මොරගහකන්දේ මාළු හොරපාරෙන් ගලේවෙලට | දිනමිණ

මොරගහකන්දේ මාළු හොරපාරෙන් ගලේවෙලට

මොරගහකන්ද ජලාශයට රජය මගින් මුදාහැර ඇති මසුන් හොර රහසේ අල්ලා ගලේවෙල ප්‍රදේශයට අලෙවිකරන ජාවාරමක් ක්‍රියාත්මක බව ජලාශය ආසන්නයේ පදිංචිකරුවෝ කියති.

ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය මඟින් මොරගහකන්ද ජලාශයට මුදාහැර ඇති මත්ස්‍ය පැටවුන් සංඛ්‍යාව ලක්ෂ 15 ඉක්මවන බව ජලාශ භාර වාරි ඉංජිනේරුවරු පසුගි දා කියා සිටියහ.

මෙම මසුන් මේ වන විට වර්ධනය වී ඇති හෙයින් ජලාශය හේතුවෙන් අවතැන් වු පිරිස් සඳහා විවිධ පුහුණු හා ධීවර ආම්පන්න රැසක් ලබාදෙමින් මේ වන විට ධීවර සමිති පවා ඇති කිරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පියවර ගෙන තිබේ.

එවැනි පසුබිමක් යටතේ රාත්‍රි කාලයේ දැල් යොදා ගනිමින් හොර රහසේ අල්ලා ගනු ලබන මත්ස්‍ය අස්වැන්න ගලේවෙල ප්‍රදේශයට අලවිකිරීමේ සංවිධානාත්මක ජාවාරමක් ක්‍රියාත්මක් වන බව තතු දත් ප්‍රදේශවාසීහු කියා සිටිති.

මෙම තත්ත්වය හමුවේ ජලාශය තුළ ක්‍රියාත්මක ධිවර සමිතියක් වන දිරිය ධිවර සංවිධානයෙන් කළ විමසීමක දී එහි ප්‍රකාශකයකු කියා සිටියේ සිය සංවිධානයටද මෙම තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බවත්ය.

කිලෝ මීටර් ගණනක පැතිරී ඇති මොරගහකන්ද ජලාශයට පිවිසිය හැකි විවිධ මාර්ග සම්බන්ධයෙන් අවධානයක් ඇති හා පහසුවෙන් ජලාශයට ළඟාවිය නොහැකි ස්ථාන වලින් සංවිධානාත්මකව මෙම මත්ස්‍ය හොරකම කලක් තිස්සේ සිදුවෙමින් පවතින බව තතු අනාවරණයකරන පිරිස් කියා සිටිති.

ජාවාරම් කරුවන් ආවරණය කරන ලද කුඩා ලොරි රථ (freezer) මේ සදහා යොදාගන්නා බවත් ඇතැම් අවස්ථාවල ආරක්ෂක අංශ නොමඟ යැවීම සඳහා අලුයම් කාලයේ පැමිණෙන මෙම රථවල බාහිරින් අයිස්ක්‍රිම් ලාංඡන යොදාගෙන මෙම ජාවාරම සිදුකරන බව ප්‍රදේශවාසිහු කියති.

සංවිධානාත්මකව කලක් තිස්සේ සිදුවන මෙම ජාවාරම හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ විශාල මුදලක් වැයකර අභිජනනය කර ඇති මත්‍ස්‍ය සම්පත අවභාවිතා වන බවත් එය වළක්වා ගැනීම සඳහා කඩිනම් පියවරක් බලධාරින් විසින් ගතයුතු බවත් ප්‍රදේශවාසිහු අවධාරණය කරති.

නාඋල සමූහ
අයි.ඒ. කුමාර

නව අදහස දක්වන්න