පාස්කු දින පණිවුඩ | දිනමිණ

පාස්කු දින පණිවුඩ

සමාජයේ අඳුරු බලවේග පලවාහරින පාස්කු ආලෝකය පතුරුවමු

- ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය පාස්කු පණිවුඩයෙන් කියයි.

අපගේ ගැළවුම්කරුවාණන් වූ නාසරතයේ ජේසුස් වහන්සේ මරණය පරාජය කරමින් විජයග්‍රාහීව උත්ථානවීම සමරන පාස්කුව ජනවන්දනා වසරේ අති උත්කෘෂ්ඨතම මංගල්‍යයයි. ශුද්ධ වූ ලූක් සුවිශේෂයේ සඳහන් වන දේව දූතයන්ගේ වදන්වලින් අප දෙසවන් දෝංකාර දෙන්නට සලස්වමු. “ඔබ ජීවමාන තැණැන්වහන්සේ මළවුන් අතර සොයන්නේ මන්ද? ඔවුන් වහන්සේ මෙහි නැත. ඔවුන් වහන්සේ උත්ථාන වූ සේක” (ලූක් 24:5). ඔවුන් වහන්සේගේ උත්ථානයේ බල මහිමයෙන් අප වෙත නැවුම් බලාපොරොත්තුවක් උදා වී ඇති අතර උත්ථාන වූ ස්වාමින් වහන්සේ වැඩ වසමින් ඔවුන් වහන්සේ අප වෙත තිළිණ කරන නව ජීවිතයෙහි සහභාගීවන්නට ආරාධනා කරන සේක.

මේ සතුටුදායක පාස්කු සමය කිතු සමිඳාණන් අප සමඟ ඇති කරගත් සමීපභාවය වඩාත් ගැඹුරු කරගැනීමටත් අප මධ්‍යයයේ වැඩ වසන බව පිළිබඳ අවබෝධය නවතාවයකට ගෙන ඒමටත් අපට ආරාධනා කරයි.අප ජීවිතයේ සමන්විතව ඇති අනියතභාවය, පිරික්සුම් සහ අභියෝග මැද උත්ථාන වූ සමිඳාණන්වහන්සේ අප කැටුව ගමන් කරන බැවින් ඔවුන් වහන්සේ තුළ වූ අප විශ්වාසය අපට සැනසීම දානය කරයි. පාස්කුව අපට සිහිපත් කරන්නේ කිතු සමිඳාණන් සිය බැටළු රැළ හැර නොයන බවත් ඔවුන් වහන්සේ නිරතුරුවම අප සමඟ වැඩ සිටින බවත් ය. කිතුනු සොම්නසේ මුල සාධකය වන්නේ ද එයමය.

ජාතියක් ලෙස අප ජීවත් වන්නේ සමාජමය හා දේශපාලනික අස්ථාවරත්වය මැදය. ජනතා අවශ්‍යතාවන් වැඩි අවබෝධයකින් සහ සංවේදීතාවයකින් ආමන්ත්‍රණය විය යුතුය. ජීවිතයේ මූලික අවශ්‍යතා උදෙසා හඬා වැටෙන, ඒ සඳහා දැඩි පරිශ්‍රමයක් දරන දිළිඳු ජනතාව අපි දකින්නෙමු. අප මාතෘ භූමියේ ධනවතුන් හා දිළිඳුන් අතර පරතරය වඩාත් පුළුල් වෙමින් පවතී.

ආර්ථික සංවර්ධනය සඳහා දිගු කාලීන සැලසුම් පැවතුන ද සාමාන්‍ය පුරවැසියාගේ එදිනෙදා ගැටලු නිරාකරණය කළ යුතු වේ. පුළුල් අන්තරයක පැතුරුනු මත් ද්‍රව්‍ය අලවිය හා භාවිතය සහ ඒ හා බැඳුණු අනිකුත් නපුරු බලවේග, ළමා, තරුණ හා වැඩිහිටි ජීවිත විනාශ කර දමන අතර ඒවා පාලනය කළ යුතුය. එහෙයින් මෙම තත්ත්වය වළක්වාලීමට සහ මැඩලීමට ක්‍රිස්තියානි සදාචාරාත්මක සිද්ධාන්තයන්ගේ මඟ පෙන්වීම ලත් නිසි කඩිනම් පියවර ගතයුතු වේ.

‘සාමය’ නමැති අසමසම තිළිණය වෙනුවෙන් දෙවිඳුන්ට ස්තූතිය පුදකරමින් අප සතුටු වන අතර මනුෂ්‍ය ජීවිතයේ මූලික අවශ්‍යතාවන් රහිතව දුක් විඳින හා සාධාරණත්වය උදෙසා වැලපෙන අය පිළිබඳ අධිෂ්ඨානශීලීව කටයුතු කළ යුතුය. අප කිතුනු ශ්‍රාවකත්වය නිරතුරුවම අපට ඇරයුම් කරනුයේ දුක් විඳින ජනතාව තුළ අප ජේසු සමිඳාණන්ගේ ශ්‍රී වත මඬල හඳුනාගැනීමේ වගකීමෙන් ඔවුන්ට සෙත සැලසීමට ය. සානුකම්පිත වීමේ සහ සාධාරණය වීමේ හදිසිතාව, පිළිබඳව අතිඋතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියාණන් අපට සිහිගන්වයි. කිතුනු ශ්‍රාවකත්වයේ ඇවටිලි තවදුරටත් ගැඹුරින් හඳුනාගන්නට පාස්කු සතුට අපව නිමැවිය යුතු ය.

අප අසල්වාසින්ගේ ‍වේදනාවන් තුරන් කිරීම සඳහා අපට කළ හැකි සියල්ල ඉටු කිරීම අප සතු වගකීමක් වන්නේ ය. සමාජීය හා සදාචාර සම්පන්න පැවැත්ම විනාශ කරන සමාජය අඳුරු ගන්වන නපුරු බලවේග පලවා හැරීම සඳහා පාස්කුවේ ආලෝකය පතුරුවන්නට උත්ථාන වූ ස්වාමින් වහන්සේ අප කැඳවා ඇත. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහා ගැනීමේ හා ඔවුන් වහන්සේගේ ශ්‍රාවකයෙකු වීමේ සතුට හා මහිමාලංකාරය අප තුළින් ඔව්හු හඳුනාගනිත් වා!

අපගේ සියලු සැදැහැවතුන් හා පාඨකයන්හට උත්ථාන වූ ගැළවුම්කරුවාණන් වහන්සේගේ සාමය හා ආනන්දය ප්‍රාර්ථනා කර සිටිමු.

අති උතුම් ජේ.වින්ස්ටන් එස්.ප්‍රනාන්දු රදගුරු හිමි ,සභාපති, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය. අතිඋතුම් වැලන්ස් මෙන්ඩිස් රදගුරු හිමි , මහ ලේකම්, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය.


සත්‍යයේත් ජීවයේත් මඟ වූ කිතු සමිඳුන් වෙත හැරී පවින් එතෙර වෙමු

- සංචාරක සංවර්ධන, වනජීවි, ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග

ලෝකවාසී කිතුනු ජනතාව පාස්කු උත්සවය සැමරීම වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම ගැන සතුටු වෙමි.

අළු බදාදායින් ආරම්භය වන චතාරික සමය කිතුනුවන් වන අපට ඉතාමත් වැදගත් කාල සීමාවකි.

ඒ ක්‍රිස්තුස් වහන්සේගේ මරණය ගැන සිහිපත් කරමින් අපගේ පව්වලට පසුතැවිලි වී පව් කමාකර ගැනීම සඳහාම වෙන්වූ විශේෂ කාල පරිච්ඡේදයක් ලෙස චතාරික කාලය හඳුන්වනු ලබන නිසාය.

දින 40ක් පසුතැවීමෙන්, යාච්ඤාවෙන්, දාන දම් කටයුතු අතරට නිරාහාර ශීලයද සමඟින් අපි පාස්කු මංගල්‍යයට පිවිසෙමු. ඒ කිතු සමිඳුන්ගේ දුක් විඳීම මරණය සමඟින් පාපය පරාජය කොට ජයග්‍රාහීව උත්තානවි ජීවිතේ සැබෑ ජයග්‍රහණයට උරුම කම් කීමටය.

මෙවන් වූ සමාජයකට කිතුසමිඳුන්ගේ කල්වාරි යාගයේදී තම ජීවිතය පුදකරමින් කළ උතුම් ප්‍රේමයේ අගය පෙන්වා දෙමින් සත්‍යයේත්, ජීවනයේත්, මාර්ගයවූ කිතුසමිඳුනගේ දෙසට හැරි අප ජීවිතය පාපයෙන් එතර කර ගන්නට වෙර දරමු.

ඔබ සැමට සුබ පාස්කු මංගල්‍යයක් වේවා!


උත්ථානයේ බලාපොරොත්තුව තුළ මමත්වයෙන් මිදී විමුක්තිය කරා යමු

- අතිගරු කීර්තිසිරි ප්‍රනාන්දු
ලංකා සභාවේ කුරුණෑගල රදගුරුහිමි

කිතුනු පාස්කුව හා සබැඳි උත්ථානය නම් යථාර්ථය යම්තාක් දුරකට ගැටලු උපදවන ආගමික විශ්වාසයකි. අප එය තේරුම් ගත යුත්තේ මානුෂික පැතිකඩකින් නොවේ. එය තුළ මනුෂ්‍යයාට වඩා වැඩි බලයක ක්‍රියාකාරකමක් කිතුනු විශ්වාසය තුළ පිළිගනු ලැබේ.

එම ප්‍රාතිහාර්යය තුළ දෙවියන් වහන්සේගේ බලය හරහා මරණය පවා පරාජය වන බවක් අපි විශ්වාස කරමු. මරණයට වඩා වැඩි බලයක් ඇති බවට අපි ඒත්තු ගනිමු. එලෙසම එය විජ්ජාවක්ද නොවේ. එහි අර්ථය යම් මොහොතක පමණක් කොටු වූ ආශ්චර්යයක් නොවේ. දෙවියන් වහන්සේගේ බලය ලැබුණු අය විශේෂ ස්පර්ශයක් ඇති බවටද අපි තේරුම් ගනිමු. එය තුළින් සභාවද ඇරඹුනි.

තවද උත්ථානයේ බලය එය විශ්වාස කරන ඕනෑම කෙනෙකුට ලැබෙන බවද අපි තේරුම් ගනිමු. එය තුළින් මුල් කිතුනු සභාවටද සාමාජිකයෝ එකතුවීමට උත්සුක වූහ. එහි භේදයක් ඇති නොවීය. එම නිසා බලාපොරොත්තු වේ මෙහෙය තුළ උත්ථාන වූ යේසුස් වහන්සේ දකින්නට අපට පාස්කුවේදී හැකිවේවායි පතමු.

උත්ථානයේ බලාපොරොත්තුව තුළ මමත්වයෙන් විමුක්තියට ගමන් කිරීමට සකල ශ්‍රී ලාංකීක ජනතාවට ධෛර්ය ශක්තිය ලැබේවායි මාගේ ප්‍රාර්ථනාවයි.

අතිගරු කීර්තිසිරි ප්‍රනාන්දු රදගුරුතුමා
ලංකා සභාව, කුරුණෑගල
දියෝකීසිය

නව අදහස දක්වන්න