ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කරයි - UPDATE | දිනමිණ

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කරයි - UPDATE

2019 අයි සී සී ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගි වන ක්‍රීඩකයින් 15දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර ඇත.
 
එම කණ්ඩායම මෙසේය.
 
දිමුත් කරුණාරත්න (නායක)
අවිශ්ක ප්‍රනාන්දු
ළහිරු තිරිමාන්න
කුසල් පෙරේරා
කුසල් මෙන්ඩිස්
ඇන්ජලෝ මැතිව්ස්
ධනංජය ද සිල්වා
ජෙෆ්රි වැන්ඩසේ
තිසර පෙරේරා
ඉසුරු උදාන
ලසිත් මාලිංග
සුරංග ලක්මාල්
නුවන් ප්‍රදීප්
ජීවන් මෙන්ඩිස්
මිලින්ද සිරිවර්ධන
 
ඇන්ජලෝ පෙරේරා, කසුන් රාජිත, වනිදු හසරංග, භානුක රාජපක්‍ෂ අමතර ක්‍රීඩකයන් ලෙස සංචිතයට නම් කර තිබේ.

ලෝක කුසලාන තරගාවලියට යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කරයි

නව නායකත්වයක්, නව කළමනාකරුවෙක් හා නව මුහුණුවරක් දුන් පුහුණුකරුවෙකු සමග ලබන මැයි මාසයේ එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නිවේදනය කරයි. වසර 4කට පසු එක්දින කණ්ඩායමට එක්කරගත් දිමුත් කරුණාරත්නට නිල වශයෙන්ම නායකත්වය පිරිනමා ඇති අතර කළමනාකරු ලෙස තේරීම් කමිටු සභාපති අසන්තා ද මෙල් මහතා හා මෙතෙක් තිබූ තේරීම් කමිටු බලතල වලින් සම්පූර්ණයෙන්ම ඉවත් කළ චන්දික හතුරුසිංහ මහතා පුහුණුකරු ලෙස කටයුතු කරති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නිවේදනය කෙරුණි.

වසර 4කට පසු නැවැත එක්දින පිටියට කැඳවූ ජීවන් මෙන්ඩිස්, වසර 2කට පසුව යළි අවස්ථාව හිමිවූ ළහිරු තිරිමාන්න, ජෙෆ්රි වැන්ඩසේ හා මිලින්ද සිරිවර්ධන ශ්‍රී ලංකා එක්දින සංචිතයට නම්කොට ඇති අතර පසුගිය සංචාර කිහිපයකදී එක්දින නායකයන් ලෙස කටයුතු කළ දිනේෂ් චන්දිමාල්, උපුල් තරංග හා දකුණු අප්‍රිකාව සමග අවසන් එක්දින තරගාවලියේදී උප නායකයා ලෙස කටයුතු කළ නිරෝෂන් දික්වැල්ලට ද අවස්ථාව අහිමිව ගොස් ඇත. එමෙන්ම ධනුෂ්ක ගුණතිලක, අකිල ධනංජය වැනි ක්‍රීඩකයන්ද ඉවතට විසිවී ගොස් සිටිති.

නිමාවූ දකුණු අප්‍රිකානු සංචාරයේදී පැහැදිලි ක්‍රිකට් අනාගතයක් ඇති බවට තහවුරු කළ 21 හැවිරිදි අවිශ්ක ප්‍රනාන්දු නිත්‍ය ආරම්භක පිතිකරු ලෙස නම්කොට ඇති අතර ආබාධ තත්ත්වයෙන් සුවකරගත් වේග පන්දු යවන නුවන් ප්‍රදීප්ට ද අවස්ථාව හිමිව ඇත. මෙවර ලෝක කුසලාන සංචිතයට ක්‍රීඩකයන් නම් කිරීමේදී නිමාවූ පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දස්කම් බොහෝ විට සැලකිල්ලට ගෙන ඇති බව පෙනී යයි.

ළහිරු තිරිමාන්න එම තරගාවලියේදී ශතකයක් හා ලකුණු 82ක් වාර්තා කිරීමත්, ජීවන් මෙන්ඩිස් කඩුලු 6ක් හා නොදැවී ලකුණු 50ක් ලබා ගැනීමත් කලකට පසුව එක්දින පිටියට පැමිණීමට හේතුවූ ප්‍රධාන සාධක වේ. පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේදී ජෙෆ්රී වැන්ඩසේ දඟ පන්දු යවන්නකු ලෙස කඩුලු 5ක් බිඳ ගැනීමෙන් ලෝක කුසලාන සංචිතයට පැමිණීමේ දොරටු විවරකර ගත්තේය.

“දිනේෂ් චන්දිමාල්ට මේ සංචිතයේ අවස්ථාවක් හිමි වන්නේ නැත්තේ ඔහු පළමු ක්‍රීඩකයන් හය ඇතුළට ආවොත් පන්දු යැවීමේ හැකියාව තියෙන ක්‍රීඩකයකු අපට අහිමි වෙනවා. චන්දිමාල් කඩුලු රකින්නකු ලෙස ගන්නත් බෑ. එහෙම වුනොත් කඩුලු රැකීමට සිටින කුසල් ජනිත් අයින් කරන්න වෙනවා. කුසල් කඩුලු රකිද්දී ආබාධවලට ලක්වීම අඩුයි. ධනංජය හා අකිල සංසන්දනයේදී ධනංජය ඉදිරියෙන් සිටිනවා. ධනංජය පන්දු 26කදී කඩුල්ලක් දවාගත්තත් අකිල පන්දු 50කදී කඩුල්ලක් දවාගෙන ඇත්තේ. අකිලගේ පන්දු යැවීමේ ඉරියව් වෙනස් කරගත් නිසා තවම සුපුරුදු දක්ෂතා අතර නෑ. අංක 6 හා 7 ස්ථානවල ක්‍රීඩකයින් දෙදෙනා ලකුණු 60ක් 70ක් ගත හැකි පන්දු යැවීමේ හැකියාව ඇති ක්‍රීඩකයන් විය යුතු නිසා ධනංජය හා මිලින්ද කණ්ඩායමට එක් කළා. ලෝක කුසලාන වැනි දැවැන්ත තරගාවලියකට අත්දැකීම් හා දක්ෂතා යන දෙපැත්තම අපට බලන්න වුණා“ තේරීම් කමිටු සභාපති අසන්තා ද මෙල් මහතා පැවැසීය.

දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් නායකත්වය හිමි වූයේ බලාපොරොත්තු නොවූ ලෙස සේම ලෝක කුසලාන එක්දින නායකත්වය ද අනපේක්ෂිතව හිමිවූ බව නායක දිමුත් කරුණාරත්න පැවැසීය. “කණ්ඩායමේ සියලු දෙනා සමග සහයෝගයෙන් වැඩ කිරීම මගේ අරමුණයි. පුහුණුකරු සමග හොඳ සැලසුමක් හදනවා. මොකද ඔහු තමයි ක්‍රීඩකයන් ගැන වෙන වෙනම දන්නේ. මා වසර 4කට පසුව ජාත්‍යන්තර එක්දින පිටියට පිවිසියත්, දේශීය එක්දින තරගවලදී හොඳින් ක්‍රීඩා කළා. අපට අවශ්‍ය වන්නේ හොඳ ආරම්භයක්. එහෙම වුණොත් ප්‍රතිවාදීන්ට හොඳ සටනක් දෙන්න පුලුවන්. අපගේ ක්‍රීඩකයන්ට ඒකට අවශ්‍ය දක්ෂතාව තියෙනවා“ නව එක්දින ක්‍රිකට් නායකයා පැවැසීය.

ප්‍රින්ස් ගුණසේකර


නව අදහස දක්වන්න