සම්බුද්ධ ශාසනයේ පැවැත්ම වෙනුවෙන් භික්ෂු රක්ෂණ ක්‍රමයක් ආරම්භ කරනවා | දිනමිණ

සම්බුද්ධ ශාසනයේ පැවැත්ම වෙනුවෙන් භික්ෂු රක්ෂණ ක්‍රමයක් ආරම්භ කරනවා

කරල්ලියද්ද සමුහ කේ. විජේසිරි නිශ්ශංක

දුෂ්කර පළාත්වල පැවිදි ජිවිත ගතකරන භික්ෂූන් වහන්සේ සිවුරු හැරයාම අද බරපතළ ප්‍රශ්නයක් බවත්, භික්ෂූන් වහන්සේලාත් ශාසනයත් ආරක්ෂාකර ගැනීමට භික්ෂු රක්ෂණ ක්‍රමයක් ආරම්භ කිරීමට කැබ්නට් අනුමැතිය ලැබී ඇති බවත් අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.

ඒ සඳහා බුද්ධ ශාසන අමාත්‍යාංශය රුපියල් මිලියන පනහක මුදලක් වැය කරන බවද ඒ මහතා කීවේය.

අැමැතිවරයා එසේ ප්‍රකාශ කෙළේ දිගන රජවැල්ල රන්තැටි පොකුණ රාජවලුකාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ධර්මචක්‍ර ම්‍රද්‍රාවෙන් ඉදි කළ සිව්පනස් රියන් සම්බුද්ධ ප්‍රතිමාව නිරාවරණය කිරීමෙන් අනතුරුව පැවැති උත්සව සභාවේදීය.

සභාවේ මුලසුන සමස්ත ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති හා අමරපුර චූලගන්ධි පාර්ශ්වයේ මහා නායක ගංතුනේ අස්සජි මහා නායක හිමියෝ හෙබවුහ.

එදින පෙරවරු නවයට යෙදුන සුබ මෙහොතින් ජනතාගේ සාදු හඩ හා බෙර දවුල් හඩ මැද සිව් පනස් රියන් ධර්ම චක්‍ර පිලිම වහන්සේ නිරාවරනය කිරිම සිදු කෙලේය . එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා මෙසේ ද පැවසීය .

නිර්මල බුදු දහම අප වසර පන් දහාසක කාලයක් පුරා ආරක්ෂා කරනවා. බලංගොඩ ආනන්ද මෛත්‍රි නා හිමියන් ප්‍රකාශයට පත් කළ ත්‍රිපිටකය අද අප පිළිඅරන් තියෙනවා. එම ත්‍රිපිටක පොත්වහන්සේ ලෝක උරුමයක් කිරීමට ජනාධිපතිතුමා ඇතුළු රජය පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා රජය පියවර ගෙන තිබෙන මෙම අවස්ථාවේදී නිවෙස්වල බොද්ධ කොඩි ඔසවා එයට ගරු කරන්න.

රජයක් විදිහට නිර්මල බුදු දහම, ශාසනය ආරක්ෂා කිරීමට වැඩ පිළිවෙළක් සකස් කර තිබෙනවා. ඒ සඳහා භික්ෂු රක්ෂණ ක්‍රමයක් කැබිනට් මණ්ඩලය අනුමත කළා. සෑම ස්වාමින්සේ නමක් වෙනුවෙන්ම මෙම භික්ෂු රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කරනවා.

භික්ෂුන්වහන්සේ සිවුරු අත හැරයාම බරපතළ ප්‍රශ්නයක්. ඒ දුෂ්කර ජීවිතය අපි දන්නවා.

බුද්ධ ශාසන අමාත්‍යාංශයේ වැය ශිර්ෂයේ දී මෙම රක්ෂණ ක්‍රමය මගින් උන්වහන්සේලා අසනිප වූ අවස්ථාවල දී එම අධාර මුදල ලබා දෙන්න කැබිනට් මණ්ඩලය මිලියන පනහක මුදලක් අනුමත කළා.

එමගින් රජයේ වේතනයක් නො ලබන සෑම ස්වාමින්වහන්සේ නමක්ම මෙම රක්ෂණය යටත් වෙනවා. එපමණක් නොවේ , අපදාවල දී ද, මහලු දුබල වුණාමත් එම ස්වාමින්වහන්සේලාට එලෙස අවශ්‍ය පහසුකම ලබාදීමට අප කැපවී සිටිනවා.

ශාසනයක් ආරක්ෂාවීමට විහාර ගෙයක් තිබුණට, බුදු පිළියමක් තිබුණට මදි. කහ සිවුරු තිබිය යුතුයි.

මෙම නිර්මල බුදු දහම අප වසර පන්දහසක් ආරක්ෂා කර තිබෙනවා . එහෙනම් අප භික්ෂුන්වහන්සේලාත් ආරක්ෂා කළ යුතුයි. වසරකට දහසක් පමණ භික්ෂුන්වහන්සේලා සිවුරු හැරදා යන හේතුව අප සෙවිය යුතුයි.

මෙම විහාරස්ථානයේ කුඩා කුටියක හත් නමක් වාසය කරනවා. එය බර පතළ තත්ත්වයක්. මෙවැනි විහාරස්ථාන අප රටේ නැත්තේ නොවේ. මෙවැනි දුෂ්කර ගමනක යෙදී සිටින උන්වහනසේලාගේ චේනා පිරිසුදුයි. එ් නිසා මී මැස්සෝ මලට ආ දරෙයි වගේ ජනතාව මෙම විහාරය වටා එක් රොක්වී සිටිනවා.

ධර්මය ආරක්ෂා කරන්න ජනාධිපතිතුමා ඇතුළු රජය බැදි සිටිනවා. මත්පැන් මත් ද්‍රවය නැති කර, පින්වත් සමාජයක් ඇති කරන්න දැහැමි ප්‍රතිපත්තියක සිටිය යුතුයි. මෙම පිළිම වහන්සේ නිර්මාණය කළ නිර්මාණකරුවා පිංවත් මහත්මයෙක්. දහම් පාසල් , ආගමික ගොඩනැගිලි හැදුවට වැඩක් නැහැ. ජනතාවගේ මනස හැදිය යුතුයි.

ලබන සතියේ දිස්ත්‍රික්ක පහක ස්වාමින්වහන්සේලා හා මහා නායක ස්වාමින් වහන්සේලා වව්නියාවට එක් රුස්වෙනවා. අද ලෝකය පුරා බුදු දහමට විශාල ඉල්ලුමක් තිබෙනවා.

මෙහිදී ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උප සභාපති හා උඩරට අමරපුර මහා නිකායේ මහා නායක නුවරඑලියේ චන්ද්‍ර ජෝති ස්වාමින් වහන්සේ විශේෂ අනුශාසනාවක් කළහ.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී කෙහෙලිය රබුක්වැල්ල, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රි ගුණරත්න මහත්වරුන් ඇතුළු ආරාධිත අමුත්තන් රුසක් මෙමආගමික අවස්ථාවට එක්ව සිටියහ.


නව අදහස දක්වන්න