මහ සිකුරාදා ලොව කම්පාකළ ඛේදවාචකය | දිනමිණ

මහ සිකුරාදා ලොව කම්පාකළ ඛේදවාචකය

කිතු බැතිමතුන් ‍ජේසුස් වහන්සේගේ මරණය සිහිපත් කරන දිනයයි මහා සිකුරාදා.

සොරුන් දෙදෙනෙකු මැද අහසත් පොළවත් අතර මරණාසන්නව කුරුසියේ එල්ලී සිටි කිතු සමිඳා‍ණෝ සුවිශේෂ වාක්‍ය සතක් වදාළහ.

පළමුවන වාක්‍යය

කුරුසියෙහි ඇණ ගසනු ලැබූ වරදකරුවෝ “අහෝ!” මෙවැනි ඉරණමකට මුහුණ දෙනවාට වඩා තිඹිරිගෙයිම මළා නම් යහපතැයි මොර ගසමින් කුරුසිය අසළ සිටි වදකයින්ට, හේවායින්ට පමණක් නොව, තමන් හැදූ වැඩූ මව්වරුන්ට පවා කෙළ ගසමින්, බැන වදිමින් ශාප කළෝය.

සතුරන්ට ප්‍රේමකරන්න. වෛර කරන්නන්ට යහපත කරන්නැයි සුබ වදන් එලෙසින්ම ක්‍රියාවට නැංවූ කිතු සමිඳාණෝ සිය අත් පා, සිදුරු කරනු ලැබ සිරුරේ බරින් එල්ලී වේදනාවෙන් මිරිකී සිටි අවස්ථාවේ සිය දේශනා අමතක වී, ශාප කරන සැටි අසන්නට, දකින්නට ලේකම්වරුද , ඒර්සිවරුද, දුක් අ‍ඳෝනාවන්ට සවන්දීම සිරිතක් කරගත් හේවායෝද කුරුසිය අවට රැස්ව සිටියහ.

මොවුන්ට අසන්නට සිදු වූයේ බලාපොරොත්තු වූවාට වඩා හාත්පසින්ම වෙනස් කුලුනුබර වදන්ය. සඳුන් ගසට පහර වදින්න, වදින්න වඩ වඩා සුවඳ විහිදෙන්නා සේම ප්‍රේම වෘක්ෂයේ රැඳවූ සමිඳාණන් කෙරෙන් සමාවේත්, දයාවේත්, සෞම්‍යවූද, මිහිරි වූද වදනක් නික්මුනේය.

“පියාණෙනි ඔවුන්ට කමා වුව මැනව.

ඔවුන් කරන දෙය ඔව්හු නොදනිති”

දෙවන වාක්‍යය

වම් පසින් ඇණ ගසනු ලැබ සිටි වරදකරු කිතු සමිඳුන්ට අපහාස කරමින්, “ඔබ ක්‍රිස්තුස් නොවේද? ඔබවත් ගලවාගෙන අපවත් ගලවා ගන්නැයි කියමින් කුරුසියෙන් පහළට බස්සවන ලෙස අයැද සිටී.

දකුණු පාර්ශවයේ සිටි චුදිතයා ඔහුට තරවටු කරමින්, “දඬුවමට පැමිණ සිටින ඔබ දෙවියන්වහන්සේටවත් බිය නැද්ද? අපට දඬුවම් ලැබීම සාධාරණය. අපට මේ ලැබෙන්නේ අපේ ක්‍රියාවලට සුදුසු විපාක හැටියට ය. එහෙත් මේ තැනැත්තා කිසි වරදක් කර නැතැයි” පැවසීය.

“ජේසුස් වහන්ස, ඔබ රාජ ශ්‍රීයෙන් වඩින කළ මා සිහිකළ මැනවයි” කියමින් ඉහළට ඔසවන ලෙස ඔහු අයැද සිටී.

මොහු කිතු සමිඳාණන්ගේ කරුණා ගුණ මහිමයෙන් ක්ෂමාව අයැද සිටී.

මරණාසන්නව සිටි වරදකරුවෙක්, මරණාසන්නව සිටි නිදොස් අයකුගෙන් සදාතන ජීවනය පැතූ අන්දමයි ඒ. දකුණු පාර්ශවයේ සිටි සොරා කොන්දේසි විරහිතව විශ්වාසයෙන් යුතුව කළ අයැදීම කිතු සමිඳාණන්ගේ දූත මෙහෙවරට බොහෝ සෙයින් සමීප වූ හෙයින් ඒ මොහොතේම ඔහුට සමාව ලැබුනි.

“ඇත්තෙන්ම මම ඔබට කියමි.

ඔබ මා සමඟ අදම පාරාදීසයෙහි සිටින්නෙහිය.

තුන්වන වාක්‍යය

කානා නුවර විවාහ මංගල්‍යයේදී කිතු සමිඳාණෝ තම මෑණියන් ඇමතීමට භාවිතා කළ වදනම කුරුසියේ සිට භාවිතා කළහ. විවාහ මංගලෝත්සවයේදී මිදි යුෂ නැතැයි සිය මෑණියන් කළ ඉල්ලීමට පිළිතුර වූයේ “ස්ත්‍රිය ඔබත් මාත් කරදර වෙන්නේ කුමකටද? මගේ මොහොත තවම පැමිණ නැතැයි” යනුවෙනි.

ඒ මොහොත කිතු සමිඳුන්ගේ දුක්ප්‍රාප්තිය හා මරණය ඉඟිකළ මොහොතයි. ඒ මොහොත කුරුස ගමනේ ප්‍රථම පියවරයි. ප්‍රශ්නය වූයේ ප්‍රාතිහාර්ය පෑම නොව, කුරුසියේ ගමනාරම්භයේ මොහොත ළංවීද යන්නයි.

කුරුසියේ වැඩහුන් මොහොතේ, කිතු සමිඳුන් කුරුසිය පාමුල සිටි තම මෑණියන් හා ප්‍රේම කළ ශ්‍රාවකයා ළඟ සිටිනු දැක “ස්ත්‍රිය මෙන්න ඔබේ පුත්‍රයා “යයි සිය මෑණියන් හට වදාළහ.

ඉන්පසු ශ්‍රාවකයාට කතා කොට “මෙන්න ඔබේ මෑණියෝ” යැයි වදාළහ.

සතරවන වාක්‍යය

දහවල් දොළහේ සිට සවස තුන දක්වා දේශය පුරා මහා ඝනාන්ධකාරයක් පැතිරුණි. බෙත්ලෙහෙමේ එදා මධ්‍යම රාත්‍රියේ කිතු උපතේදී රාත්‍රි අහස ඒකාලෝක වුවත්, මෙදා මහා සිකුරාදා මධ්‍යහ්නයේ කිතු සමිඳාණන් කුරුසියක ඇණ ගසනු ලැබ, නින්දාවට පත් වෙද්දී, ශත වර්ෂ ගණනාවකට පෙර දිවැසිවර ආමෝස් ප්‍රකාශ කළ පරිදි මහා දවාලේ අන්ධකාරය රජවිය.

“ඒ දවසේදී මද්දහන වේලාවේ ඉර බසින්නට සලස්වන්නෙමි.

මහා දවාලේ පොළොව අන්ධකාර වන්නට සලස්වන්නෙමි”

(අමොස් 8:19)

කිතු සමිඳුන්ගේ දුක් වේදනාවේ දෙවන අදියර එළඹුනි. ක්‍රමයෙන් රුධිර නාලවල රුධිරය කැටි ගැසෙන්නට විය. කටු ඔටුන්නේ තුවාලවලින් ගැලූ ලේ ධාරාවලින් ශ්‍රී වත මඬල තෙත්විය.

දුකේදී ලෝකයා විසින් අත්හැර දමනු ලැබීමත්, ලොවේ තනිවීමත්, ඉවසිය නොහැකි දුක් වේදනාවන් වන්නට ඇත. තමන් මුළු ලොවින් මෙන්ම දෙව්පියාණන් විසින්ද තනි කළ බවක් දැනෙන්නට ඇත.

අවුරුදු දහස් ගණනකට පෙර දාවිත් රජු ගේ ගී කාණ්ඩයකින් කොටසක් උන්වහන්සේගේ මුවින් නික්මුනි.

“මාගේ දෙවියනි, මාගේ දෙවියනි,

ඔබ මා අත්හැරියේ මන්ද?”

පස්වන වාක්‍යය

කුරුසියේ මෙතෙක් වේලා අන්‍යයන් උදෙසා සිත යොමු කළ සමිඳාණෝ තමන් වෙතද සිත යොමු කරන්නාක් මෙන් පෙනුනි. සිරුර ඉරි තැලී, පොඩි වී, තුවාල වී, බාහිරව හා අභ්‍යන්තර රුධිර වෑහීමද, දෑත් දෙපා ඇදී නුහුරු නුපුරුදු ඉරියව්වක කුරුසියේ එල්ලී සිටීමෙන් මස් පිඩුවල වේදනාව, කටු ඔටුන්නෙන් හිස සිදුරුවී හිසේ වේදනාව, හදවතේ වේදනාව සිරුර ඉදිමීම හා විජලනය අධික පිපාසයත් ඇති කරයි.

“මා දෙන ජලය පානය කරන කවරෙකුට වුවද කිසිසේත් පිපාසා නොවන්නේ යයි” දිනෙක සමරිතානු ස්ත්‍රියට පැවසූ සමිඳාණන්ගේ මුවින් ඉතා කෙටි වාක්‍යයක් නික්මුණේ ය.

“මට පිපාසයි”

සයවන වාක්‍යය

“දෙවියන් වහන්සේ ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුවද ලොවට දෙවා වදාළ සේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනාම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණිසය.” ජොහාන් තුමාගේ සුවිශේෂයෙහි මෙසේ සඳහන්ව ඇත. (ජොහාන් 3:16)

අකීකරු කමින් දෙවිඳුන් හා දෙව් සරණය ප්‍රතික්ෂේප කළ ආදම් වෙනුවට දුක් විඳ, ජීවිත පූජාවෙන් දේව සැලැස්මට අවනත වෙමින් මරණය දක්වා කීකරු වූ කිතු සමිඳාණෝය. උඩඟු ඒව වෙනුවට බැහැපත් කන්‍ය මරියාවෝය. වරදට පාදක වූ සුගති උද්‍යානයේ ගස වෙනුවට වරද නිවරද කිරීම පිණිස කල්වාරියේ කුරුස ගස විය.

“සාගින්නේ දී ඔව්හූ මට වහ දුන්නෝ ය. පිපාසයේදී ඔව්හු මට තිත්ත කාඩි බොන්න දුන්නෝය.” (ගීතාවලිය 69:21)

කිතු සමිඳාණන්ගේ දුක් වේදනා පමණක් නොව නින්දා අපහාස විඳීමද, නිමවිය.

දිවැස් වැකි සම්පූර්ණ වනු පිණිස ක්‍රිස්තුස් වහන්සේ තිත්ත කාඩි තොලගා මෙසේ පැවසීය.

“සියල්ල නිමවිය”

සත්වන වාක්‍යය

කිතු සමිඳුන්ගේ සත්වන වාක්‍යය එතුමන් මහිමයට ප්‍රවිෂ්ඨවීමේ ප්‍රකාශයයි.

දෙව් බව ඉවතලා, මනුකය ගෙන මෙලොව ඉපිද, තිස්තුන් වසරක් සිය මාංශයද, රුධිරයද, ප්‍රඥාව හා බලයද, දිව්‍යමය සම්පත් සියල්ලද, පව්කාරයින් අතර වැය කොට,මිතුරන් හා සතුරන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ, පිපාසයට තිත්ත කාඩි පානය කොට, කිතු සමිඳාණෝ දෙවි පියාණන්ගේ ගෘහයට නැවත හැරී එන මොහොත පැමිණි කල මහත් ශබ්දයකින් මෙසේ මොර ගසා ප්‍රාණය පුද කළහ.

“පියාණෙනි, ඔබගේ හස්තයට මාගේ ආත්මය භාරදෙමි.

(මෙය ගීතාවලියේ වාක්‍ය කාණ්ඩයකි. (36:5)

එවිට මද්දහනේ වේලාව පමණ විය. රටපුරා මහා අන්ධකාරයක් පහළ විය. දේව මාලිගාවේ තිරය දෙකඩ වී ඉරී ගියේ ය. ගිරිකුළු දෙදරිනි. පැලුනි. සොහොන් ගෙවල් විවර විය. මළවුන් උත්ථාන වූහ.

බෙත්ලෙහෙම් පුරේ දිළිඳු ගව ලෙනක උපන් ජේසුතුමා තිස්තුන් වසරක් දිවිගෙවා ස්වකීය දූත මෙහෙවර අවසානයේ කුරුසියක ඇණ ගසනු ලැබ උකුත් වූ පසු ගල්ලෙනක තැන්පත් කළහ.

මුළු මිනිස් සංහතියේ ගැලවුම්කරුවාණන් වූ නියෝජිතයාණන් වූ බිළි පඬුරක් වූ කිතු සමිඳාණන්ගේ සිය ජීවිතය අවසානයේ වදාළ එතුමන්ගේ සිතුවිලි අවසාන වාක්‍යයේ මිනිසා අතරේ පවතී.

උතුම් දෙව් බව ඉවත ලා, දුක් විඳින සේවකයාගේ ස්වරූපය ගෙන මිනිස් බව වැළඳගෙන මරණය අබියස සිටී. කිතු සමිඳුන් හා සමාන උතුම් දේශකයකු වත්, එතුමන්ගේ අවසාන වාක්‍යය වැනි දේශනයක් වත් ලොවේ කිසි දිනෙක ඇතිවන්නක් නොවේ.

තවද, දරුණු වේදනාත්මක නීච, නින්දිත මරණය ගෙන දුන් කුරුසිය නම් වූ එල්ලුම් ගස කිතු සමිඳුන්ගේ ශ්‍රී කුරුසිය, පූජනීය වස්තුවක්ද, ප්‍රේමයේ ජය ටැඹක්ද, පරිත්‍යාගයේ සංකේතයද බවට පරිවර්තනය විය.

කොරළවැල්ලේ සාම විනිසුරු
ක්‍රිස්ටි ප්‍රදිනාන්දු

නව අදහස දක්වන්න