බ්ලොක් ගල් බිත්තියකට යටවී වයස තුනහමාරක දැරිය මියයයි | දිනමිණ

බ්ලොක් ගල් බිත්තියකට යටවී වයස තුනහමාරක දැරිය මියයයි

අවුරුදු දා සීයා ගේ ගෙදර ගොස් එම නිවෙසේ ජනේලයට ඉටිරෙද්දක් ගසා දීමට ගිය අවස්ථාවේදී බොලොක් ගල් බිත්තිය ගැලවී ඇතුළුපැත්තේ සිටි අවුරුදු තුන හමාරක දැරියකගේ ඇඟට වැටී මිය යෑමේ ශෝක ජනක සිද්ධියක් කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය සංකීර්ණයේ පැවැති හදිසි මරණ පරීක්ෂණයක දී පසුගිය දා අසන්නට ලැබුණි.

සිද්ධියෙන් මිය ගොස් තිබුණේ ජී. ජී. වයි. ගිහන්සා දෙව්මිණි නම් දැරියකි. වරකාපොළ හදිසි මරණ පරීක්ෂක විමලසිරි රාජපක්ෂ මහතා ඉදිරියේ විභාගවූ හදිසි මරණ පරික්ෂණයේදී සාක්කි දුන් මිය ගිය දැරියගේ පියා මෙසේ පැවැසීය. අපි වරකාපොළ පොලිස් වසමේ ගලපිටමඩ එබ්බිඩිගල අඹතැන්න ලිපිනයේ පදිංචිකරුවන්. මම පසුගිය 11 දා නිවාඩු ලබා ගෙදර ආවා. අපි 13 දා මගේ පියා බැලීමට අපි පවුලේ සියලු දෙනා පියා පදිංචි නිවෙසට පැමිණ එහි නතරවුණා. පසුදා 14 දා බාගෙට ඉදිකරමින් තිබූ එම නිවසේ ජනේලයට ඉටි රෙදි ආවරණයක් සදාදෙන ලෙස කීවා. අපි ඒ ඉටිරෙද්ද සවිකරමින් සිටියදි එම බිත්තිය ගැලවී ඇතුළට පෙරළුණා. පසුව අපි දුව කෝ කියල සොයද්දි ඇය එම බිත්තියට යටවී සිටිනු දැක්කා. අපි වහාම ඇය වරකාපොළ රෝහලට ගෙන ගියත් ඇය එහිදි මිය ගොස් සිටියා.

මළසිරුර පිළිබද පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍ය ඩබ්ලිව්. ජී. මදරසිංහ මහතා විසින් සිදුකළ අතර ලබාදුන් සාක්කි හා පොලිස් විමර්ශන අනුව මේ මරණය හිසට සිදුවු බරපතළ තුවාල හේතුවෙන් සිදුවූවක් බවට හදිසි මරණ පරික්ෂකවරයා නිගමණය කර තිබුණි. වරකාපොළ පොලිසිය උ. පො. ප. ශාන්ත කුමාර මහතා ප්‍රධාන නිලධාරීහු මේ පිළිබඳ වැඩිදුර පරික්ෂණ පවත්වති.

සබරගමුව සමූහ - ගාමිණි රම්‍යපාල


නව අදහස දක්වන්න