මේ දිනවල අකුණු සහිත මහවැසි | දිනමිණ

මේ දිනවල අකුණු සහිත මහවැසි

උපාලි කරුණාරත්න

දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් පවතින ප්‍රබල අකුණු සමග වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

අද (19) දිනයේද දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, බස්නාහිර සහ වයඹ පළාත් වලත් අනුරාධපුර සහ වවුනියා දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වර්ෂාපතනයක්ද සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වර්ෂාපතනයක්ද ඇති විය හැක.

එමෙන්ම කන්කසන්තුරේ සිට පුත්තලම, ගාල්ල සහ හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මන්නාරම සිට කොළඹ හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති විය හැක.

කන්කසන්තුරය සිට කොළඹ හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල වල සුළං ගිනිකොණ දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමයි. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 15-25 පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.

 

නව අදහස දක්වන්න