානලාභියා ඊයේ පෙරේදා ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාර ධුරයට පත්විය. එළැඹෙන පාකිස්තාන යොවුන් පිලේ ශ්‍රී ලංකා සංචාරය ඉලක්ක කරමින් ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිලේ කළමනාකාරධුරයට පත්වූ මේ අඩි 6කුත්, අඟල් 3ක් උසැති මේ හීන්දෑරි ප්‍රසන්නශීලී ක්‍රීඩකයා මොහොමඩ් ෆර්වේස් මහරූෆ්ය. හෙතෙම ‘මහා‘ සහ ‘ෆරා‘ යන සුරතල් නම්වලින් කාගෙත් ආදරය දිනාගත් විශිෂ්ට වේගපන්දු යවන තුන්ඉරියව් ක්‍රීඩකයකු විය.

වසර 2003 දී ඔබ්සර්වර් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම්ලබා ඊළඟ වසරේදි ජාතික කණ්ඩායමට එක්වී සිම්බාබ්වේ සංචාරයේදී ටෙස්ට් සහ එක්දින තරග වරම් දිනා ගත්තේය. ජාතික යොවුන් ක්‍රිකට් පිලේ කළමනාකාරධුරයට අමතරව කනිෂ්ට ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයකු ද වන ‘මහා‘ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 22කට සහ එක්දින තරග 109කට ක්‍රීඩා කර ඇති අතර ජාත්‍යන්තර විස්සයි20 තරග 8කටත් ක්‍රීඩා කිරීමේ අවස්ථාව දිනා ගත්තේය.

වෙස්ලි විදුහලෙන් බිහිවූ විශිෂ්ටම ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස සැළකෙන ‘මහා‘ 2003දී ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දිනා 2004 වසරේ අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගමාලාවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළේය.

ඔහු එවකට වෙස්ලි විදුහලේ දීප්තිමත් ක්‍රීඩකයකු බවට පත්වී සිටි අතර පාසල් තරගබිමේ දී පිත්තෙන් දස්කම් දක්වමින් ඉනිමක ලකුණු 243ක් රැස් කිරීමට ද සමත්විය. පාසල් වියේදී ඔහුගේ පන්දු යැවීමේ හොඳම දස්කම වූයේ ලකුණු 20කට කඩුලු 8ක් දවාලීමය.

ඔහු වේගපන්දුවෙන් ජාත්‍යන්තර තරගබිමේ දස්කම් පෑව ද එවකට පාසල් වියේදී අවුරුදු 13න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කරමින් සිටියේ කඩුලු රකින්නකු ලෙසිනි. ක්‍රීඩකයන් පස්දෙනකුම අසනීප තත්ත්වයේ පසුවීම නිසා ‘මහා‘ට ද පන්දු යැවීමේ වගකීම දැරීමට සිදුවූ අතර ඔහු තරගය නිමා කළේ කඩුලු 6ක්ම බිඳ දැමීමෙන් පසුවය. ඊට කඩුලු ත්‍රිත්වයක් ද ඇතුළත් විය. ඉන් අනතුරුව ඔහු ක්‍රීඩාවෙන් සමුගන්නාතුරුම ක්‍රීඩා කළේ වේගපන්දු යවන්නකු ලෙසය.

ඉන්දීය ප්‍රිමියර් ලීග්, එංගලන්තයේ ලැන්කෂයර් ප්‍රාන්ත පිල, නේපාලයේ කත්මණ්ඩු කිංග්ස් කණ්ඩායම, බ්ලූම්ෆීල්ඩ්, එන්.සී.සී. සහ වයඹ පළාත් කණ්ඩායම් නියෝජනය කරමින් දස්කම් පෑ ‘මහා‘ගේ ක්‍රීඩා දිවියේ ස්වර්ණමය සටහන වාර්තා වූයේ 2006 වසරේ ඉන්දියාවේ පැවැති අයි.සී.සී.චැම්පියන් කුසලාන තරගාවලියේදීය. එහි මූලික වටයේ දී බටහිර ඉන්දීය කොදෙව් පිල සමග පැවැති තරගයේදී පළමුව පන්දුවට පහරදුන් කොදෙව් පිල ලකුණු 80කට සීමා කරමින් ලකුණු 14කට කඩුලු 6ක් දවාලීමට මහරූෆ් සමත්විය. මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, ලසිත් මාලිංග සහ දිල්හාර ප්‍රනාන්දු සමග පන්දු යැවීමේ අංශයේ වැඩි බරක් දැරූ මේ විශිෂ්ට ක්‍රීඩකයා 2016 ජූලි මාසයේ එංගලන්ත සංචාරයෙන් පසුව ජාතික කණ්ඩායමට එක් නොවීය.

ටෙස්ට් තරග 22කදී ලකුණු 556ක් සහ කඩුලු 25ක් ද, එක්දින පිටියේ ලකුණු 1113ක් සහ කඩුලු 135ක් ද දවාලමින් සිය ජාත්‍යන්තර ක්‍රිකට් තරග දිවිය දීප්තිමත් කළ 34 හැවිරිදි මහරූෆ් ජාතික යොවුන් පිලේ කළමනාකාර ධුරයට පත්වෙමින් ක්‍රීඩාවේ අලුත්ම භූමිකාවකට පණ පොවමින් සිටී.

ෆවුස් මොහොමඩ්


නව අදහස දක්වන්න