වස විස නැති ගෙවත්තේ පළමු අස්වැන්න මහසඟරුවනට පුජා කෙරේ | දිනමිණ

වස විස නැති ගෙවත්තේ පළමු අස්වැන්න මහසඟරුවනට පුජා කෙරේ

වස විසෙන් තොර ගෙවතු සංකල්පය ප්‍රචලිත කිරීමේ අරමුණින් නාඋල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ උපදේශකත්වයෙන් ආරම්භ කර ඇති පිළිහුඩුගොල්ල පුරාණ විහාරස්ථානයේ පිහිටි ගෙවත්තේ අස්වනු මහා සංඝරත්නයට පූජා කිරීම පසුගියදා (11) සිදුකෙරිණි.

පිළිහුඩුගොල්ල ග්‍රාමනිලධාරි වතික සේනානායක මහතාගේ මඟ පෙන්වීම යටතේ ප්‍රදේශයේ ගොවියෙකු වන යු.එච්. රණසිංහ මහතා විසින් ගෙවත්ත පවත්වාගෙන යනු ලබයි.

විහාරස්ථාන භූමියේ පිහිටි කුඩා ඉඩකඩක සකසා ඇති මේ ගෙවත්තේ කිසිදු කෘෂි රසායන ද්‍රව්‍යයක් නොයොදා වගාකළ පතෝල,කරවිල,වම්බටු,පිපිඤ්ඤා,ගෝවා,තක්කාලි,බෝංචි ආදී එළවළු වර්ග රැසක් පවතී.

ගෙවත්තේ මුල් අස්වැන්න පිළිහුඩුගොල්ල පුරාණ රජමහා විහාරාධිපති තලාකොලවැවේ සාරානන්ද සහ උල්පතේගම අනුරුද්ධ හිමිවරුන්ට පුජා කිරීම නාඋල ප්‍රාදේශිය ලේකම් ආත්මා ඩිලුක්ෂි ජයරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පිළිහුඩුගොල්ල පුරාණ විහාරස්ථානයේ දී සිදු කෙරිණි.

ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශිය නිලධාරි එල්.ජි. කරුණාතිලක, නාඋල සහකාර ප්‍රාදේශිය ලේකම් සජිනි දසනායක , නාඋල ප්‍රාදේශිය සභා උප සභාපති අනුර බණ්ඩාර දසනායක මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරීහු රැසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

නාඋල සමූහ
අයි.ඒ. කුමාර

නව අදහස දක්වන්න