මාලිංග සමුගත්තොත් එතැනට එන්න පෝලිමේ පිරිස් බලා ඉන්නවා | දිනමිණ

මාලිංග සමුගත්තොත් එතැනට එන්න පෝලිමේ පිරිස් බලා ඉන්නවා

ප්‍රින්ස් ගුණසේකර

- ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා

ශ්‍රී ලංකා එක්දින පිලේ නායකත්වය අහිමිවූමේ හේතුව මත හිටපු නායක සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නේද? නැද්ද? යන්න තවමත් පැහැදිලි ප්‍රකාශයක් කර නොමැත.

ඉන්දියාවේ දැන් පැවැත්වෙන අයි.පී.එල්. තරගාවලියට සහභාගි වී සිටින මාලිංග ජගත් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමේ ලිපියක් සකස් කර තිබූ බවත් එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කිරීමට නියමිතව තිබූ බවත් පළවූ වාර්තා පිළිබඳ ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතාගෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී පැවැසූවේ තවමත් එවැන්නක් ලැබී නොමැති බවයි.

“මාලිංග ක්‍රීඩා කරන්නේ රට වෙනුවෙන්. ඒ නිසා ඔහු කණ්ඩායම සමග එංගලන්තයට යයි කියා සිතනවා. නොගියත් ඉතින් අපට කරන්න දෙයක් නෑ. එයා නැතිවුණා කියලා ලෝක කුසලානයෙන් අප ඉවත් වෙන්නද? සභාපති ලෙස මා නැති වුණොත් මෙතැනට එන්න ඕන තරම් අය පෝලිමේ ඉන්නවා. ඒ වගේ තමයි මාලිංග ගියොත් වෙන කෙනෙක් එයි. මාලිංග ලෝක පූජිත ක්‍රීඩකයෙක්. ලෝක පූජිත ක්‍රීඩකයෝ හොඳ නායකයෝ වෙන්නේ නෑ. හොඳ නායකයෝ ඇතැම්විට ලෝක පූජිත නොවේවි. අප මෙතැනදී බැලුවේ රටක් ගැන පමණයි. පුද්ගල නාම එකක්වත් වැඩක් නෑ“ සිල්වා මහතා පැවැසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්තා ද මෙල් මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසූවේ නායකත්වයෙන් ඉවත් කිරීමට හේතු පිළිබඳ ඉන්දියාවේ සිටින මාලිංග සමග පැය භාගයකට අධික කාලයක් දුරකතනයෙන් සාකච්ඡා කළ බවයි.“ මා ඔහුට තේරුම්කර දුන්නා සියල්ල. ඔහු දක්ෂ නායකයෙක් නමුත් කණ්ඩායමක් ලෙස ඔහුට ඉදිරියට යන්න බෑ. එවැනි තත්ත්වයක් තුල අපට වගකීමක් දෙන්න බෑ. එයාට ටීම් එක එකට තියාගන්න බැරිනම් අප මොකද කරන්නේ. අපට ඒ නිසා තීන්දුවක් ගන්න වෙනවා. දිමුත් කණ්ඩායම සමග එකට ඉන්න ක්‍රීඩකයෙක් බව ඔප්පු වෙලා ඉවරයි. මාලිංගට ඇතැම් ප්‍රශ්න පාලනය කරගන්න බෑ“ මෙල් මහතා පැවැසීය.

මාලිංග නිමාවූ එක්දින තරග 12කදී නායකත්වය දුන් අතර ඒ සියලු තරග වලින් ශ්‍රී ලංකාව පරාජයට පත්ව ඇතැයිද මෙල් මහතා සිහිපත් කළේය.

ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තමන් අපේක්ෂා කරන අතර එසේ නොවුණහොත් ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගන්නා බව ලසිත් මාලිංග කලින්ම පවසා තිබිණි.

ලසිත් මාලිංග බොහෝවිට මත භේදාත්මක ප්‍රකාශ නිකුත් කරන්නකු ලෙස ප්‍රකටව ඇති අතර ඔහුගේ බිරිය හා තිසර පෙරේරාගේ බිරිය අතර සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ සිදුවූ මතභේදාත්මක අදහස් හුවමරුවක් පසුගියදා ලැව් ගින්නක් සේ පැතිර ගියේය.

නව අදහස දක්වන්න