දෙමටගොඩ සුද්දාගේ ගෝලයෙක් දැලේ | දිනමිණ

දෙමටගොඩ සුද්දාගේ ගෝලයෙක් දැලේ

හෙරොයින් කිලෝ 05ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
අද(18) දහවල් 12ට පමණ කිරිබත්ගොඩ පොලිස් වසමේ මාකොළ වයි හංදිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර මෙම හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි යතුරුපැදිය හා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28 ක් වු කිරිබත්ගොඩ, කැලණිය ලිපිනයේ පදිංචි සමරවීර ආරච්චිගේ ජීවන් පෙරේරා යන අය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.
 
මෙම සැකකරු මීට පෙර පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන මේ වන විට බන්ධානාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දෙමටගොඩ සුද්දා නැමැති අය විසින් මෙහෙයවා ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.
 
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාර දීමට නියමිතය.

නව අදහස දක්වන්න