පළමු වටයේදී ශ්‍රී ලංකාවට මැකෝවා පිල හමුවෙයි | දිනමිණ

පළමු වටයේදී ශ්‍රී ලංකාවට මැකෝවා පිල හමුවෙයි

ප්‍රින්ස් ගුණසේකර

දෝහා කටාර්හී වසර 2022දී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ ආසියානු පාපන්දු සම්මේලන පළමු වටයේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට මැකෝවා පාපන්දු කණ්ඩායම මුණ ගැසෙයි. ඊයේ මැලේසියාවේ ක්වාලාලාම්පූර් හිදී පැවැති කුසපත් ඇදීමේදී ශ්‍රී ලංකාව හා මැකෝවා අතර පළමු තරගය ජූනි මස 6දා මැකෝවාහීදී පැවැත්වීමටත්, දෙරට අතර දෙවැනි අදියරේ තරගය ජූනි 11වැනිදා කොළඹදී පැවැත්වීමටත් තීරණය විය. මෙම කුසපත් ඇදීම ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලේකම් යූ. එල්. ජස්වර් මහතා ඉදිරියේ සිදුවිය.

ශ්‍රී ලංකාව හා මැකෝවා අවසන්වරට හමුවූයේ වසර 2016දී වන අතර එහිදී ගෝල් 1-1ක් ලෙස තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය. ආසියානු සහයෝගීතා පාපන්දු තරගාවලියේ එම තරගය මැලේසියාවේ ක්වීන් සරවක් ක්‍රීඩාංගණයේදී පැවැති අතර මිනිත්තු 84ක්ම ශ්‍රී ලංකාව ගෝල් 1-0ක් ලෙස ඉදිරියෙන් සිටියේය. එම තරගාවලියට පෙර ඉන්දියාවේ ගෝවා හී ලුසෆෝනියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව හා මැකෝවා අතර තරගයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය.

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාව 202වැනි ස්ථානයේ සිටින අතර මැකෝවා පිල 183වැනි ස්ථානයේ සිටී. ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ ආසියානු පාපන්දු සම්මේලනයේ පළමු වටයේ තරගාවලියේදී මොන්ගෝලියාවට බෘනායී රාජ්‍ය, ලාඕසයට බංග්ලාදේශය, මැලේසියාවට තිමෝරය, පාකිස්තානයට කාම්බෝජය හා භූතානයට ගුවාම් රාජ්‍ය හමුවේ. එහි පළමු තරගය ජූනි මස 6දා හා දෙවැනි අදියරේ තරගය ජූනි 11වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 


නව අදහස දක්වන්න