වෝනර්ගේ පිතිහරඹයෙන් සන්රයිස් ජය ගනී | දිනමිණ

වෝනර්ගේ පිතිහරඹයෙන් සන්රයිස් ජය ගනී

සිය සුපුරුදු පිතිහරඹය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට නැවත පෙන්නුම් කළ ඔස්ට්‍රේලියානු පිලේ හිටපු උපනායක ඩේවිඩ් වෝනර් හතරේ පහර 10ක් සමග පන්දු 25කින් ලකුණු 50ක් රැස් කරමින් අයි.පී.එල්. තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් පිලට එරෙහිව පෙරේදා රාත්‍රී හයිද්‍රබාද් නුවර පැවැති තරගයේදි සන්රයිස් හයිද්‍රබාද් පිලට කඩුලු 6ක පහසු ජයක් අත්කර දීමට සමත්විය.

සිය නායකයා වූ ස්ටීවන් ස්මිත් සමග එක්ව පන්දුව පළුදු කිරීමේ චෝදනාවට හසුව වසරක තරග තහනමකට ලක්වී සිටි මේ ප්‍රහාරාත්මක පිතිකරුවා එළැඹෙන ලෝක කුසලාන තරගාවලියේදී ප්‍රතිවාදීන්ට දැඩි තර්ජනයක් එල්ල කරන බවට මේ පිතිහරඹය කදිම අනතුරු ඇඟවීමකි.

පළමුව පන්දුව පහරදුන් චෙන්නායි පිල ඕවර 20 අවසානයේ කඩුලු 5කට රැස් කළ ලකුණු 132 හඹා ගිය සන්රයිස් පිලට ජයග්‍රහණය සඳහා වැයවූයේ කඩුලු 4කුත්, ඕවර 16.5කුත් පමණි.

වෝනර්ට අනගි සහයක් ලබාදුන් ජොනී බෙයාර්ස්ටොව් නොදැවී ලකුණු 61ක් රැස් කළ අතර ඊට පන්දු 44ක් වැය විය. ඔහුගේ ඉනිමට හතරේ පහර සහ හයේ පහර 3 බැගින් ඇතුළත් විය.

චෙන්නායි පිල - 132/5 (ඕවර 20) ෆෆ් ඩුප්ලෙසි 45, ශේන් වොට්සන් 31, අම්බති රායිදු නොදැවී 25 (රෂීඩ් ඛාන් 17/2)

සන්රයිස් පිල - 137/4 (ඕවර 16.5) ජොනී බෙයාර්ස්ටොව් නොදැවී 61, ඩේවිඩ් වෝනර් 50 (ඉම්රාන් තාහීර් 20/2)


නව අදහස දක්වන්න