වැඩි වැටුප්! | දිනමිණ

වැඩි වැටුප්!

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ද, වතු කම්කරුවන්ගේ ද වැටුප් ඉහළ දැමිය යුතු බව ද, ඔවුන් සඳහා අවම වැටුපක් නැවත තීන්දු කළ යුතු බව ද රජය පිළිගෙන තිබේ. ඊට අදාළ පනත් කෙටුම්පතක් හැකි විගස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කම්කරු අමාත්‍යවරයා පෙන්වා දෙයි. ජාතික කම්කරු උපදේශන සභාවේ එකඟතාව ද මීට ලැබී ඇත. අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ ගැන සාකච්ඡාවක් පවත්වා ඇති අතර සියලු පාර්ශ්වවල එකඟතාව ද ඊට ලැබී ‍තිබේ. ඉදිරිපත් කිරීමට නියමිත පනත් කෙටුම්පතට අනුව පෞද්ගලික අංශයේ සේවකයකුගේ අවම වැටුප රුපියල් දහතුන්දහස් පන්සියයක් පමණ වනු ඇත. මෙය කම්කරු ප්‍රජාවගේ පැත්තෙන් බලනවිට ඉදිරිගාමී පියවරකි.

රාජ්‍ය අංශයේ වැටුප් හා දීමනා පියවර කිහිපයකින් ඉහළ දැමූ බව කාටත් මතක ය. වර්තමාන රාජ්‍ය සේවකයා යම් තෘප්තියකින් යුතුව රාජකාරියෙහි යෙදෙන බව දැකගත හැකි ය. එහෙත් පෞද්ගලික අංශයේ ශ්‍රමිකයා සම්බන්ධයෙන් සොයා බලන විධිමත් වැඩපිළිවෙළක් නැත. ඊට අදාළ ආයතන වැටුප් හා දීමනා සම්බන්ධයෙන් කරන බලපෑම ඇත්තේ ද දුර්වල තැනක ය. වතු කම්කරුවන්ගේ වැටුප් ප්‍රශ්නය දීර්ඝ කාලයක සිට ඔඩු දුවමින් පවතී. ඒ සඳහා ලබා දී ඇති විසැඳුම් ද තාවකාලික යැයි කිව හැකි ය. අප මුලින් සඳහන් කළ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන්නේ පෞද්ගලික අංශයේ රැකියාවලට ද අභිමානයක් ඇතිවන අයුරින් ය.

විලියම් ඊ බාබට් නම් ප්‍රකට ලේඛකයා “වැටුප් කෝලාහලය” නමින් කෙටිකතාවක් ලියා තිබේ. මේ කෙටිකතාවෙන් කියැවෙන්නේ ගෑස් කොම්පැනියක කම්කරුවන් සිය අත්තිකාරම් මුදල් ලබාගැනීම සඳහා යොදන උපාය මාර්ගයන් ගැන ය. කම්කරුවෝ සතිපතා ම අත්තිකාරම් ඉල්ලති. පාලක පක්ෂය එය මඟ හරිති. විවිධ නීති ගෙන එති. කොම්පැනියේ අවසන් තීන්දුව වන්නේ රැකියාවෙන් ඉවත් වන අයට පමණක් අත්තිකාරම් ලබාගත හැකි බව ය. මේ නීතිය පැන වූ දාට පසු දා කොම්පැනියේ සියලු කම්කරුවෝ අස්වීමේ පෝලිමට එක් වී සිටියෝ ය. මෙයින් කියැවෙන්නේ කම්කරුවාට මුදල කෙතරම් වටින්නේ ද යන්න ය. රුපියලකින් වැටුප් වැඩි වුව එය පිළිගන්නට ඔව්හු කැමැත්තෙන් සිටිති.

රටේ සේවා නියුක්තියෙන් වැඩි අනුපාතය හිමිවන්නේ පෞද්ගලික අංශයට ය. රාජ්‍ය සේවකයන්ගේ ප්‍රමාණය ලක්ෂ දාහතර ඉක්මවා ඇති අතර පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ප්‍රමාණය ලක්ෂ තිස්හතර ඉක්මවා සිටිති. පෞද්ගලික අංශයේ ව්‍යාප්තිය ගත් කල එය විවිධ ක්ෂේත්‍රවලට ද, විවිධ අංශවලට ද අයත් වන බව පෙනෙයි. ඇතැම් විට සේවකයන් දහයකින් - දොළහකින් සමන්විත කුඩා ව්‍යාපාර තිබේ. එබඳු ම කුඩා කර්මාන්ත ද තිබේ. මේවායෙහි සේවය කරන වැඩි පිරිස දෛනික වැටුප් ලබන්නෝ ය. එය කුලී වැඩ කිරීමට සමාන යැයි කිව හැකිය. මෙබඳු ස්ථානවලින් සේවක අර්ථසාධක ලබා දෙන්නේ නැත. දීර්ඝ කාලයක් සේවය කොට හිස් අතින් ගෙදර යන ශ්‍රමිකයෝ ද සිටිති.

පෞද්ගලික අංශයේ වැටුප් හා දීමනා තීන්දු කරන්නේ සමාගම් හිමිකරුවා ය. නැතහොත් ව්‍යාපාරයේ අයිතිකරුවා ය. වැටුප් වර්ධක කියා දෙයක් ඇත්තේ ම නැති තරම් ය. උසස්වීම් ඇත්තේ ද හිමිකරුවා අත ය. ඔහු කැමැති අයට උසස්වීම්, වැඩි වැටුප් හා වැඩි වරප්‍රසාද ලබා දෙයි. වැටුප්, දීමනා හා වෙනත් පහසුකම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විධිමත් රටාවක් කොම්පැනි තුළ නැත. අවම වැටුප සම්බන්ධයෙන් විවිධ නීති - රීති ඇතත් සමාගම් හිමිකරුවන් ඒවා සැලැකිල්ලට ගන්නේ නැත. අයිතිකාරයාට අවශ්‍ය පරිදි වැටුප් තීරණය කරන ක්‍රමයක් බොහෝ කොම්පැනි තුළ තිබේ. අනියම් සේවකයෝ මෙබඳු ආයතන තුළ බහුල වෙති. රජයේ අවධානය ඒ කෙරෙහි ද යොමු විය යුතුය.

රාජ්‍ය සේවකයන් සඳහා විශ්‍රාම වැටුප පමණක් නොව තවත් දීමනා හා පහසුකම් රැසක් පවතී. පෞද්ගලික අංශය තුළ එම පහසුකම් හා දීමනා බොහෝ සෙයින් අඩු ය. පෞද්ගලික අංශයේ කම්කරුවකු සේවයේ ස්ථිර කිරීම සඳහා සැලැකිය යුතු කාලයක් ගතවෙයි. ඔහුගේ වැටුප ද අඩු ය. ඒ අනුව ලැබෙන අර්ථසාධකය ද සුළු එකක් වෙයි. දීර්ඝ කාලයක් කොම්පැනි හිමියන් පොහොසත් කොට සොච්චම් මුදලක් ද රැගෙන විශ්‍රාම යෑමට සිදුවීම පෞද්ගලික අංශයේ කම්කරුවාගේ ඉරණම වී තිබේ. මේ ඉරණම වෙනස් කළ යුතුය. ඒ සඳහා ආයතන හිමිකරුවන්ගේ සහයෝගය ලබාගැනීම දුෂ්කරම කටයුත්ත සේ සැලැකිය හැකි ය. රජය පියවරෙන් පියවර ඒ ජයග්‍රාහී මාවත දෙසට ඇදෙන බවක් පෙනෙන්නට ඇත.

ලෝක ආර්ථිකයේ නව ප්‍රවණතාවලට අනුව රටක ආර්ථිකයේ ප්‍රධාන තැන හිමි විය යුත්තේ පෞද්ගලික අංශයට ය. දියුණු රටවල් පෞද්ගලික අංශය ව්‍යාප්ත කරන අතර රාජ්‍ය අංශය හැකිතාක් සීමා කරයි. නිෂ්පාදනය හා සේවා සැපයීම පෞද්ගලික අංශයට පැවරෙන අතර එය නියාමනය කිරීම සඳහා රාජ්‍ය අංශය පවත්වාගෙන යෑම සමහර රටවල ක්‍රමය වී ඇත. එහෙත් ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක සිට පුරුදු - පුහුණු වී ඇත්තේ සියල්ල රාජ්‍ය අංශය ඔස්සේ ඉටු විය යුතුය යන මූලික අදහසෙහි සිට ය. එය යම් පමණකින් වෙනස් කළේ හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා ය. ජයවර්ධන මහතා ලෝක ආර්ථිකය සමඟ ශ්‍රී ලංකාව බද්ධ කළ යුතුය යන අදහස පිළිගත් නායකයෙකි.

පෞද්ගලික අංශයේ ව්‍යාප්තිය, ශක්තිමත්භාවය හා සුරක්ෂිතතාව ගැන සැලැකිල්ල යොමු නොකොට රටක් ආර්ථික වශයෙන් දියුණු කිරීම අපහසු ය. එය චීනය වටහාගෙන තිබේ. රුසියාවද වටහාගෙන තිබේ. සමාජවාදී රටවල් වූ චීනය හා රුසියාව අද වනවිට පෞද්ගලික ව්‍යාපාරවලට අවශ්‍ය පහසුකම් සපයා ඇත්තේ නව ක්‍රම - විධි ඔස්සේ ය. ශ්‍රී ලංකාව තව ම පෞද්ගලික අංශයට අවශ්‍ය උපරිම පහසුකම් හා සහන ලබා දෙන්නේ නැතැ’යි කිව හැකි ය. එබඳු පසුබිමක් යටතේ වතුකම්කරුවන්ගේ ද, පෞද්ගලික අංශයේ ද වැටුප් වැඩි කිරීමට තීරණය කිරීම සාධනීය ලක්ෂණයකි.

ඉහත පනත පහසුවෙන් සම්මත කර ගත හැකි යැයි සිතන්නට පුළුවන. මහජන නියෝජිතයන්ට මේ කරුණ සම්බන්ධයෙන් විරෝධතාවක් දැක්විය නොහැකි බැවින් ය. එහෙත් එය ක්‍රියාත්මක කිරීමේ දී විවිධ බාධා ඇතිවන්නට පුළුවන. විශේෂයෙන් සමාගම් හිමිකරුවන් විවිධ හේතු දක්වමින් මෙය මගහැර යා හැකි ය. නැතහොත් වෙනත් උපාය මාර්ග ඔස්සේ වැටුප් පරණ තත්ත්වයේ ම පවත්වාගත හැකි ය. මේ සම්බන්ධයෙන් හොඳ නිරීක්ෂණයක් තිබිය යුතුය. පිළිගත් නීති කඩකිරීම වරදකි. ඒ අනුව නීති කඩකරන ආයතන හිමියන් උසාවියට ගෙන යා හැකි ය.

 


නව අදහස දක්වන්න