කිතු සමිඳු ප්‍රාණ පරිත්‍යාගය සිහි ගන්වන මහ සිකුරාදා අද | දිනමිණ

කිතු සමිඳු ප්‍රාණ පරිත්‍යාගය සිහි ගන්වන මහ සිකුරාදා අද

කිතුණු ජන වන්දනා වසරේ අති උසස්ම මෙන්ම ආධ්‍යාත්මික මංගල්‍යය වන්නේ පාස්කුවයි.

මිනිසා පවින් ගලවාගැනීම අරමුණු කොට දෙවියන් වහන්සේ සිය පුත් දේවත්වයෙන් මුදා මිනිසත් බව ගැනීමත් සිය ආධ්‍යාත්මික දිවිය මිනිසා උදෙසාම කැප කර ඔවුන් උදෙසාම කුරුසිය මත දිවි අත්හැරීම පාස්කු මංගල්‍යයේ සුවිශේෂිතම අවස්ථාව අද එනම් මහ සිකුරාදා සමරනු ලබති.

ලොව පුරා කිතුණු බැතිමත්හු අද දින සෑම දෙව් මැඳුරකදීම සුවිශේෂී දේව මෙහෙයන්ට එක්වෙමින් කිතු සමිඳානන්ගේ කුරුසවත් යාගය සිහිපත් කරති.

කිතුණුවෝ අලු බදාදායින් ඇරඹුණු දින හතළිහක් පුරා නිරාහාර ශීලය, දාන , මාන, කිතු සමිඳුන්ගේ කුරුස ගමන සිහිපත් කෙරෙන පාද නමස්කාර, විශේෂාකාර දිව්‍ය යාගයන්, පසන් ගායනා, පාස්කු දැක්ම යනාදියට එක්වෙමින් සිට පසුගිය ගොප් ඉරිදා ක්‍රිස්තුතුමන්ගේ ජෙරුසලමට ජයග්‍රාහීව පැමිණීම සිහිපත් කරමින් ශුද්ධ වු සතිය ආරම්භ කළහ.

කිතු සමිඳාණන් පාවාදීමේ අවස්ථාව ඊයේ සියලු දෙව් මැඳුරකදීම සමරනු ලැබුවේ උන්වහන්සේ විසින් සිය ගෝලයන් දොළොස් දෙනාගේ පා දෝවනය කරමින් අවසන් රාත්‍රී භෝජනයට එක් වූ අයුරු සංකේතවත් කරමින් දෙව් මැඳුරු පාලනාධිපති පියතුමන්ලා ගෝලයන් දොළොස් දෙනකුගේ පා දෝවනය කර ඒ විශේෂිත දිව්‍ය යාගය පවත්වමින්.

කිතු සමිඳුන්ගේ ප්‍රාණ පරිත්‍යාගය සිහිපත් කෙරෙන අද එනම් මහ සිකුරාදා සෑම දේවස්ථානයකම කිතු තුමන්ගේ කල්වාරි ගමන සමරන පාද නමස්කාරයන්ට එක්වන කිතුණුවෝ සවස තුන් පෑ ධ්‍යානය මඟින් එම විශේෂිත ගැඹුරු ආධ්‍යාත්මික මෙහෙයට එක්වෙති.

මේ උත්කෘෂ්ඨ පාස්කු මංගල්‍යයේ ආශ්චර්යමත් සැමරුමට කිතුණුවෝ මේ ඉරිදා එක්වෙති. කිතු සමිඳුන් මරණින් නැගිටීම එනම් උත්ථානය සිහි ගන්වන දේව මෙහෙයන්ට එක්වෙමින් චතාරික සමය නිමා කරති.

නව අදහස දක්වන්න