ආසියාවේ විශාලතම දූව පාස්කු දර්ශනය | දිනමිණ

ආසියාවේ විශාලතම දූව පාස්කු දර්ශනය

විවිධ ප්‍රමාණයෙන් යුතු බෝට්ටුවල ඉහළට එසවනු කුඹගස්වල අග එල්ලෙන කොඩි, සුළඟින් ළෙලදෙන අයුරු මනරම්ය. මෙය කෙනකුගේ මතකයට ගෙන එන්නේ ජේසුතුමා ගලීලයේ මහා කුණාටුව නිහඬ කිරීමේත්, මුහුද මත ඇවිදීමේත්, ධීවරයන්ට තමා පසු පස එන ලෙස පැවසීමේ සිද්ධියෙත් දසුන්ය.

පුංචි රෝමය යනුවෙන් විරුදාවලිය ලත් මීගමුව නගරයට ආසන්නව පිහිටි “දූව” වාසනාවන්ත ප්‍රදේශයකි. එය එසේවන්නේ ජේසුතුමාගේ ජීවිත කතාවේ දුක්ප්‍රාප්තිය දක්වා සෑම වැදගත් සිදුවීමක්ම නාට්‍යානුසාරයෙන් පෙන්වීමට දූව ධීවර ජනතාව වසර 400 තරම් දිගු කාලයක සිට සමත් වී තිබීම නිසාවෙනි. වෙන වචනවලින් නම් ඔවුන්ගේ පාස්කු නාට්‍ය දැක්ම අද ආසියාවේම දැවැන්තම පාස්කු නාට්‍ය බවට පත් වී ඇත.

මේ පාස්කු දර්ශන පෙන්වීම 1728 වර්ෂයේ දී නැවත සංස්කරණය වී පැවත එන බවට සාක්ෂි ඇත. අර්නස්ට් පෝරුතොට පියතුමා විසින් දූව 1839-1939 ජුබිලි සැමරුම පොතට ලියන ලද ලිපිය අනුව එතුමා විසින් දූව පාස්කු දර්ශනයට පමණක් ආවේණික වූ සුලක්ෂණ පහක් ගෙන හැර දක්වයි.

1. එහි නාට්‍ය රූප රංගනය සඳහා යොදාගෙන ඇත්තේ, ගරු ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමා විසින් රචිත “දුක් ප්‍රාප්ති ප්‍රසංගා” යන ග්‍රන්ථයයි. මේ අනුව බැලූ කලද දූවේ ගම් වැසියන් අවුරුදු 291 පුරා නොකඩවාම මෙම රංගනය ඉදිරිපත් කිරීම ඓතිහාසික සිදුවීමකි

2. 1939දී දූවේ ජනතාව ආශ්චර්යවත් ක්‍රිස්තු ප්‍රතිමාව යොදා ගනිමින් ජුබිලි වසර සැමරීම. මෙහිදී එක් පෙරළිකාර සිදුවීමක් නම් පෙරළිකාර පූජකතුමකු වූ ගරු මර්සලින් ජයකොඩි පියතුමා විසින් ජාකොම් ගොන්සාල්වෙස් පියතුමාගේ “දුක්ප්‍රාප්ති ප්‍රසංගා” වෙනුවට වෙනස් වචන යොදා ගැනීමයි.

3. තවත් එවැනි නිර්භීත ඓතිහාසික කරුණක් නම් එතෙක් පැවති සුරුවම් වෙනුවට මිනිසුන් චරිත රඟපෑම සඳහා යොදා ගැනීමයි. මෙය සම්ප්‍රදායුනකූල කතෝලික මීසමක පහසුවෙන් කළ නොහැක්කකි. මීට වසර 80කට පෙර එවැනි දෙයක් පියතුමෙකු විසින් කීරිමත් එම ජනතාවද ඊට අනුරූපවීමත් පැසසිය යුතු නිර්භීත ක්‍රියාවකි.

4. කේ. ලොරන්ස් පෙරේරාගේ “ශ්‍රීධර” පාස්කු දර්ශන නාට්‍යයේ යොදා ගැනුනේ මිනිස් නළුවන්ය. මෙයද බලපෑමක් කළාදැයි සිතිය හැකි නමුත් වෙරෝනිකා සහ ක්ලොඩියා කාන්තා චරිත සඳහා දූවේ පාස්කු සම්පාදකයින් යොදා ගත්තේ පිරිමි චරිතයය.

5. දූව පාස්කු නාට්‍ය අන් සියලුම පාස්කු නාට්‍යවලින් වෙනස් වන තව කරුණක් නම් එහි ප්‍රෙක්ෂකයන්ද නාට්‍යයේම සැබෑ හවුල් කරුවන් වීමයි. එහි නාට්‍ය කොටස් ආගමික වත් පිළිවෙල ස්වරූපයක් ගැනීමත් එවැනි අවස්ථාවන් හි දූවේ ධීවර ජනතාවද ප්‍රේක්ෂකයන් වශයෙන් නොව නාට්‍යයේම කොටස්කරුවන් වශයෙන් ජේසු තුමා පසු පසින්ම (කුරුසිය කර තබා ජේසු තුමා ගමන් ගන්නා විට) ගමන් කරයි.

6. රංගන වේදිකාව කොටස් 3කින් සමන්විත වීම අනෙක් විශේෂ ලක්ෂණයයි. ප්‍රධාන මණ්ඩපයේ මධ්‍යයේ ජේසුතුමන්ගේ රාත්‍රී භෝජනය සිදු වන විට තවත් පසෙකින් ප්‍රධාන පූජක කයිපාස් සහ ජුදාස් ජේසුතුමන් පාවා දීම ගැන කුමන්ත්‍රණය කරයි. මෙය ඉතා තාත්වික බවක් නිර්මාණය කර පෙන්වයි. ඉට අමතරව පොදුවේ පැහැදිලි කරුණක් නම් පාස්කු දර්ශන පළමුවෙන්ම මෙරටට හඳුන්වා දෙනු ලැබුවේ පෘතුගීසින් බවට ඇති සාක්ෂින්ය.

කේ. ප්‍රැන්සිස් නමැති ලේඛකයා විසින් 1989 ලියන ලද ලිපියක ඔහු මෙසේ පවසයි. “දූවත් මීගමුවත් එක්කරන පාලම් එකල තිබුණේ නැත. ඒ නිසා මීගමුවේ සිට දූවට ආවේ ගියේ කලපුව හරහා ඔරු පාරු උපකාරයෙනි. බැතිමතුන්ගේ ගමන් පහසුව සඳහා මහ සිකුරාදාට පෙරදා සිටම වැඩි පුර පාරු කිහිපයක් යොදා තිබිණ. අහල පහල ගම් වලින් පමණක් නොව ඈත ගම්වලින් පවා බැතිමතුන් කල් වෙලා ඇතිව ඇවිත් තැනින් තැන වාඩිලා සිටිනවා දැකගත හැකිය. එය ඉතා ප්‍රසන්න දර්ශනයක් විය.

තවත් ඓතිහාසික කරුණක් නම් ශ්‍රී ලංකා ස්වාධීන රූපවාහිනි සේවයේ පළමු වරට එළිමහන් නාට්‍ය දර්ශනයක් රූගත කිරීම සිදුවන්නේද මෙම දූවේ පාස්කු නාට්‍ය සමඟයි. එය මුල් වරට රූපවාහිනියෙන් විකාශය කරනු ලැබුවේ 1981 පාස්කු ඉරිදා දිනයේදීය. එය නැවත සංස්කරණය කර “ජීවනය මම වෙමි” යනුවෙන් 1982දී විකාශනය කරන ලදී.

දැනට මීසම් සේවක ශිරාන් නිලෝෂ දස්ස පියතුමා මෙසේ පවසයි.

“එය අප සැමගේ හදවත් සැබැ ලෙසින්ම විවෘත කරයි. ජේසුතුමන්ගේ ශ්‍රෙෂ්ඨ අධ්‍යාත්මික චරිතය වැළඳ ගැනීමට අපට එය මඟ සලසයි. දූව වැසියන්ගේ අධ්‍යාත්මික දිවිය අපුරුවට වෙනස් කර ඇත්තේ මේ පාස්කු සම්ප්‍රදායයි.”

මෙහි රගපාන්නා වු නූතන තරුණ නළු නිළියෝද තමන්ටම අනන්‍ය වූ රංග කුසලතාවන්ගෙන් අනූන වූ අය වෙති. 1974දී වේදිකාගත වූ කටු ඔටුන්න පාස්කු නාට්‍යය අධ්‍යක්ෂණය කළ එම්. ඊ. ජේ. කෙලමන්ට් ප්‍රනාන්දු මහතාගේ මඟ පෙන්වීම අනුව නූතන පාස්කු වේදිකාවේ රඟ දැක්වු ප්‍රධාන චරිතවලින් දුලාජ් පින්තු (ජේසුතුමා) 2017. 2016 දී වික්‍රම ප්‍රනාන්දු (ජේසු තුමා) සහ තරංගනී ප්‍රනාන්දු (මරිය තුමිය) යන චරිත ඉතාම හසල අයුරින් එම චරිත නිරූපණය කළ නළු නිළියන් බවටද ප්‍රේක්ෂක භක්ති ආදරයට ලක් වූ බවද කිව යුතුය. සහය අධ්‍යක්ෂණය කළ රාජ් ලිවේරා මහතාගෙන් ලැබුණු දායක්වයද මෙහිදී සඳහන් කළ යුතුය.

බොහෝ කලක් මෙම පාස්කු නාට්‍ය අධ්‍යක්ෂනය කල එම්.ඊ.ෙජ්. කෙලමන්ට් ප්‍රනාන්දු මහතා මෙසේ පවසයි.

“මෙය අධ්‍යක්ෂණය කරනු ලැබීම මම භාග්‍යක් කොට සලකනවා. එය දූව ජනතාවගේද භාග්‍යයක්. මෙම නාට්‍ය අපගේ ජීවිත වැළඳගෙන තියෙනවා. ජේසුතුමන්ගේ දුක්ප්‍රාප්තිය අපි ඉතා ආශාවෙන් අපගේ ජීවිතවලට සම්බන්ධ කරගෙන තියෙනවා. මෙය තුළින් අපගේ ආධ්‍යාත්මය තව තවත් නංවාලීමට මම සැම විටම ශුද්ධවු බයිබලය කියවමින් අවශ්‍ය වෙනස්කම් ඉතා සුපරික්ෂාකාරීව කිරීමට නිතරම උත්සාහ කරනවා. එය මට ලැබෙන දේව වරප්‍රසාදයක්.”

මෙවර ද මෙම පාස්කු නාට්‍ය මහත් භක්ති ආදරයෙන් වේදිකා ගත කිරීම පිණිස දූවේ ජනතාව ලොකු කුඩා කවුරුත් එකා මෙන් සූදානමින් සිටිති. මුළු ලොව උරුමයක් බවට පත් වී ඇති මෙම දූවේ පාස්කු නාට්‍යයත් ඒ සඳහා යොදගනු ලබන ජනතාවගේ අතිමහත් ගෞරවාදරයට පත් වූ ජේසුතුමාගේ ඒ අසිරිමත් ප්‍රතිමාවත් දූව දූපතෙහි ජනතාව විසින් පරම්පරා ගණනාවක් තිස්සේ තම පණ මෙන් රැකගෙන ආ මානික්‍යයක් බඳුය.

අවසන් වශයෙන් ගරු මර්සලින් ජයකොඩි පියතුමා විසින් එහි මීසම් සේවක වශයෙන් සේවය කළ කාලය තුලදී මෙම ඓතිහාසික දූව ජනතාව ගැන ලියු කව් පෙළක් මෙසේය.

ඉන්දිය සයුරේ රැල්ලෙන් සේදෙන මේ මිණි මුතු දූවයි

ක්‍රිස්තු කතාවේ රඟ මඩලයි ඒ සිය පරපුරක් දුරයි

වසරක් හලමින් දෙවසක් පාසා කුරුසිය කරේ තබයි

එක මඟමයි අපි එක පවුලයි අපි මුතුවැල් පොටක් වගෙයි

අහුරට ගන්නා මැණික් මිටයි

කේ.එල්. රිචඩ්
වෝල්ටර් පෙරේරා


නව අදහස දක්වන්න