ලෝක සාගින්න | දිනමිණ

ලෝක සාගින්න

ආචාර්ය සුනිල් රණසිංහ - (මානවවිද්‍යා Anthropology සහ සත්ව චර්යාවිද්‍යාව Ethology)

මහපොළොව ලබා දෙන සීමිත ආහාර ප්‍රමාණයක් මත මානව වර්ගයාගේ පැවැත්ම රඳා පවතියි. මානව විද්‍යාඥයන්ගේ විශ්වාසයට අනුව ශිෂ්ට දිවියට ප්‍රවේශ වූ මානවයා කෘෂි වගාව මුල් කොට ගෙන ජනාවාස ආරම්භ කළේ වසර 10.000 ත් 12.000 ත් අතර කාලයේය. එකී ඉතිහාසය තුළ සමාජ පරිනාමය හා නව සොයා යාම හරහා ආසන්න වශයෙන් ආහාරයට ගත හැකි ශාක විශේෂ 50.000 ක් පමණ වුව ද සොයා ගැනීමට මානවයා සමත් විය. ආහාරයට ගත හැකි ශාක විශේෂ 50.000 ක් පමණ සොයාගෙන තිබුණ වුව ද 90% ක ශක්තියක් නිපදවන්නේ ධාන්‍ය වර්ග 15 කින් පමණ ප්‍රමාණයකිනි.

වත්මන් මානවයා මූලික ව පරිභෝජනය සදඟා යොදා ගන්නේ ආහාර විශේෂ 200 කට අඩු ප්‍රමාණයකි. එමෙන් ම ගෝලීය ජනතාවගෙන් බහුතරයක් යැපෙන්නේ සහල්, බඩ ඉරිඟු හා තිරිඟු යන ධාන්‍ය ත්‍රිත්වයෙනි. මෙම දැවැන්තයන් තිදෙනා ලෝක ජනගහනයෙන් බිලියන 7 කට වැඩි පිරිසකගේ පැවැත්ම පිළිබඳ වගකීම තමන් වෙත පවරා ගෙන ඇත. ඉන් බිලියන දෙකකට වැඩි ජනතාවගේ ප්‍රධාන ආහාරය සහල්ය. එසේවූව ද තවමත් ප්‍රයෝජනයට නොගත් ලෝක සිතියම මත විසිරී ඇති අතීත මානවයා ආහාරයට ගත් ධාන්‍ය විශේෂ 10.000 ක් පමණ සොයා ගත හැක. එහෙත් ගත වූ වසර 200 තුළ මානවයා අලුතින් කිසිදු ධාන්‍ය විශේෂයක් එම නාම ලේඛනයට ඇතුළත් නොකළේය. ක්‍රමයෙන් තුනීවී යන බෝග ජාන සංචිතයක් මත මානව ගොවිතැන හා ආහාර රටාව ස්ථාන ගතවීම ගැන අවධානය යොමු විය යුතු කාලය දැන් පැමිණ ඇත. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ තොරතුරුවලට අනුව පසුගිය සියවස තුළ කෘෂිබෝග ජාන විවිධත්වය 75% ක් විනාශ විය.

අතුරුදන්වන බෝග

ලොව පුරා රාජ්‍යයන් 51 ක මිලියන 124 ජනයා ආහාර හිඟකමින් පීඩා විඳිති. ඔවුනට ඉතා ඉක්මනින්ම මානුෂික ආධාර අවශ්‍ය වන අතර ජීවන මාර්ග ආරක්ෂා කොට සාගින්න හා මන්දපෝෂණය තුරන් කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානය පවසයි. ඊසානදිග නයිජීරියාව, සෝමාලියාව, යේමනනය හා දකුණු සුඩානය මිලියන 32 ක ජනයා ආහාර හිඟයෙන් පීඩා විඳිති. 2017 වසරේ ආහාර අර්බුදය සඳහා වූ ගෝලීය වාර්තාව රාජ්‍යයන් 45 ක මිලියන 108 ක ජනයා ආහාර අහේනියෙන් පීඩා විඳින වග සටහන් කළේය.

ගෘහ ආශ්‍රිත අනෙකුත් සත්ත්ව ජාන සම්පත් ගබඩාව ක්‍රමයෙන් ගොදුරුවන මුඛ හා කුර ආබාධ වැනි විවිධාකාර වසංගත රෝග නිසා අතුරුදහන් වෙයි. වඳව යාමේ තර්ජනයට ශාක ආශ්‍රිත සතුන් හතර දෙනකුගෙන් එක් අයකු ගොදුරුවේ. ඔවුන් ආහාරයට ගන්නා ශාකවල අන්තර්ගත ජාන සංචිතය දුර්වලවීම එයට එක් හේතුවකි. වනගත ජාන විවිධත්වය ශාක වර්ධනය හා පැවැත්ම උදෙසා අත්‍යවශ්‍ය සාධකයකි. උතුරු අමෙරිකා මහාද්වීපයේ බඩ ඉරිඟු විශේෂයක් අතුරුදහන් වූයේ හඳුනානොගත් අංගමාර රොගයෙනි. එම අංගමාර දිලීරයට ඔරොත්තු දෙන වනගත බඩඉරිඟු විශේෂයක් සොයාගැනීමට හැකිවූයේ නැගෙනහිර අප්‍රිකානු භූමියෙනි. එමෙන්ම කැලිෆෝනියාවේ බාර්ලි විශේෂවලට වැළඳුණ වෛරසය සමඟ සටන් කළ හැකි බාර්ලි විශේෂයක් ඉතියෝපියවෙන් හමුවිය. ලතීනියානු, අප්‍රිකානු, ආසියානු ජන කණ්ඩායම් හඳුනාගත් ආහාරයට ගත හැකි අල හා මුල් විශේෂ දහස් ගණනකි. මඤ්ඤොක්කා (cassava) බතල(yams) ගහල වර්ග (taro) ලොව පුරා බිලියනකට වඩා අධික ආදිවාසීන්ගේ ප්‍රධාන ආහාර විශේෂයන්ය. අල හා මුල් විශේෂ බොහයිඩෙ‍්‍රට්, කැල්සියම් සහ විටමින් බහුල ඉතා පොෂ්‍යදායී පහසුවෙන් වගා කළ හැකි ආහාර විශේෂයි.

විනාශයේ බීජ

ගොවීන් පරපුරෙන් පරපුරට රැකගෙන ආ බීජ විවිධ උපාය මාර්ග මගින් සොරකම් කොට ජාන තාක්ෂණයෙන් වෙනස් කර, පේටන්ට් බලපත්‍ර හිමිකර ගනිමින් සමාගම් බීජ වෙළෙඳපොළ අක්‍රමණය කළේය. ඒ සඳහා ඔවුහු ආහාර ආධාර වැඩසටහන (PLO 480) නමැති මායාව නිර්මාණය කළහ. ඉතියෝපියාවේ හා සෝමාලියාවේ දැඩි නියඟයෙන් පසු ගොවීන් වෙත ජාන වෙනස් කළ බීජ මුදාහැරියේය. එම බීජ වගා කොට අස්වැන්න නෙළා ගත් ගොවියා අලුත් අත්දැකීමකට මුහුණ දුන්නේය. එනම් එම බීජ නැවත වගා කොට දෙවන පරපුර ජනනය කළ නොහැක. කන්නයෙන් කන්නය මොන්සන්ටෝ, සින්ජෙන්ටා වැනි සමාගම් බීජ මිල දී ගැනිමට ගොවියාට සිදු විය. බීජ අස්වැන්න සඳහා පමණක් යැයි තේරුම් ගැනිමට ප්‍රමාදවීමෙන් සහ ගොවිපළ ආදායම විස රසායන හා සින්තටික් පොහොර උදෙසා යෙදවීමෙන් ගොවියා ණයගැතියෙක් විය. වසර 12.000 ක් පැරණි ස්වභාවික ගොවිතැන් චක්‍රය අවසානයේ මොන්සන්ටෝ, සින්ජෙන්ටා, ඩූපොන්ට්, ඩොව් කෙමිකල්ස්, අවෙන්ටිස්, කාර්ගිල්ස් හා ආචර් ඩැනියෙල්ස් සමාගම් ලාභය සඳහා හුවමාරු කරගනිමින් ගොවියා තමන්ගේම ඉඩමේ කට්ටියේ වහලකු බවට පරිවර්තනය විය.

රෝමයේ 2002 වසරේ පැවැති ආහාර සමුළුවට සහභාගිවූ දේශපාලකයන්ගේ හා ප්‍රතිපත්ති තීරකයන්ගේ පූර්ණ අවධානය නිදහස් වෙළෙඳපොළ එකඟතා වෙත යොමු විය. සාගත හා නියඟ ඇතිවීමට හේතුව ලෙස ඔවුන් අර්ථ දැක්වූයේ දේශගුණික විපර්යාසයයි. එහෙත් යථාර්ථය නම් දේශීය ආහාර වෙළෙපොළ මිල ඉහළ දැමීම, ආහාර හිඟය, දුර්භීක්ෂ නිර්මාණය හා රාජ්‍යයන් ආපදාවට පත් කිරීම ආදී සමාගම් උපාය මාර්ගය ඊට හේතුවූ බවය. දෙවන ලෝක යුද සමයේ සිට සෑම දුර්භීක්ෂයක දී ම ජනතාව පෝෂණය කිරීමට ප්‍රමාණවත් ආහාර අතිරික්තයක් වෙළෙඳපොළ තුළ සුරැකිව තිබිණ. ජනතාව කුසගින්නේ පෙළීමට හේතු වූයේ ආහාර හිඟකම නොව මිල දී ගැනීමේ නොහැකියාවයි. වෙළෙඳපොළ ආහාර හිඟයට හේතුව පාරජාතික සමාගම් ගොවීන්ගේ ධාන්‍ය අඩු මිලට ගෙන වැඩි ලාභ අපේක්ෂාවෙන් සඟවා තැබීමයි.(Amarthya Sen) දේශගුණ වෙනස හා මානව ජීවිතය මානව අවශ්‍යතා උදෙසා අවශ්‍ය බලශක්ති නිපැයුම සඳහා 85% ක ෆොසීල ඉන්ධන දහනයක් සිදු වෙයි. එය නැවත භාවිත කළ නොහැකි බල ශක්තියකි. කෑදර පරිභෝජනය සඳහා වූ මානව අවශ්‍යතා වෙනුවෙන් වසර 400 ක අගයකින් යුතු ඉන්ධන එක් වසරක් තුළ විනාශ කර දමයි. එයින් විශාල ප්‍රමාණයක් භාවිත කරන්නේ පාරජාතික TNCs සමාගම් ජාලයයි. විද්‍යාත්මක නිරීක්ෂණයට අනුව 2001 සිට 2025 දක්වා කාලය තුළ පෘථිවි වායුගෝලයේ කාබනික වායු වර්ධනය 19% සිට 27% දක්වා අගයකින් ඉහළ යා හැක.

ඉහළ නගින සයුරු

ධ්‍රැව ප්‍රදේශවල අයිස් හා ග්ලැසියර දියවී යාම නිසා සාගර ජලය ඉහළ ගොස් වෙරළබඩ කලාපයේ පාරිසරික පද්ධතිවල ජෛව විවිධත්වය විනාශවේ. එමෙන්ම මානව ජනාවාසවල මෙතෙක් හඳුනා නොගත් වසංගත රෝග පැතිර යයි. ජල දුෂණය හා පානීය ජලය හිඟවීම, වගා බෝග විනාශය, වන විනාශය, මත්ෂ්‍ය සම්පත හිඟවීම ව්‍යසනයක් ලෙස වර්ධනය වෙයි. සාගර ජලය මීටරයකින් ඉහළ ගිය හොත් කුඩා දුපත් රැසක් ලෝක සිතියමෙන් අතුරුදහන් වෙයි. තවද වෙරළ ආසන්න ගොවීන්ගේ සහ ධීවරයන්ගේ ජීවන තත්ත්වය ව්‍යසනයකට ලක් වීම අනිවාර්යය. සාගර ජලය මීටර 7 සිට 12 දක්වා ඉහළ ගිය හොත් ලොව පුරා වෙරළාසන්න පිහිටා ඇති මහා නගර බොහොමයක් මුහුදු ජලයෙන් යටවෙයි. තවද පස සොදා යාම, කොරල් පර විරංජනය වීම හෝ සම්පූර්ණයෙන් විනාශ වීමෙන් සාගර ජෛව විවිධත්වය අහිමි වෙයි.

ආහාර අනාරක්ෂතභාවය යනු සාමාන්‍ය වර්ධනය හා ක්‍රියාකාරී නිරෝගී ජීවිතයක් සඳහා අවශ්‍ය පෝෂණීය හා අවශ්‍ය තරම් ආහාර නොමැතිකමයි. ආහාර සුරක්ෂිතභාවය නම් අවශය තරම් උසස් තත්ත්වයේ පෝෂණීය ආහාර සුලබව ලබා ගැනීමට ඇති හැකියාවයි. ආහාර අර්බුදයේ අනෙක් ප්‍රතිඵලය ණයගැතිකමින් පීඩාවිඳින ගොවියා පාරම්පරික ගොවිබිම අතහැර දමා නාගරික ප්‍රදේශවලට සංක්‍රමණයවීමයි. එක්සත් ජාතීන්ගේ වාර්තාවලට අනුව ලොව පුරා 85% ක් ගොවීන් සතු ගොවිබිම් හෙක්ටයාරකට වඩා අඩුය. 2015 වන විට අන්තර්ජාතික ප්‍රතිපත්ති තීරකයන්ගේ ගණනය කිරීමට අනුව ගෝලීය නාගරික ජනගහනයේ 65% ක ඉහළ යාමක් දක්නට ලැබෙයි. මෙලෙස අතහැර දමන ඉඩම් සමාගම් අත්පත් කර ගැනීම හා බලහත්කාරයෙන් ඉවත්කිරීම අද දක්නට ලැබෙන ප්‍රවනතාවකි.

ආහාර මිල

ලෝකය පුරා අත්‍යවශ්‍ය ආහාර මිල 1990 දසකයේ දෙගුණයකින් ද 2000 දසකයේ තුන් ගුණයකින් ද ඉහළ ගියේය. හයිටි, නිකරගුවා, ගෞතමාලා, ඉන්දියා, ලංකාව, බංග්ලාදේශය, ඉන්දුනීසියා, පිලිපීනය, ලයිබීරියා, ඊජිප්තුව, සුඩානය, කෙන්යාව, එරිටි‍්‍රයාව, මොසැම්බික්, සිම්බාබ්වේ වැනි රටවල ආහාර ද්‍රව්‍ය මිල ජනතාවට ළඟාවිය නොහැකි ලෙස සමාගම් යාන්ත්‍රණය විසින් ඉහළ දැමීය. ආහාර මිල දී ගැනීම කොතරම් දුෂ්කරවූයේ ද යත් අප්‍රිකානු රාජ්‍ය පුරා සාගත, නියඟ කුණාටුවක් මෙන් හමා ගියේය. තවදුරටත් ආහාර කිසිදු රාජ්‍යයක පාලන අධිකාරිය යටතේ ඇතිදැඩි නොවේ. නව ලිබරල්වාදය තුළ සෑම රාජ්‍යයකම භූමිකාව විවෘත වෙළෙඳපොළ සඳහා පහසුකම් සලසන්නාගේ කාර්යවේ. ආහාර මිල තිරණයේ දී සමාගම් විධායකය දේශපාලකයා හා නිලදරුවා නො සලකා හරියි. ඒ වෙනුවට අල්ලස, දුෂණය, මංකොල්ලය මත යැපෙන පරපෝෂිතයන් බව ඔවුන් පරිවර්තනය කරයි. මෙම යාන්ත්‍රණය මිලියන සිය ගණනක ජනයා නොතකා හැර පීඩා විඳීමට ඉඩ හරියි. උපන් භූමියේම විදේශිකයන් වූ ඔවුනට තම දෛනික අවශ්‍යතා විශේෂයෙන්ම අහාර සඳහා ඇති අයිතිය අහිමි කර දමයි.

එක්සත් ජාතීන්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානයේ තොරතුරුවලට අනුව 2007 මාර්තු මාසයේ ලොව පුරා ආහාර ද්‍රව්‍ය මිල 80% කින් වැඩි විය. පසුගිය තුන් වසර තුළ තිරිඟු මිල 181% කින් ද, ගෙවී ගිය 2013 අවසන් කාර්තුවේ 50% කින් ද ඉහළ ගියේය. පසුගිය පස් වසර තුළ සහල් මිල තුන් ගුණයකින් ඉහළ ගියේය. 2007 වසර සිට 2009 දක්වා කාලය තුළ සංවර්ධනය වන රාජ්‍යයන් මුහුණ දුන් ප්‍රධාන ගැටලුව අත්‍යවශ්‍ය ආහාර මිල ඉහළ යාමයි, ලංකාවේ ආහාර මිල මෙම කාලය තුළ 40% කින් ඉහළ යාමක් දක්නට ලැබෙයි. සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2008 වාර්තාවට අනුව සමස්ත කැලරි ප්‍රමාණයෙන් 80% ක්, ප්‍රෝටීන් 52% ක්, මේදය 82% ක්ම ආහාර වර්ග තුනකින් පමණක් ලබා ගනියි. ගෝලීය ආහාර මිල ඉහළ යාමට අධික ඉල්ලුම, ස්වභාවික හා මිනිසා විසින් නිර්මාණය කළ ආපදා හේතු විය.එමෙන්ම මිනිසා විසින් නිර්මාණය කරන වාර්ගික හා ආගමික ගැටුම්, ත්‍රස්තවාදය, සිවිල් යුද තත්ත්වයන්, දේශ සීමා ගැටුම්, ගෝලීය උණුසුම, වායු දූෂණය, ජල දූෂණය, ආර්ථික අර්බුද, සංක්‍රමණික අර්බුද, අවිධිමත් සංවර්ධනය, සම්පත් බෙදී යාමේ අසමතුළිතතාව, ආහාර නිෂ්පාදනයේ දුර්වලතා, ආහාර සඳහා ප්‍රවේශවීමේ නොහැකියාව හා වගකීම පැහැරහැරීම වැනි හේතු නිසා ඇති වෙයි. මානව ශරීරයේ ශක්තිමත් ක්‍රියාකාරිත්වය සඳහා අවම වශයෙන් ආහාර කැලරි 1, 800 ක් පමණ දිනකට අවශ්‍ය වෙයි. එම ප්‍රමාණය ශරීර ගත නොවීම නිසා අවපෝෂණයට මිනිසා ගොදුරු වේ.

 


නව අදහස දක්වන්න