තවත් ඖෂධ 27ක මිල අඩු කරනවා | දිනමිණ

තවත් ඖෂධ 27ක මිල අඩු කරනවා

‘එක්තරා පුද්ගලික රෝහලකට රෝගියකු ඇතුළත් කළ විට විශේෂඥ වෛද්‍යවරයාට රුපියල් 3000ක මුදලක් ප්‍රතිකාර කිරීමට පෙර ලබාදෙනවා’ යැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පසුගිය දා මීගහතැන්නේ දී කීවේය.

රුපියල් මිලියන 40ක් වැය කර ඉදි කළ පාලින්දනුවර සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය සහ රුපියල් මිලියන 164ක් වැය කර මීගහතැන්න දිසා රෝහලේ ඉදි කළ හදිසි ප්‍රතිකාර ඒකකය සහ පරිපාලන ඒකකය සහිත ගොඩනැඟිල්ල විවෘත කිරීමේ උත්සව සභා අමතමින් සෞඛ්‍ය ඇමැතිවරයා මෙසේ ද කීවේය.

රෝහලකට රෝගියකු ඇතුළත් කරල කිසිම ප්‍රතිකාරයක් කිරීමට පෙර වෛද්‍යවරයාට රුපියල් 3000ක මුදලක් ලබාගැනීම වෛද්‍ය වෘත්තිය නෙමෙයි. ඒක වෛද්‍යවරයකු ප්‍රකාශ කර තිබුණේ තමා මුදල් ගත්තේ ප්‍රතිකාරවලට පමණක් බවයි. ඖෂධ ලියලා ඖෂධ සමාගම්වලින් මුදල් ගන්න වෛද්‍යවරුන්ට බැහැ. මේ මාෆියාවෙන් අසරණ රෝගීන් බේරාගත යුතුයි.

පිළිකා ඖෂධයක් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් විමර්ශන ආරම්භ කර තිබෙනවා. නමුත් එම ඖෂධය නිෂ්පාදනය කරන ස්විට්සර්ලන්තයේ සමාගම මාව හමුවෙලා සමාව ඉල්ලා සිටියා. පිළිකා ඖෂධ අඩු මිලකට රෝගීන්ට ලබාදීම මගේ අරමුණ වුණා. මේ පිළිකා ඖෂධය නිෂ්පාදනය කරන ස්විට්සර්ලන්තයේ සමාගම එම ඖෂධයෙන් පමණක් අමෙරිකානු ඩොලර් බිලියන 41ක වාර්ෂික ආදායමක් උපදවනවා. එම ඖෂධයට සමාන ඖෂධයක් දැන් නිෂ්පාදනය කරනවා. මේ ඖෂධයේ මිල අඩු කරමින් වෙනත් ආදේශක හඳුන්වාදෙන විට ලොකු විරෝධයක් මතු වුණා. මොකද ඖෂධය රෝගීන්ට ලියන එක් වෛද්‍යවරයකුට රුපියල් ලක්ෂයක මුදලක් ලැබෙන නිසා අක්ෂි කාච, ස්ටෙන්ත්, නොමිලයේ ලබා දෙන වැඩ පිළිවෙළේදීත් මෙවැනි බලපෑම් එල්ල වුණා.

ඖෂධ වර්ග 27ක මිල අඩු කිරීමේ වැඩපිළිවෙළ යටතේ එම ඖෂධවල වෙළෙඳ පොළ මිල ගණන්වල විශ්ලේෂණ මේ වන විට අවසන් අදියරට පැමිණ තිබෙනවා. මේ ඖෂධ වර්ග 27 තුළ පිළිකා නාශක ඖෂධ වර්ග ඇතුළත් වෙලා තියෙනවා. පළමු අදියරේදී ඖෂධ වර්ග 48ක මිල නියාමනය කළා. ඉන් පසු තවත් ඖෂධ වර්ග 25ක මිල නියාමනය කළා.

එහිදී පිළිකා ඖෂධ වර්ගවල මිල නියාමනය කිරීමට හැකිවීම විශේෂ සිද්ධියක්. පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධවලින් සියයට 95ක් මිලදී ගත්තේ රජය මඟිනුයි. පිළිකා ඖෂධ සඳහා ඉදිරිපත් කළ හැකි උපරිම මිල රුපියල් 95000ක් ලෙස සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළා.

ඖෂධ මිල අඩු කිරීම නිසා 2017 වසරේ දී රුපියල් මිලියන 600ක ලාභයක් රෝගීන්ට ලැබුණා. එම නිසා තවත් ඖෂධ වර්ග 27ක මිල අඩු කිරීමේ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කරනවා. ඉන් පසු පුද්ගලික රෝහල් නියාමනයට අවශ්‍ය ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කරනවා.

මේ අවස්ථාවන් සඳහා එක්සත් ජාතික පක්ෂ අගලවත්ත සංවිධායක පළාත් සභා මන්ත්‍රී පී. ඩී. අබේරත්න, පළාත් සභා මන්ත්‍රී කීර්ති කාරියවසම් මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු සහභාගි වූහ.

මීගහතැන්න සමූහ


නව අදහස දක්වන්න