අපරාජිත සා.ජෝශප් ක්‍රීඩකයෝ කුසලානය හඹා යති | දිනමිණ

අපරාජිත සා.ජෝශප් ක්‍රීඩකයෝ කුසලානය හඹා යති

ෆවුස් මොහොමඩ්

අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ පළමු වටය නිමාවනවිට එකම අපරාජිත කණ්ඩායම ලෙස පෙරමුණ ගත් මරදාන සාන්ත ජෝශප් විදුහල් පිල මේ මස 22දා ඇරැඹෙන කුසලාන වටයේ පළමු තරගයට වෙස්ලි විදුහල් පිල සමග තරග වදියි.

පළමු වටය නිමාවනවිට ‘බී‘ කාණ්ඩය යටතේ තරග වැදුණු සාන්ත ජෝශප් විදුහල් පිල තරග 5ම ජයගැනීමට සමත්ව සිටින අතර කුසලාන වටයේදී සිය අපරාජිතභාවය තව දුරටත් රැක ගනිමින් කුසලානය අත්පත් කරගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි.

ප්‍රසාද ලකුණු 3කුත් සමග මුළු ලකුණු 28ක් ලබා සමස්ත ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින සාන්ත ජෝශප් විදුහල් පිල සමග 22දා සී.ආර්.පිටියේ දී තරග වදින වෙස්ලි විදුහල් පිල තරග 2ක් පමණක් ජයගෙන ප්‍රසාද ලකුණු 4ක් සමග රැස් කළ මුළු ලකුණු සංඛ්‍යාව 14කි.

මේ අතර කුසලාන වටයට එක්වී සිටින ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් පිල සහ ඉසිපතන විදුහල් පිල අතර තරගය ද එදිනම සාන්ත තෝමස් පිටියේ දී පැවැත්වෙයි. කුසලාන වටයට එක්වී සිටින ඉසිපතන විදුහල් පිල සමස්ත ලකුණු සටහනේ දෙවැනි තැන පසුවන්නේ ප්‍රසාද ලකුණු 4ක් සමග මුළු ලකුණු 24ක් රැස් කරමිනි. සාන්ත තෝමස් පිල ප්‍රසාද ලකුණු 4ක් සමග මුළු ලකුණු 19ක් ලබා සමස්ත ලකුණු සටහනේ 5 වැනි තැන පසුවෙයි.

මීට අමතරව සාන්ත පීතර, රාජකීය, ත්‍රිත්ව, සහ විද්‍යා විද්‍යාලය ද කුසලාන වටයට එක්වී සිටින අතර පළමු වටයේදී දැඩි පසුබෑමකට ලක්වූ කිංග්ස්වුඩ්, ඩී.එස්.සේනානායක, සාන්ත අන්තෝනි, ධර්මරාජ, විද්‍යාර්ථ, සහිරා, සුමංගල සහ මලියදේව විදුහල් කණ්ඩායම් පළඟ ශූරතා තරග වටයට ඇතුළත් වෙයි.

පළඟ ශූරතා තරග වටයට එක්වී සිටින කණ්ඩායම් අතර පෙරමුණේ පසුවන කිංග්ස්වුඩ් විදුහල් පිල සහ සුමංගල විදුහල් පිල අතර එම වටයේ පළමු තරගය හෙට (20) නිත්තවෙලදී පැවැත්වෙයි. විද්‍යාර්ථ සහ සහිරා විදුහල් අතර තරගය 21 වැනිදා එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙන අතර මලියදේව සහ ඩී.එස්.සේනානායක විදුහල් අතර තරගය එදිනම කුරුණෑගල දී පැවැත්වීමට නියමිතය. පළඟ ශූරතා වටයේ පළමු සති අන්තයේ අවසන් තරගය 22දා නිත්තවෙල පැවැත්වෙන්නේ ධර්මරාජ විදුහල් පිල සහ සාන්ත අන්තෝනි විදුහල් පිල අතරය.

 

නව අදහස දක්වන්න