රට හදන්න සියලුදෙනා එකට සිටිය යුතුයි | දිනමිණ

රට හදන්න සියලුදෙනා එකට සිටිය යුතුයි

රක්ෂණ ශ්‍රියන්ත මඩකලපුව සිට

උතුරු නැඟෙනහිර සංවර්ධනය සඳහා ස්ථාපනය කරන ලද විශේෂ ජනාධිපති කාර්යසාධන බළකායේ මෙහෙයවීමෙන් මේ වන විට එම පළාත්වල සංවර්ධනය වඩා ශක්තිමත් සහ කාර්යක්ෂමව ඉදිරියට ක්‍රියාත්මක වීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය සතුට පළ කළේය.

නීති විරෝධී මත්ද්‍රව්‍ය වැඩි වශයෙන් රටට පැමිණෙන්නේ නැඟෙනහිර පළාතෙන් බව මේ වන විට හඳුනාගෙන තිබෙන අතර වැටලීම් ශක්තිමත් කිරීම සේම එම තත්ත්වය වළක්වාලීමට ප්‍රදේශයේ ජනතාවගේ සහාය ද රජය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා කියා සිටියේය. ජනාධිපතිවරයා මේ බව පැවසූවේ පසුගියදා (12) මඩකලපුවේ වෙබර් ක්‍රීඩාංගණයේ පැවැති රට වෙනුවෙන් එකට සිටිමු, ජාතික සංවර්ධන වැඩසටහනේ සමාප්ති උත්සවය අමතමිනි.

එහි පැවැති වෙළෙඳ කුටිද ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

ජනාධිපතිවරයාගේ උපදෙස් හා මඟපෙන්වීම පරිදි ජනාධිපති කාර්යාලය මෙහෙයවන ජාතික සංවර්ධන ව්‍යාපෘති සහ විවිධ අමාත්‍යාංශ විසින් ක්‍රියාත්මක කර තිබෙන ජාතික සංවර්ධන වැඩසටහන් හා සමාජ සුබසාධන වැඩසටහන් කාර්යක්ෂමව හා ඵලදායීව ක්‍රියාත්මක කරමින් ග්‍රාමීය මට්ටමේ සිට දිස්ත්‍රික් මට්ටම දක්වා ජනතාවට උපරිම මහජන සේවාවන් හා ප්‍රතිලාභ අත්කරදීම, රට වෙනුවෙන් එකට සිටිමු, වැඩසටහනේ අරමුණයි. රාජ්‍ය ආයතනවලින් විසඳාගත යුතු මහජන ගැටලු හඳුනාගෙන රාජ්‍ය යාන්ත්‍රණය ඔස්සේ උපරිම කාර්යක්ෂමතාවෙන් එම ගැටලු විසඳීමට කටයුතු කිරීම ද මෙම වැඩසටහන මඟින් සිදු කෙරේ.

රට වෙනුවෙන් එකට සිටිමු, ජාතික සංවර්ධන වැඩසටහනේ දෙවන අදියර පසුගිය අප්‍රේල් 8 වැනිදා මඩකළපුව දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් ආරම්භ කෙරුණු අතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14ම ආවරණය කරමින් විවිධ වැඩසටහන් ඒ යටතේ ක්‍රියාත්මක කෙරිණි. එම වැඩසටහන් සඳහා විශාල මහජන සහභාගිත්වයක් දක්නට ලැබීම ද විශේෂත්වයකි.

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සමාප්ති උත්සවයේ දී ද වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරුණු අතර දිස්ත්‍රික්කයේ ජනතාවට පොල් පැළ පන්දහසක් සහ කජු පැළ පන්දහසක් බෙදාදීම, තෝරාගත් පවුල් සඳහා ස්වයං රැකියා ණය ප්‍රදානය, රණවිරුවන් සඳහා නිවාස ආධාර ප්‍රදානය, තිරසර පාසල් සංවර්ධන වැඩසටහන යටතේ පාසල් උපකරණ ප්‍රදානය, ගොවි විශ්‍රාම වැටුප් ප්‍රදානය, ආගමික ස්ථාන සඳහා මුල්‍යාධාර ප්‍රදානය, රෝහල් සංවර්ධනය සඳහා උපකරණ ප්‍රදානය, පානීය ජල පහසුකම් සහ සනීපාරක්ෂක පහසුකම් සම්පාදනය සහ දරුවන් සුරකිමු ජාතික වැඩසටහන යටතේ පරිවාස භාරයේ සිටි දරුවන් දෙදෙනකු සිය පවුල් වෙත භාරකිරීම ඇතුළු වැඩසටහන් ක්‍රියාත්මක කෙරිණි.

මඩකලපුව දිස්ත්‍රික් ලේකම් එම්. උදය කුමාර් මහතා විසින් මඩකලපුව ප්‍රගති සමාලෝචන වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරත් අදහස් දක්වමින්...

ඔබ දන්නවා මම මේ රටේ හයවැනි විධායක ජනාධිපතිවරයා. පළමුවැනි විධායක ජනාධිපතිතුමා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා. විධායක ජනාධිපතිවරු හය දෙනෙක් මේ රටේ ජනතාව පත් කළා. ඒ හය දෙනාගෙන් මඩකලපුවට වැඩියෙන්ම පැමිණි ජනාධිපති මම තමයි. සාමාන්‍යයෙන් අවුරුද්දකට තුන් සැරයක්වත් එනවා මඩකළපුවට. අද අපි පටන් අරගෙන කරගෙන යන මේ වැඩසටහන රට වෙනුවෙන් එකට සිටිමු කියන වැඩසටහනයි. මේ රට වෙනුවෙන් එකට සිටිමු කියන තේමාවක්, පාඨයක් තෝරා ගත්තේ ඇයි? රට ගොඩනඟන්න සියලුදෙනා එකට නැති හින්දා. රට හදන්න නම් සියලුදෙනා එකට ඉන්න ඕන. දේශපාලන පක්ෂ බේද අමතක කරන්න ඕන. භාෂා ආගම් බේද අමතක කරන්න ඕන. අනිත් විවිධ බෙදීම් නැති කරන්න ඕන. ඒ නිසයි මේ රටට එකට සිටිමු කියන තේමාව, පාඨය තෝරා ගත්තේ.

මේ වැඩසටහන අපි මුලින්ම පටන් ගත්තේ පුත්තලමින්. මේ වගේම විශාල වැඩකොටසක් පුත්තලමේ අපි කරා, කරගෙන යනවා. මේ වැඩසටහන තුළින් මඩකළපුව දිස්ත්‍රික්කයට කළ වැඩ මොනවද කියා දිසාපතිතුමා ප්‍රකාශ කළා. මෙතන ප්‍රසන්ටේෂන් ඉදිරිපත් කිරීමක් තිබුණා. එයින් ඔබට පැහැදිලි වුණා. ඒ වගේම ආණ්ඩුකාර හිස්බුල්ලා මැතිතුමාත් ඒ ගැන පැහැදිලි කළා.

මම මෙහිදී විශේෂ යමක් පැහැදිලි කරන්න ඕන. මම මේ වැඩවලදී තෝරාගෙන තිබෙන දිස්ත්‍රික්කවල විශේෂත්වයක් තිබෙනවා. මේ වැඩසටහනට මම මුලින්ම පුත්තලම තෝරා ගත්තේ ඇයි? මේ වැඩසටහනට මම දෙවනුව මඩකලපුව තෝරා ගත්තේ ඇයි? ඒ වගේම අල්ලපු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට විශේෂ වැඩසටහනක් තිබෙනවා. එය ඒ දිස්ත්‍රික්කයටම වෙන් කරපු එකක්. මේ දිස්ත්‍රික්කවල සංවර්ධනයේ ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ප්‍රශ්නය තමයි මේ දිස්ත්‍රික්කවලට වැඩ කරන්න ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරු නැහැ. ඒ නිසා වැඩවල ප්‍රමාදයන් ඇතිවී තිබෙනවා. වෙන් කරන සල්ලි ආපහු යනවා. මේ වැඩසටහන්වලදී ඔබ දැක්කා මැති ඇමැතිවරු ආණ්ඩුකාරතුමාලා නිලධාරි මහත්වරු ඔක්කොම ගමට යනවා. රටම එකට සිටිමු කියන වැඩසටහන තුළ මඩකළපුවේ ගම්මානවලට ගිහිල්ලා විවිධ ව්‍යාපෘති වැඩසටහන් පසුගිය දින කිහිපයේ අටසිය හතළිස් දෙකක් කරලා තිබෙනවා.

ඔබ අහගෙන සිටියා සංවර්ධනය කියන්නේ භෞතික සම්පත් සංවර්ධනය එනම් පාරවල් හදන එක, ගොඩනැඟිලි හදන එක, විතරක් නෙමෙයි. ග්‍රාම ශක්ති වැඩසටහනේ ගොඩක් දේවල් කරනවා. මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහන් රාශියක් කෙරෙනවා. මත්ද්‍රව්‍ය කියනකොට මම වි‍ශේෂ යමක් ඔබට කියන්න ඕන. කොකේන්, හෂීස්, මරිජුවානා, අයිස් මේ වගේ මත්ද්‍රව්‍ය ගැන ඔබ අහලා තිබෙනවා. මේවා වැඩි ප්‍රමාණයක් රට ඇතුළට එන්නේ නැඟෙනහිර පළාතෙන්, තමුන්නාන්සේලාගේ පළාතෙන්, නැඟෙනහිර පැත්තෙන් මුහුදෙන්. ඒ නිසා මේවා යුද, නාවික, ගුවන් හමුදා, පොලිසිය, වෙරළාරක්ෂක ඒ වගේම රේගුව නිලධාරී මහත්වරු ඒවා වළක්වන්න විශාල කැපවීමකින් වැඩ කරනවා. ඒ නිසා මේ මත්ද්‍රව්‍ය රට ඇතුළට එන එක වළක්වන්න ජනතාවගේ සහයෝගයත් ඕන.

වකුගඩු රෝග ගැන ඔබ දන්නවා මොන තරම් ප්‍රශ්නයක්ද කියලා. වකුගඩු රෝග මර්දනයට නිවාරණයට අපි සෑම දිස්ත්‍රික්කයකටම විශාල මුදලක් වැය කරනවා. පොළොන්නරුව නගරයේ විශාල රෝහලක් අලුතෙන් ඉදිකරනවා චීනයෙන් වකුගඩු රෝගීන් සඳහා පමණක්. ඒ ඉදිවෙන්නේ මේ රෝගයට ලක්වන ජනතාව සඳහායි. ඒ වගේම මම අද කාර්යාලයක් විවෘත කළා මේ අලුත් වැඩසටහනට ස්මාර්ට් ශ්‍රී ලංකා. මඩකළපුව දිස්ත්‍රික්කයේ රැකියා නැති තරුණ දරුවෝ රාශියක් ඉන්නවා. ඒ අයට රැකියා ලබා ගැනීමට මඟපෙන්වීමක් තමයි මේ මගින් කරන්නේ.

ඒ වගේම ඔබ දන්නවා දරුවන් රකිමු වැඩසටහන. අපේ රටේ දරුවෝ රැකගන්න අපි සියලුදෙනාම එකට එකතු වෙන්න ඕන. මත්ද්‍රව්‍ය වගේම නොයෙකුත් විනාශකාරී දේවලට දරුවෝ ලක්වෙනවා. දරුවන්ට හුඟක් කරදර සිද්දවෙනවා. එහිදී පොලිසිය අධ්‍යාපන බලධාරීන්, සෞඛ්‍ය සේවකයන්, වෛද්‍යවරු ඒ සියලුදෙනාම දරුවෝ වෙනුවෙන් ලොකු වැඩකොටසක් කරනවා.

ඒ වගේම අපේ මේ වැඩසටහන්වලදී මාර්ග ප්‍රතිසංස්කරණය කරන විට මාර්ග හදන විට වඩාත්ම කලින් කළ යුතු ප්‍රමුඛතාව හඳුනාගෙන තිබෙනවා. ඒවා තමයි ඉස්සෙල්ලාම හදන්නේ. ඒ නිසා ඔබ සියලු දෙනාගේම සහයෝගය මේ වැඩසටහන්වලට අපි ඉල්ලා සිටිනවා. මම අද මඩකලපුවට ඇවිත් ඔබ හමුවන්නේ තව පැය හතළිස් අටකට වඩා අඩු කාලයකින් ලබන සිංහල හින්දු අලුත් අවුරුදු උදාවට කලින්. සිංහල සහ දමිළ ජනතාව මේ උත්සවය ඉතාමත් හොඳින් කරනවා එකට එකතු වෙලා. ඒ වෙලාවට අපේ මුස්ලිම් ජනතාවත් ඒවාට එකතු වෙනවා. දැන් අද මම ඔබට තෑග්ගක් දෙනවා. ඒ තමයි සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් එක්කම හොඳ නැකතක් තිබෙනවා පැළ සිටුවන්න. ජෝති ශාස්ත්‍රඥයෝ ඒකට කියන්නේ පොකුරු නැකත කියලා. පැළ සිටුවන්න ඒ වගේ නැකතක් ලෙහෙසියෙන් එන්නේ නැහැ කියලා කියනවා. මම මේ රටේ සමස්ත ජනතාවගෙන්ම ඉල්ලනවා ඒ නැකතට පැළයක් සිටුවන්න කියලා. ඒ වගේම ඔබ සෑම කෙනෙක්ම දන්නවා පරිසර සංරක්ෂණයේ තිරසර සංවර්ධනයේ වැදගත්කම. අද මේ පැමිණ සිටින අයට අපි දෙනවා පොල් පැළ පන්දහසක්. ඒ වගේම අපි දෙනවා කජු පැළ පන්දහසක්. මේ නැකතට ඒවා හිටවන්න කියල මම ඔබෙන් ඉල්ලා සිටිනවා. පොල් ගසක් හැදුණාම ඒකේ වටිනාකම මම කියන්න ඕන නැහැනෙ. කජු පැළයක් හැදුණාම ඒකේ වටිනාකම කියන්න ඕන නැහැනෙ. ඒ නිසා ඔබෙන් ඉල්ලන්නේ මේ පැළ හදලා හොඳට වතුර දාලා එයින් ප්‍රයෝජන ගන්න කියලා.

ඒ වගේම ඔබ දන්නවා මේ රටේ මේ කාලයේ නියඟයකුත් තිබෙනවා. වාර්තාවකුත් තබා තිබෙනවා මේ කාලයේ. ලංකා ඉතිහාසයේ මෙතෙත් වැඩිම වී අස්වැන්න 2018 -2019 මේ මාස් කන්නයේ තමයි අපි අරන් තිබෙන්නේ. මඩකලපුව ප්‍රදේශයෙත් ඉන්නවා විශාල වශයෙන් වී වගා කරන ගොවි ජනතාවක්. ඒ ගොවි ජනතාවට මම ස්තුතිවන්ත වෙනවා. රජ කාලෙන් පස්සේ වැඩිම වී අස්වැන්න ලබා ගන්න පුළුවන් වුණේ මේ අවස්ථාවේදී තමයි. ඒ වී අස්වැන්න වැඩිවීම මේ ආණ්ඩුවේ වැඩක් නෙමෙයි. වර්ෂාව ලැබුණා. දෙවින්වහන්සේ වගේම ස්වාභාව ධර්මයා අපිට වැස්ස දුන්නා හොඳට ගිය අවුරුද්දේ. වැව් පිරුණා. ඇළවල හොඳට වතුර පිරුණා. ඊට කලින් අවුරුදු තුනක් නියඟය තිබුණා. ඒ නිසා මේ රටේ දුක් විදින ගොවි ජනතාව වැස්ස නිසා හොඳට ගොවිතැන් කළා. වී වගා කෙරුවා. සමහර අය කියනවා ආණ්ඩුවේ වැඩක් කියලා. නැහැ ආණ්ඩුවට පුළුවන්ද වස්සවන්න. ඒක ස්වාභාව ධර්මයා දුන්නේ. ගොවි ජනතාවගේ කඳුළින් සුසුමින් ලෙයින් මහන්සිවෙලා තමයි ඒ අස්වැන්න ගත්තේ; රටට දුන්නේ.

ඒ නිසා අපි සියලුදෙනාම මේ රට ගොඩනඟන්න එකට එකතු වෙන්න ඕන. මෙතන ඉන්න මැති ඇමැතිවරු දන්නවා මම ආරම්භ කරලා තිබෙන උතුරු නැඟෙනහිර සංවර්ධනය සඳහා කාර්යසාධන බළකාය මොනතරම් වැඩකොටසක් කරනවාද කියලා. අපි මාසයකට සැරයක් රැස්වෙනවා පාර්ලිමේන්තුවේ නැත්නම් ජනාධිපති ලේකම් කාර්යාලයේ. උතුරු නැඟෙනහිර මැති ඇමැතිවරු ඔක්කොම එනවා. අනිත් පළාත්වලත් මැති ඇමැතිවරු අමාත්‍යාංශ ලේකම්වරු එනවා. ඒ තුළ විශාල වැඩකොටසක් කරනවා. ඒ නිසා අපි ඔක්කොම මහන්සිවෙලා වැඩ කරමු. ඉදිරියේදී තිබෙන සංවර්ධනයේදී ආණ්ඩුවක් විදියට කරන්න පුළුවන් හැම දෙයක්ම අපි ඔබ වෙනුවෙන් කරනවා. අපිට මඩකළපුව දිස්ත්‍රික්කය වගේම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය මේ රටේ සංවර්ධනයේදී ඉතාමත් වැදගත්. සංචාරක ව්‍යාපාරයට මොනතරම් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්ද ව්‍යාපෘති කරන්න පුළුවන්ද? ධීවර කර්මාන්තය මොනතරම් නංවන්න පුළුවන්ද? ඒ නිසා මේ සියලු අංශ වර්ධනය කරන්න දියුණු කරන්න ඕන. දරුවන්ට අධ්‍යාපනයේ තිබෙන අඩුපාඩු සම්පුර්ණ කරන්න ඕන අපි තව තව ඒ සඳහා පහසුකම් දෙනවා. රෝහල් වැඩිදියුණු කරන්න හොඳ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකරන්න දෙන්න තියෙන සියලු පහසුකම් මම ලබාදෙනවා. ඒ නිසයි මම කියන්නේ සියලුදෙනාම රට වෙනුවෙන් එකට සිට වැඩ කරමු කියලා. මේ කටයුතුවලට විශේෂයෙන්ම සහයෝගය දුන්න සියලු මැති ඇමැතිවරුන්ට, සියලු රාජ්‍ය නිලධාරී මහත්ම මහත්මීන්ට මම ස්තුතිවන්ත වෙනවා ජනතාවගේ සේවාවන් වඩාත් කාර්යක්ෂමව ඉලක්ක සහගතව කිරීම ගැන. ඔබ වෙනුවෙන් කළ හැකි සෑම සේවයක්ම ඉටු කරන බව ප්‍රකාශ කරනවා.

ඇමැති ගයන්ත කරුණාතිලක මහතා අදහස් දක්වමින්.. රට වෙනුවෙන් එකට සිටිමු ජනාධිපතිතුමාගේ දෙවැනි වැඩසටහන මඩකලපුවේ දියත් කරලා එහි ප්‍රගතිය බලන්න ජනාධිපතිතුමා පැමිණි අවස්ථාවට එක්වීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. අද ජනාධිපතිතුමා දුෂ්කර දිස්ත්‍රික්ක තොරාගෙන ඒ දිස්ත්‍රික්ක පුරාම සංවර්ධන කටයුතු කරන්න උපදෙස් දෙනවා. අඩුපාඩු හඳුනාගෙන ඒවා සංවර්ධනය කරන්න මේ වැඩසටහන හරහා ලක්ෂ සංඛ්‍යාත කෝටි සංඛ්‍යාත ගණනක් මේ දිස්ත්‍රික්කයට ලැබෙ‍නවා. ජනාධිපතිතුමා මේ දිස්ත්‍රික්කයට සුවිශාල වැඩ කොටසක් සිදු කර තිබෙනවා. කාගේවත් අවධානය යොමු නොවු පළාත්වලට මේ වැඩසටහන යටතේ විශාල සංවර්ධන කටයුතු සිදු කරන්න ජනාධිපතිතුමා කටයුතු කර තිබෙනවා. අද ජනාධිපතිතුමාගෙත් අගමැතිතුමාගෙත් ප්‍රමුඛ අවධානයක් යොමු වෙලා තිබෙනවා දස ලක්ෂයකට ඉඩම් ඔප්පු ලබා දීම පිළිබඳව. මේ දිස්ත්‍රික්කයටත් හත්දහසකට වැඩි පිරිසකට මේ වැඩසටහන ඔස්සේ ඉඩම් ඔප්පු ලබාදීමට හැකියාව ලැබුණේ ජනාධිපතිතුමගේ උපදෙස් පරිදියි. විවිධ හැකියාවන් තිබෙන සියලු ජාතීන් එකට සිටින දිස්ත්‍රික්කයකට ඉඩම් ඔප්පු ලබාදීමට හැකියාව ලැබීම ගැනත් මම සතුටට පත්වෙනවා.

නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතා අදහස් දක්වමින්... කිලෝමීටර් 1200ක මාර්ග කාපට් කිරීමට ජනාධිපතිතුමා මඩකලපුව දිස්ත්‍රික්කයට මුදල් වෙන් කර දී තිබෙනවා. මඩකලපුව දිස්ත්‍රික්කයේ වසර දෙකක් තුළ කිලෝමීටර් 1500ක් කාපට් මාර්ග තැනීමට ජනාධිපතිතුමා කටයුතු කර තිබෙනවා. යුද හමුදාව නතර වී සිටී ඉඩම්, අවශ්‍ය නැති ඒවා නැවත අපට බාරදීමටත් කටයුතු කරා. දැනට පුද්ගලික ඉඩම් සියයට අසූවක් නිදහස් කර තිබෙනවා. ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක් ක්‍රියාත්මක කිරීමට හැකිවී තිබෙනවා. ශ්‍රී ලංකාවේ පුත්තලම දිස්ත්‍රිකයෙන් පසුව දෙවැනි දිස්ත්‍රික්කය ලෙස අපේ ප්‍රදේශය සංවර්ධනය කරන්න බාරගැනීම පිළිබඳ අපේ ස්තුතිය පුද කරනවා.

මේ අවස්ථාවට මහා සංඝරත්නය, අන්‍යාගමික පූජකවරුන්, ඇමැති ගයන්ත කරුණාතිලක, රාජ්‍ය ඇමැති අමීර් අලී, නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. විලයේන්ද්‍රන්. ජී.බී. ශ්‍රීනේෂන්, එස්. යෝගේෂ්වරන් යන මහත්වරු ඇතුළු පළාතේ මහජන නියෝජිතයෝ ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීහු ද, පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ ත්‍රිවිධ හමුදා නියෝජිතයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප - සුදත් මලවීර


නව අදහස දක්වන්න