අමල් පෙරේරාත් ළඟදීම ලංකාවට | දිනමිණ

අමල් පෙරේරාත් ළඟදීම ලංකාවට

විජයානි එදිරිසිංහ

මාකදුරේ මධුෂ් සමග ඩුබායිහිදි අත්අඩංගුවට පත්වු ගායක අමල් පෙරේරා මෙරටට එවීමට ඩුබායි අධිකරණය තින්දු කර ඇතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන් විමසු විට ඔවුන් වෙනුවෙන් කටයුතු කරන නිතිඥවරයකුද කියා සිටියේ ඔහු සම්බන්ධයෙන් වු අධිකරණ කටයුතුද මේ වන විට අවසන්ව ඇති බැවින් අමල් මෙරටට එවීමට නියමිත බවට තොරතුරු ලැබි ඇති බවයි.

අමල් පෙරේරා ඩුබායි ගොස් තිබුණේ මදුෂ් විසින් එරට සුපිරි හෝටලයක පැවැත්වෙන උත්සවයකට ගායකයෙක් ලෙස සහභාගි වීමට බව වාර්තා වෙයි. ඒ කෙසේ වෙතත් මෙම උත්සවය පැවැත්වෙන අවස්ථාවේ එතැනට කඩා වැදුණු ඩුබායි පොලිසිය මගින් මේ පිරිස අත් අඩංගුවට ගනු ලැබුවේ මත්ද්‍රව්‍ය චෝදනා මතය. මේ වන විට ඩුබායි හි අත්අඩංගුවේ පසු වූ සැකකරුවන් 16 දෙනෙක් මෙරටට එවා ඇත. මොවුන් සියලු දෙනාම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායම් මගින් අත් අඩංගුවට ගනු ලැබිණි.

මේ අතර මධුෂ් විසින් ඔහු මෙරටට පිටුවහල් කිරීම නවත්වාලමින් එරට මහාධිකරණය හරහා ඉදිරිපත් කළ අභියාචනයේ අවසන් තින්දුව ප්‍රකාශයට පත් කිරීමද ඊයේ පස්වරුවට නියමිතව තිබුණි.

මේ අතර අමල් පෙරේරාගේ පුත් නදිමාල් පෙරේරා ඊයේ යළිත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා පැය කිහිපයක් ප්‍රකාශයක් ලබා ගෙන ඇත. නදිමාල් පෙරේරා මත්ද්‍රව්‍ය හෝ වෙනත් කිසිදු චෝදනාවක් එල්ල නොවු එම කණ්ඩායමේ මෙතෙක් සිටින එකම පුද්ගලයා වෙයි.


නව අදහස දක්වන්න