පක්ෂය, නායකත්වය, ජනතාව පාවාදෙන්නේ නෑ | දිනමිණ

පක්ෂය, නායකත්වය, ජනතාව පාවාදෙන්නේ නෑ

සජිත් ප්‍රේමදාස අද දේශපාලන කුමන්ත්‍රණ සිදු කරන බවට විරුද්ධවාදීන් විවිධ දේශපාලන කටකතා පතුරුවන බවත්, විරුද්ධවාදීන් කුමන කුමන්ත්‍රණ සිදු කළත් තමන් කිසිවිටක තම පක්ෂය, පාක්ෂිකයින් හෝ පක්ෂ නායකතුමන් පාවා නොදෙන බවත් නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා මෙම අදහස් පළ කෙළේ 'සැමට සෙවණ ජංගම මෙහෙවර' වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් 53ක ජනතාවට රුපියල් ලක්ෂ 8110කට අධික වටිනාකමින් යුත් ප්‍රතිලාභ බෙදාදීම සහ නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත රුපියල් ලක්ෂ 550ක වියදමින් ඉදිකෙරුණු වලස්මුල්ල නව බස් නැවතුම්පොළ ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිණි.

මෙම උත්සවය අද (18) දින වලස්මුල්ල නගරයේ පිහිටි නව බස්නැවතුම්පොළ පරිශ්‍රයේදී පැවැත්විණි. තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.

තමන් රටේ ඉහළ තනතුරු කරා ගමන් කරන්නට සූදානම් නමුත් ඒ රටේ පොදු ජනතාවගේ කරමතින් මිස හොර පාරෙන් නොවන බවද ඇමැතිවරයා අවධාරණය කෙළේය.

රාජ්‍ය බලය නැමති හැන්දෙන් තමන්ට හෝ තම පවුලට බෙදා ගැනීමට කිසිදිනෙක කටයුතු නොකර මෙරට ලක්ෂ 220ක් පමණ වන පුරවැසි පරපුරේ බඩකට පුරවන යුගය තමන් ආරම්භ කරන බවද ඇමැතිවරයා සඳහන් කෙ‍ළේය.

රණසිංහ ප්‍රේමදාස වන තම පියාණන්ව මෙරට ජනතාව පුංචි තැන සිට රටේ ඉහළම පුටුව දක්වා රැගෙන ගිය බවත්, එතුමා රජ පුටුවට පැමිණ නැවත හැරී බැලුවේ පැමිණි ගමන් මඟ දෙසත්, තම ජනතාවට කළ ගුණ දැක්වීමට බවත් පැවසූ ඇමැතිවරයා තමන් ද තම පියා අනුගමනය කරමින් මෙරට ජනතාවට ශක්තිමත් ජන ජීවිතයක් උදාකරදීමට සූදානම් බවත් පැවසීය.

මෙහිදී ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 1392කට රුපියල් ලක්ෂ 6584ක් වටිනා 'විසිරි නිවාස ණය' පවුල් 5කට රුපියල් ලක්ෂ 32ක් වටිනා 'විරු සුමිතුරු' පවුල් 86කට රුපියල් ලක්ෂ 435ක් වටිනා 'ග්‍රාම ශක්ති නිවාස ආධාර' පවුල් 334ක් සඳහා රුපියල් ලක්ෂ 668ක් වටිනා 'සොඳුරු පියස නිවාස ණය' දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 830 දෙනෙකුට නොමිලේ ඇස් කණ්නාඩි, අභ්‍යාසලාභීන් 87කට රුපියල් ලක්ෂ 43ක් වටිනා 'ශිල්ප සවිය' ප්‍රතිලාභ ප්‍රදානය කිරීම, ප්‍රතිලාභී පවුල් 1301කට රුපියල් ලක්ෂ 339ක් වටිනා සිමෙන්ති ආධාර ප්‍රදානය, රුපියල් 150000/-ක් වටිනා ස්වයං රැකියා ණය සහ පෙර පාසල් 37කට රුපියල් ලක්ෂ 2වක් වටිනා ජලපෙරණ යන්ත්‍ර ප්‍රදානය කිරීමද අමාත්‍යවයා අතින් සිදු කෙරිණි.

මෙම අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් සහ ප්‍රදේශවාසී විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

නව අදහස දක්වන්න