ක්‍රීඩා පනත හා රෙගුලාසි දඩමීමා කර මුල් පුටු රත්කරන නිලධාරීන්ට චෝදනා | දිනමිණ

ක්‍රීඩා පනත හා රෙගුලාසි දඩමීමා කර මුල් පුටු රත්කරන නිලධාරීන්ට චෝදනා

ප්‍රින්ස් ගුණසේකර

ජාතික ක්‍රීඩා සංගම් නියාමනය කෙරෙන ක්‍රීඩා පනත හා ක්‍රීඩා රෙගුලාසි අනුව මේ වසරේ නිලවරණ බොහොමයක් පැවැත්විය යුතු වුවද එම සංගම් ක්‍රීඩා රෙගුලාසි දඩමීමා කරගෙන නීත්‍යානුකූල නොවන පරිදි තනතුරුවල සිටින බවට ක්‍රීඩා විචාරකයන්ගෙන් ප්‍රබල චෝදනාවක් එල්ල වෙයි. වසර 2016දී සංශෝධිත ක්‍රීඩා රෙගුලාසිවල දැක්වෙන ‘වසර හතරක් නොඉක්මවන කාල සීමාවක් සඳහා ධූරය දැරිය යුතු බවට‘ ඇති වගන්තිය ප්‍රයෝජනයට ගෙන නියමිත කාලයේ නිලවරණ නොපවත්වා හොර රහසේ වසර 4ක්ම තනතුරුවල දිගින් දිගටම කටයුතු කිරීම නීති විරෝධී බව ක්‍රීඩා විචාරකයන්ගේ මතයවී තිබේ.

නිසි පරිදි නිලවරණ නොපවත්වා ව්‍යවස්ථා විරෝධීව වැඩිපුර කාලයක් ඒ ආකාරයෙන් සංගමයක නිලධාරියෙකු තනතුරේ රැඳී සිටීම හෝ එම කාලය තුල ඔහු හෝ ඇය කරනු ලබන මුදල් ගෙවීම් හා සිදුකරනු ලබන වියදම් ඔවුන්ගෙන් අයකර ගත හැකි බවද විචාරක මතයවී ඇත.

වසර හතරින් හතරට නිලවරණය පැවැත්වෙන බවට සඳහන් වන වගන්තිය ඇතුලත් කොට ජාතික ක්‍රීඩා සංගමයක් ව්‍යවස්ථා නීත්‍යානුකූලව සංශෝධනය කරගෙන නොමැතිනම් එවැනි සංගමයක නිලධාරීන්ට වසර 4ක් තනතුරු දැරීමට කිසිදු හැකියාවක් නොමැති බව ක්‍රීඩා විචාරකයෝ අවධානය කර සිටිති. එලෙස තනතුරුවල සිටින නිලධාරීන්ගේ ධූර කාලය අභියෝගයට ලක්කොට නිලවරණ ඉල්ලා සිටීමේ අයිතිය සාමාජික සංගම්වලට ඇතැයි ද විචාරකයෝ පෙන්වා දෙති.

සෑම ක්‍රීඩා සංගම් ව්‍යවස්ථාවකම පැහැදිලි ලෙස නිලවරණ පැවැත්විය යුතු කාලසීමාව ඇතුළත්වන හෙයින් ඒ අනුව නිලවරණ පවත්වා තනතුරුවලට අදාල පුද්ගලයන් පත්කර ගැනීම සිදුකළ යුතුවේ. සංශෝධිත ක්‍රීඩා රෙගුලාසිවල දැක්වෙන වසර හතරක් නොඉක්මවන කාල සීමාවක් සදහා ධූරය දැරිය යුතුය යන්න ක්‍රීඩා සංගම්වල නිලධාරීන්ට අඛණ්ඩව සිටිය හැකි කාලය නොව එම ධූර කාලයේ උපරිම සීමාව දැක්වීම පමණක් බව ක්‍රීඩා අමාත්‍යාංශයේ නීති උපදේශක පණ්ඩුක කීර්තිනන්ද මහතා අපකළ විමසීමකදී පැවැසීය.

“ සෑම සංගමයක්ම තමන්ගේ ක්‍රීඩා සංගමයට අදාල ව්‍යවස්ථාව සකසා ක්‍රීඩා අමාත්‍යාංශයට යොමු කොට අනුමැතිය ගෙන විශේෂ මහා සභා රැස්වීමකින් අනුමත කරගත යුතුයි. ඒ ව්‍යවස්ථාවේ තියෙන්න ඕනේ අදාල ක්‍රීඩා සංගමයේ තනතුරුවල ධූර කාලය පිළිබඳ නිශ්චිත සටහනක්. නිලවරණය පැවැත්වෙන කාල සීමාව තීරණය වන්නේ ක්‍රීඩා සංගමයේ ව්‍යවස්ථාව අනුවයි. ඒ අනුව තමයි ඡන්දය තියන්න ඕනේ. ක්‍රීඩා රෙගුලාසිවල දැක්වෙන්නේ පුද්ගලයෙක්ට සිටිය හැකි උපරිම ධූර කාලය ගැන පමණයි. ඒකෙන් කියවෙන්නේ නෑ හැමෝටම අවුරුදු 4ක් එක දිගට ඉන්න පුලුවන් කියලා. කාලය තීරණය කිරීමේ බලය අදාල සංගමයේ සාමාජිකයන්ගේ අනුමැතියෙන් ව්‍යවස්ථාව අනුව තීරණය විය යුතුයි“ කීර්තිනන්ද මහතා සඳහන් කළේය.

එලෙස ව්‍යවස්ථා සංශෝධනයක් නොමැතිව තනතුරුවල සිටින නිලධාරීන් පිළිබඳ ගන්නා ක්‍රියා මාර්ගය කුමක්දැයි කළ විමසීමකදී පැවසූවේ “ඒක ගැටලු සහතිකයි. ක්‍රීඩා පනත ආවේ 1973දී. ඊට පස්සේ පනතට සංශෝධන තුනක් ආවා. ක්‍රීඩා රෙගුලාසි1974දී පනවා පනතේ 31වැනි 41වැනි වගන්තිය යටතේ ක්‍රියාත්මක වෙනවා. කාලෙන් කාලෙට මේවා වෙනස් විය යුතුයි. එහෙම නොවෙනවා නම් ඒක ප්‍රශ්නයක්. මොකද රෙගුලාසි කාලෙන් කාලෙට වෙනස්වී ඉදිරියට යායුතුයි. එහෙම වෙද්දී ක්‍රීඩා සංගම්වල ව්‍යවස්ථා ක්‍රීඩා රෙගුලාසි අනුව සංශෝධනය විය යුතුයි. ඇතැම් සංගම් සංශෝධනය කරගෙන නෑ. එහෙම වුණාම නීත්‍යානුකූලභාවය ගිලිහෙනවා. හැබැයි නූලට තර්තානුකූලව කටයුතු කරන්න ගියොත් සංගම් සියයට පනහක් පමණ වහන්න වෙනවා. එතකොට ක්‍රීඩාව අකර්මණ්‍ය වෙනවා. ඒ නිසා නීතිය ඉදිරියට දමා වැඩ කිරීම ප්‍රායෝගිකව අපහසුයි. නමුත් යම්කිසි සංගමයකට විරුද්ධව චෝදනාවක් එල්ල වුණොත්, ව්‍යවස්ථා සංශෝධනයක් කර නැත්නම් ඒ පාර්ශවයට ප්‍රශ්නයක් වෙනවා“

“ක්‍රීඩා සංගම් ජාත්‍යන්තරයේ හා රටේ ක්‍රීඩා නීතියට ගරු කරමින් ස්වාධිනව කටයුතු කළ යුතුයි. ඔවුන් කරන්නේ ගෞරවනීය සේවයක්. ඒ නිසා ඔවුන් නීතියට අනුව කටයුතු කිරීම වැදගත්. එහෙම නොවුනාම තමයි විවිධ පාර්ශව නඩු දමන්නේ. කොයිතරම් රෙගුලාසි තිබුණත් වැඩක් නෑ. සංගමයේ නිලධාරීන් නීත්‍යානුකූලව පත්වුණේ නැතිනම්“ කීර්තිනන්ද මහතා පැවැසීය.

ජාතික ක්‍රීඩා සංගම්වල මෙවැනි ගැටලු නිතර යොමු වන්නේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්. බී. වික්‍රමසිංහ මහතා වෙතය. එබැවින් මේ පිළිබඳ ඒ මහතාගෙන් කළ විමසීමකදී පැවැසූවේ අවුරුදු හතරේ නීතියක් කොතැනක හෝ නොමැති බවත් එය උපරිම කාලය දැක්වීම පමණක් බවය. මෙය ඇතැම් අය වැරදි ලෙස නිර්වචනය කොට ඇතැයි ඒ මහතා පැවැසීය.

“ ක්‍රීඩා සංගම්වලට පුලුවන් ඔවුන්ගේ ව්‍යවස්ථාව අනුව නිල කාලය එක අවුරුද්දක්, දෙකක් හෝ ඕනෑනම් හතරක් දාගන්නත් පුලුවන්. නිල කාලය අවුරුදු හතරක් කියලා ව්‍යවස්ථාව වෙනස් කරගත් අයත් ඉන්නවා. ඇතැම් අය කරගෙන නෑ. මලල ක්‍රීඩා සංගමය ධූර කාලය අවුරුදු හතරයි කියලා ව්‍යවස්ථාව සංශෝධනය කරගත්තා. ක්‍රිකට් සංගමය අවුරුදු දෙකක් කියා සංශෝධනය කරගත්තා ඒ නිසා නියමිත වේලාවට නිලවරණය පැවැත්වූවා. නෙට්බෝල් ව්‍යවස්ථාවේ තියෙන්නේ වසරින් වසර ඡන්දය තියන්න කියලා. නෙට්බෝල් නිල කාලය ගැන ප්‍රශ්නයක් ආවා. ඒ ගැන සොයා බැලුවා. නිලවරණය පවත්වන්න දැන් කටයුතු කරනවා“

“ක්‍රීඩා සංගම්වල ධූර කාලය පිළිබද කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම්, ඒ ප්‍රශ්නය ක්‍රීඩා අමාත්‍යාංශයට ලිඛිතව යොමු කළොත් සොයා බලනවා. එහෙම නැතිව එකින් එක අප සොයන්නේ නෑ“ වික්‍රමසිංහ මහතා පැවැසීය.

මේ අතර පාපන්දු සම්මේලනයේ ධූර කාලය පිළිබඳ විමසා සාමාජික සංගම් කිහිපයක් ක්‍රීඩා අමාත්‍යාංශයට ලිපියක් යොමු කිරීමට සූදානම්වන බවද වාර්තා වේ. වසර 2017දී පාපන්දු ව්‍යවස්ථාවට ක්‍රීඩා රෙගුලාසි නීත්‍යානුකූලව අදාළ කරගත්තද පාපන්දු ව්‍යවස්ථාවේ ධූර කාලය සංශෝධනය නොවීම හේතුවෙන් නිලවරණය පැවැත්වීමේ කාලය එළැඹ ඇති බව එම පිරිස ක්‍රීඩා අමාත්‍යාංශයට පෙන්වා දේ. පාපන්දු ව්‍යවස්ථාව අනුව වසරින් වසර නිලවරනය පැවැත්විය යුතු වුවද, 2013 ක්‍රීඩා රෙගුලාසි සංශෝධනය අනුව 2013 සිට 2015 දක්වා වසර දෙකක් සභාපති ලෙස රංජිත් රුද්‍රිගූ මහතා, 2015 සිට 2017 දක්වා වසර දෙකක් සභාපති ලෙස අනුර ද සිල්වා මහතා කටයුතු කළහ.

2016 ක්‍රීඩා රෙගුලාසි සංශෝධනය අනුව පාපන්දු සම්මේලනයේ නිල කාලය ව්‍යවස්ථා සංශෝධනයකින් තීරණය විය යුතු වුවද එවැන්නක් සිදුවී නොමැති බව සාමාජික සංගම්වල මතය වී තිබේ. එහෙයින් 2017 ජූලි මස 1දා පත්වූ වසර දෙකකට පමණක් වලංගු වත්මන් නිල මඩුල්ලේ ධූර කාලය ඉබේම අහෝසිවන බැවින් මේ වසරේ මැයි 31වැනිදාට පෙර නිලවරණය කැඳවිය යුතු බව සාමාජික සංගම් කිහිපයක් මත පළ කරති. මේ පිළිබඳ ක්‍රීඩා අමාත්‍යාංශයට දන්වා පසුව අධිකරණයේ පිහිට පැතීමට වුවද සූදානමින් සිටින බව එම සාමාජික සංගම් ප්‍රධානීහූ සඳහන්කර සිටිති.


නව අදහස දක්වන්න