27 වැනි ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් 21දා දියතලාවේ දී | දිනමිණ

27 වැනි ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් 21දා දියතලාවේ දී

තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහක හච් ශ්‍රී ලංකා ටෙලිකොමිනිකේෂන් පුද්ගලික ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර නඩරාසා මහතා ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එස්.කේ.ඊග්වරන් මහතා වෙත අනුග්‍රාහකත්වය පිරි නැමූ අයුරු.

ගීෂා මුණසිංහ

ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය වාර්ෂික සංවිධාන කරන වසරේ විශිෂ්ටතම මෝටර් රථ හා යතුරුපැදි තරගාවලිය ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් තරගාවලිය මේ මස 21 වැනි දා දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ ෆොක්ස්හිල් ධාවන පථයේදී පැවැත් වෙයි.

1993 වසරේ ඔක්තෝබර් මස 3 වැනිදා ප්‍රථම වරට ආරම්භ කළ ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් ධාවන තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 27 වැනි වරටය. ශ්‍රී ලංකා ඔටොමොර්බයිල් ස්පෝර්ට්ස් (Sri Lanka Automobile Sports -SLAS) , ශ්‍රී ලංකා යතුරුපැදි සම්මේලනයේ (Federation of Motor Cycle Sports in Sri lanka ) හා යුද හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටුවේ පූර්ණ අධීක්ෂණය යටතේ තරගාවලිය සංවිධාන කෙරේ.

මෙවර ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් තරගාවලියට මෝටර් රථ හා යතුරුපැදි තරග කරුවන් 300ට අධික පිරිසක් අයැදුම්පත් යොමුකර ඇති බවත් මෝටර් රථ තරග 14කින් හා යතුරුපැදි තරග 13කින් මේ තරගාවලිය සමන්විත බවත් තරගාවලියේ සංවිධායක මණ්ඩලය වෙනුවෙන් ශ්‍රී ලංකා ඔටොමොබයිල් ස්පෝර්ට්ස් (Sri Lanka Automobile Sports -SLAS) ලේකම් රිස්වී ෆාරුක් මහතා පසුගියදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.

එස්.එල්./ජී.ටී. 3500සී.සී. තරග ඉසව්ව වෙනුවෙන් තරගකරුවන් 20කට වැඩි පිරිසක් සහාභාගි වන නිසා එම ඉසව්ව තෝරාගැනීමේ ඉසව් දෙකකින් පැවැත්වෙන අතර අවසානයේදී එක් තරගයකින් තරග කරුවන් 5දෙනා බැගින් තරග කරුවන් 10 දෙනෙකුගෙන් සමන්විතව දිනයේ වේගවත්ම මෝටර් රථ ධාවකයා සොයා යාමේ තරගය පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එස්.කේ. ඊශ්වරන් මහතා මාධ්‍ය හමුව අමතා පවසා සිටියේ ආසියානු කලාපයේ පවතින විදේශ යුද විද්‍යාපීඨයන් හා තරගකාරීව නැගී සිටීම සඳහා මෙම විද්‍යාපීඨයේ යුද පුහුණුව වෙනුවෙන් අවශ්‍ය පුහුණු පහසුකම් සහ යටතල පහසුකම නංවාලීම සඳහා අවැසි මූල්‍ය ප්‍රග්ධනය උපයා ගැනීමේ පියවරක් ලෙස තරගාවලිය සංවිධානය කරන බවය.

වසර 27ක් පවත්වා ඇති මෙම තරගාවලියෙන් විශාල දායක්වයක් ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ යටිතල පහසුකම් ගොඩනගා ඇති අතර ඉදිරි වැඩකටයුතු සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය සමග අත්වැල් බැඳගත් සියලුම අනුග්‍රාහකයන්ට ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය වෙනුවෙන් තම කෘතඥතාව පිරිනමන බව ඒ මහතා පවසා සිටියේය.

පසුගිය වසරේ පැවැති 26 වැනි ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් තරගාවලියෙදී දක්ෂතම රියදුරා ලෙස ධාවන ශූර අශාන් සිල්වා ජය ලැබූ අතර දක්ෂතම යතුරුපැදි ධාවකයා ලෙස ධාවන ශූර ඉෂාන් දසනායක ජය ලැබුවේය.

මෙවර තරගාවලියේ ප්‍රධාන අනුග්‍රහකයා ලෙස හච් ශ්‍රී ලංකා ටෙලිකොමිනිකේෂන් ආයතනය කටයුතු කරන අතර මැක්සීස් ටයර් සහ එක්සයිඩ් බැටරී ගෙන්වා බෙදාහරින බ්‍රවුන්ස් හා සමාගම සම අනුග්‍රහකයන් ලෙස කටයුතු කරයි.

ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය (SLARDAR) හා ආසියානු මෝටර් රථ ධාවකයන්ගේ ක්‍රීඩා සමාජය (AMRC) එක්ව සංවිධාන කරන ශ්‍රී ලංකා සුපර් සීරීස් තරගමාලාවේ ආරම්භක තරගාවලිය ලෙසද ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් තරගාවලිය සැළකේ.


නව අදහස දක්වන්න